Wednesday, December 29, 2010

"ඔබ අප අතරට කිසියම් දිනයක....නොපැතූ ලෙසකින් මරු ළං විණි නම්.."


"හේතුප්‍රත්‍යයෙන් හටගත් සියළු දේ අනිත්‍යයි" යන බුදුවදන පසක් කරමින්....ග්‍රේෂන් නුඹ අපව හැරගිහිල්ලා..

.ඔව්...

 මිහිපිට සියළු සොඳුරු දේ උපද්දවා හැඩ කරණ "අම්මා" ගැන ගැයුවේ නුඹම නොවේද..??

"බිළිඳුනේ දරුවනේ මගේ..පැලෙත් රජමැදුරේ...
අම්මා...පෙව් කිරි කඳුළින් මේ ලොව මෙතරම් හැඩවුණේ."

ඔබගේ ඒ ගැඹුරු මාදූර්‍ය ගායනයෙන් අප මුසපත් වූ තරම දන්නේ අපගේ හදවතත් දෙණුවනුත් පමණි...!!..නමුදු අපි ඔබට ආදරය කල තරමටම ආදරණීය ජෝති,මිල්ටන්,ක්ලැරන්ස් සේම ඔබද ඔබට ආදරය නොකල බව දනිමු..

ප්‍රේමය හොර හොරෙන් ජීවිතයට බැල්ම හෙලන්නට පටන් ගත්තුදා සිටම ඇසට ප්‍රිය මනාපවූ "ඇය" ගැන ඔබ ගැයූ අපූරුව...

"බාලේ පුංචි කාලේ වගේ..ගුරු පාරෙ මේ උදේ..
උකුළ සළා යාවි විහිදා..
කිතුල් මල් රෑණ සේ..වරළ බිඟුවන් සැලේ..
හිත කීවා ඔබ කාගේදෝ..."

ම්..ම්..ඇය ගැන පවසන්නට ඇත්තේ එපමණක්මද???...

"සුර ළියක වගේ රුවෙනා..ඇගෙ ගතිගුණ හරි අගනා..
පොඩිකාල හිටන්.... මම ආවෙ සොයන්
මගෙ..ලස්සන රන් එතනා.."

නමුදු...අපගේ ප්‍රේමයට ලෝකයා හරස් වූදා...

"කාගේ වේවා ලේ එකවාගේ දිස්වන්නේ..
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව එන්නේ..
ජය ටැඹ පෙණුනත් ..ජය හිමි වේදෝ නෑ දන්නේ..
යයුතු මාවත කොයි අත වේදෝ නැතැ දන්නේ..

ආදර සීනුව පෙම්ලොව දොර ලඟ රැව් දෙන්නේ.."

ඉදින් ප්‍රේමණීය හදවත්වලට හීන දුන් නුඹ..අපි ඔබට ආදරය කල තරමටම ආදරණීය ජෝති,මිල්ටන්,ක්ලැරන්ස් සේම ඔබද ඔබට ආදරය නොකල බව දනිමු..

ආදරය, මේ තුරුලතා,ගං කොමළිය,මේ නිසළ බව  එක්ව සොඳුරු දේ නිර්මානයකරණ වග  ද ඔබ ගැයුවා...

"ඈත දුරක දෑස පාවෙලා..
ගොළු වීලා ඔහේ තනිවෙමූ..
පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා.."

එමතුද නොව..,

"හිම රේණු වැටෙනා සීතලේ..නෙතගාව රඳවා ආදරේ..
සුවගේන් සුළඟේ පා කලේ..ඔබ නේද මාගේ..සුදෝ..."

ඇයත් මාත් පමණක් හිඳින කුටුම්භයේ නේක අගහිඟ කම් හේතුවෙන්ම හිත් පුරා ඇයව සැරහීමට නොහැකිව ලතවෙන සැමියෙකු වන මා ගැන..

"රනින් මාල මගේ ඇබේණියගෙ ගෙලට නැහැ..
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නැහැ..
කරදිය රැළි උඩින්ගමන මඟ සළකුණු නැහැ..
අපට කරදිය රැළි උඩින්ගමන මඟ සළකුණු නැහැ.."

හැබෑව... ග්‍රේෂන් ආනන්ද වූ ඔබ අප අතරින් සමු අරන්...එහෙත් නුඹගේ කටහඬ මේ ගුවන් තලය සිසාරා චිරාත්කාළයක් රැව් දේවි...සොඳුරු හදවත් ඒ මාදූර්‍යය වූ හඬින් සැනසේවි..

"තරු යායේ ඈති ඈතට දිදුළන රන්තරු යුවලක් සේ..
කිසිදිනයක නොමොයෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳුණාවේ..
හෙට දුක් සෝ කඳුළලි නොදකින ලොවකට අප නෙත් යොමුවේවා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා..

යන එන හැමතැන සෙවනැළි විලසේ
කිසිමොහොතක හෝ වෙන් නොම වේවා...
ඒ මඟද එකටයි යන්නේ..සෙනෙහේ පුදා ජීවිතේ පුරා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා..

ඔබ අප අතරට කිසියම් දිනයක..
නොපැතූ ලෙසකින් මරු ළං විණි නම්..
ඒ මඟද එකටයි යන්නේ..සෙනෙහේ පුදා.. ජීවිතේ පුරා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවළක් වේවා.."

ආදරණීය ජෝති  අහිමිවීමෙන් රික්තකයක්වූ සිංහල චිත්‍රපට ගීතයේ අඩුව නොදැණුනේ නුඹ නිසාමැයි ග්‍රේෂන්.!...ජීවත්ව සිටියදී හරිහැටි ඇගයීමක් නුඹ කෙරෙහි නිතිබූ බැව් පිළිගන්නෙමු...ඔබව මතක් වූවේ ජෝතිගේ අනුස්මරණයකදී අවුරුද්දකට එක් වතාවක් බවද දනිමු...නමුදු සහෘදය...සුවහසක් වූ රසික හදවත් තුළ නුඹ ජීවමානමැයි.....!

ඉදින් සමුගන්න අවසරයි...ඔබට නිවන්සුව ලැබේවා...!

Thursday, December 23, 2010

"ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද....."

තෙන්නකෝන් මුදියන්සේලාගේ සහන් ඉරුගල්බණ්ඩාර වන මම.....

ආසිරි ස්තෝත්‍ර ගායනා මැද ඇගේත් මගේත් සුළැඟිලි එකට බැඳෙනු දැනේ.එනමුදු හදවතට නැවුම් හැඟීම් නොපැමිණෙනුයේ මන්දැයි මා සිතමි..හැඟීම් දැනීම් මීට මාස කීපයකට උඩදී මරා දැමූ බව මතක් වුනද සිතිවිලි ඒ හරහා දිවනොගියේ පැන් කෙණ්ඩියේ සිහින් සිදුරෙන් වෑහෙන සිහිල් පැනින් සුලැඟිලි අග තෙත් වූ නිසාවෙනි...
මංගල පෝරුව අවට රැස්ව හුන් නෑදෑ හිතවතුන්ගේ සන්තෘෂ්ඨිය පිරුණු  මුහුණත් තහඩු මතින් ගෙනෙන සුහද ශීලී සිනහවන්ට බියෙන් නැවත ම නෙතු ශාලාව කෙලවරින් වූ සරහන ලද කවිච්චිය මත රැඳවීමි..

"මට මංගල පෙරහැරවල් ඕනෙ නැහැ ..ඉක්මනටම මාව ඔයාගාවට ගන්න සහන්.."

දිනෙක ඈගේ මුවින් පිටවූ වදන් සිහියට ආවේ මොන කරුමයකටදැයි නොදනිමි.තවදුරටත් ඒ ඔස්සේ සිතිවිලි මෙහෙය වීමට බිය වූ මම යන්තමින් මුහුණ හරවා ඈ දෙස බලමි.මද සිනහවකුදු නොමැති ඇගේ හැඟුම් විරහිත මුහුණද සිත තව තවත් අඳුරු අගාදයකට ඇද දැමුවෙන් මේ හැඟුම් මරා දැමුණු යුවතිපතින්ගේ මංගල්‍යයට අනාරාධිතවම ගලාඑන ඈ පිළිබඳ මතකයන් යටපත් කරන්නට වෙහෙසුනෙමි..

"සහන්.මොකද බන් ..ටිකක් හිනවෙයන්කො...උඹලව මරන්න යනව නෙවිනෙ.."

මිතුරා හෙමිහිට සවන ලංව දෙඩූ වචන නිසාවෙන් හඬන සිත යටපත් කොට සිනහවක් ආරූඩ කරගැනීමට මා ගත් වෙහෙස සාර්ථක වූවාදැයි නොදනිමි...එය සිනහවකට වඩා මුහුණ ඇද වී යාමක් ලෙස දැණුනි..

"පුතේ ඔය කාරණය උඹ හිතෙන් අයිං කරගනින්..මං උඹව වැදුවෙ..හැදුවෙ මේකටද දෙයියනේ.."

"මං උඹට අකීකරු වෙනව නෙවෙයි අම්මෙ..අනුත්තරා මට ගැලපෙනව.."

"උඹට ගැලපුනාට අපට ගැලපෙන්නෙනැහැ..පුතේ මේ අවසන් වතාවට මේ කියන්නෙ..උඹ ඔය සක්කරවට්ටම ගැන තියෙන අදහස අයිං කරගත්තෙ නැත්නම්..උඹ හිතුවක්කාරකමක් කෙරුවොත්..අම්මපා මම අත්තන ඇට කනව.."

විලාප තබමින් මව් කියූ වදන් නිසාවෙන් මා බියවූ තරම මෙසේ මේ පොරුමස්ථකයේදී නන්නාදුනන්නියකගේ ස්වාමියා වීමට ඉඩහසර සැලසුවා අනුත්තරා..පියා නැති වූ දා සිට මා හැදූවැඩූ මවට අකීකරු වෙන්න මගේ හිත ඉඩ නුදුන් නිසා මා  එසේ මරා දැමීමකට ලක් කලේ උඹේ හීන පමනක්ම නොව මා මැවූ සුන්දර අනාගතයයි අනුත්තරා..

අද මා සමඟ මේ නාටකයේ මනාලියට ඇඳ සිටින සාගරීද මා මෙන්ම වියවුල් වූ චිත්ත ස්වාභාවයෙන් පසුවන බව දනිමි..නන්නාදුනන මානවකයෙක් සමඟ අතිනත් ගන්නට සිදුවීම තරම් දඬුවමක් මානවිකාවකට නොමැති බව දනිමි..

"ඔයා කාටහරි ආදරය කරල තියෙනවද??"

ඈ හා දොඩන්නට තනිපංගලමේම අවස්ථාවක් ලැබුණු දින සාගරී මගෙන් විමසුවාය..හදවත සසළ වුවද මම ඇයට ඇත්ත පැවසීමි.

"ඔව් සහන් අපි මහ පව්කාරයෝ..මටත් දාල එන්න බැරි ආදරයක් තියෙනව..ඒත්..."

"අපි අපි ගැන දැනගන්නෙ නැතිව කොහොම ජීවිත කාලයක් ඉන්නද සාගරී..??"

"කොහොමවුනත් අපිට මේ රඟ මඬලෙන් පැනල යන්න බැහැ.."

ඔව් අපි මෙතැන් පටන් ජීවිතය විඳවමු සාගරී..ජීවිතයෙන් පලායාම මෝඩ කමක්..!
රූකඩයක් සේ එහාමෙහාවන මුදු පැලැඳූ අතගෙන මීලඟ දර්ශණය සඳහා පෝරුවෙන් නික්මුණෙමි.

"සිරුරින් එක තැන ..හදවත් දෙතැනක..
දෙදෙනෙකු වෙමු අපි..එකම වහල යට.."

සිත්තම ගත්තේ..artistrising.com

උඩපේරුවේ මොහොට්ටාලලාගේ සාගරිකා සන්වේදනී කුමාරිහාමි වන මම....

ආසිරි ගී මැද පෝරු මස්ථකාරූඩව දීග යෑම වූ කලී ඕනෑම යුවතියකගේ සිහිනයක් බව ඔබට කිවයුතු නොවේ..නමුදු තමන් ආදරය කරන ප්‍රේමවන්තයා හැර පියා වෙනත් අයෙකුගේ අත ගැනීමට සිදුවෙනවා තරම් අසරණ කමක් තවත් නොමැති බව මට දැන් දැනේ..

"ඔයා මාත් එක්ක එන්න සාගරී...වෙනදේකට අපි එකට මූන දෙමු.."

"මට බැහැ.මට බැහැ ඔයාව දැන දැන අනතුරේ දාන්න..අපේ අයියල මට විශ්වාස නැහැ.."

අපගේ අවසන් හමුව සඳහා මා සූදානම් වූයේ දහ අතේ කල්පනා කොට හොඳින් හිතා මතාය..මේ තීරණය මා ගත්තේ  මම ඔබට සැබවින්ම ආදරය කළ නිසයි සේන...

මගේ දකුණුපසින් රූකඩයක් සේ රැඳී සිටින ඔහු දෙස බැලීමි..ඔහු සිනාසෙන්නට උත්සාහ කරයි..එහෙත් ඔහු මුව ඇද කලා පමණි..මටද සිනාසීමට අමතකව ගිය සැටියෙකි..මනාලියකගේ හැසිරීමෙන් පෙනෙන ලජ්ජාශීලී බවවත් මා තුලින් දිස්වූයේදැයි නොදනිමි.හැඟීම් වලට අගුල් දැමුවේ මීට මාස කීපයකට ඉහතදීය.අනුන් විසින් මෙහෙයවන රූකඩයක් සේ ඒ ඒ විධානයන් අනුව අචේතනිකවම ක්‍රියා කෙලෙමි..

කෙසේවතුදු අපි අපි හඳුනා නොගත්තද මේ මොහොතේ සිට මේ අතිනත් ගත් මානවකයා සමඟ ජීවිතාන්තය දක්වා දුක සැප බෙදාගැනීමට සපත කළෙමි.යහපත් බිරිඳක් ලෙස ඔහු ඉදිරියේ ආත්ම වංචාවෙන් රංගනයක යෙදීමට සිදුවේද??
එසේ කිරීමට මා සමත් වුවහොත් ජීවිත රඟ මඬලේ දක්ෂතම නිලියට හිමි සම්මානය මෙමට හිමිවනු ඇත..නමුදු ජීවිතයට නොහඳුනන මඟ පෙන්වන්නෙකුගේ පසුපස වැටිමට සිදුව ඇත..එක් සහනයකට ඇත්තේ ඔහු මා තේරුම් ගත් බවක් පෙන්නුම් කිරීමය..මා මෙන්ම ඔහුද එකම මානසිකත්වයෙන් පෙලීම එක අතකට හොඳය..දෙදෙනාටම පාර වැරදී තිබේ..ඉදින් කවදා අප අපව හඳුනාගනිත්ද...නමුදු සමාජය ඉදිරියේ අපද යුවති පතීන් වීමු..

"ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..
අපට මියෙන තුරු හැඳිනිය හැකි වෙද.."

ooooooooo0ooooooooo0ooooooooo0ooooooooo0ooooooooo

බිරිඳ මගේ ඔබ..
නෑ මා ඔබගේ බිරිඳ නොවේ..
දෑඟිලිහුයකින් ..බැඳි පමණින් මා..
ඔබගේ බිරිඳ නොවේ..ඔබගේ බිරිඳ නොවේ..

ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත..
මා පෙම් කළ අය මටද ලැබී නැත..
මව් පිය නෑ සිය ආසිරි ගී මැද..
දෑඟිලි පමණක් එකට බැඳී ඇත..දෑඟිලි පමණක් එකට බැඳී ඇත..

සිරුරින් එකතැන..හදවත් දෙතැනක..
දෙදෙනෙකු වෙමු අපි එකම වහළ යට.
ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :නන්දා මාලනී/ගුණදාස කපුගේ


 

Monday, December 20, 2010

"ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ..ඔබේ මඟුල් දවසේ.."

අහසින් තරුවක් කඩා වැටෙනවා..
තරුව කතා නෑ ..අහසයි වැළපෙන්නේ...
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා..
මලේ කතා නෑ... සුළඟයි වැළපෙන්නේ..

පැහීමක් නැහැ නොකෙරෙන දීගේ..
හෙවනැල්ලත් ඇදළු..
දවල් වැටුණු වල මෙදා වැටුනෙ රෑ..
හිත හොඳ වැඩි කමළු..

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්ඳන් එන නැකතේ...
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ..
ඔබේ මඟුල් දවසේ..
සොඳුරු ජායාරූපය ගත්තේ...avenue7.com

ආයෙත් වතාවක් මා ආදරය ඉදිරියේ රැවටීමකට ලක්වී ඇතිබැව් හැඟෙන විට ජීවිතය තිබුණාටත් වඩා අඳුරු අගාධයකට වැටී තිබුණි..
"පහු ගිය අතීතය මට වැඩක් නැහැ සාධනී...මට ඕනෙ ඔයාව විතරමයි.."
මගේ ආදරය හිඟාලමින් නුඹ මා පසුපස ආ දිනවල කීවා නුඹට අමතකව හෝ උවමනාවෙන් අමතක කොට ඇතැයි දනිමි.නුඹට අවශ්‍යය වූයේ මගේ පහස පමනක්ම යැයි මා හට හැඟී ගියේ නම්...එහෙත්..වරක් බැට කෑ එකියක වූ මම මාගේ හැඟීම් වලට නොව බුද්ධියට ඉඩ දියයුතුව තිබුණි..
"රංග ගැන දැන දැනත් ඇයි කෙල්ලේ උඹ ඒකා පස්සෙම වැටෙන්නෙ..ඌට හතර වටේම කෙල්ලො..??"
"මං දන්නැහැ නිලූ..දන්නෙ මෙච්චරයි..මං ඌට ආදරෙයි.."
"කිව්ව නාහන ගුරු ඉහල ගියත් එකයි..පහල ගියත් එකයි..උඹට ඕන දෙයක් කර ගං..අපිට දුක උඹ දැන දැන අමාරුවේ වැටෙන්න යන එක ගැනයි.."

මිතුරු මිතුරියන් කෙසේ කීවද කුළුඳුලේම හදවතේ ඇති වූ ප්‍රේමය මරා දැමීමට මා සූදානම් නොවීමි..රංග පිළිබඳ වූ කතා ප්‍රවෘත්තීන් එමට වූවද ඒවා එකක්වත් මා නොවේ කමකට ගත්තේ..කෙසේවතුදු "සාරය උරා ඉවත ලන උක් දඬු හපයක් සේ" මා රංග විසින් අතැර දමන විට තවදුරටත් කණ්‍යාවියක් නම් නොවීමි.මා දැන දැනම ජීවිතය අනතුරේ හෙලා ගත්තේ එලෙසය..නොයෙකුත් සමාජ අපවාද මැද ජීවිතය එපා වූවද ජීවත් වීමට තීරණය කෙලෙමි..නමුදු සමාජයට වෛර නොකෙළෙමි..ඔවූහු මා වරදින් මුදවා ගැනීමට වෙහෙසුණු බව දන්නා නිසාවෙනි..එවක් පටන් සියළු දුක්ඛ දෝමනස්සයන් හිත තුළ ගුළිකොටගෙන ජීවත්වන්නට වූ යේ සමාජයට නොව මා මටම බිය වූ නිසාවෙනි..
ඔව්..එතකොට කවි...
සියළු බලාපොරොත්තූන් ඇතැර ගෙවූ කාලවකවානුවේදී මගේ හදවතට බලෙන්ම එබිකම් කලේ ඔහුයි..පිරිමියෙකු ආදරය වෙනුවෙන් හඬනවා මට ඇසුනේ පෙනුනේ ඔහුගෙන්මයි..ඇත්තටම පිරිමියෙකුගේ ඇස් තුලින් වැටෙන කඳුලක් ගැහැණු සිතක් වෙඬරුපිඩක් සේ මෘදු මොලොක් කිරීමට සමත්වෙන බැව් ඔබ දන්නේදැයි නොදනිමි..නමුදු කව්න්ද ගුනසේකර නම්වූ මානවකයා මා ඉදිරියේ හෙළුු කිඹුල් කඳුළු හදවතින් නැගෙන කඳුළු ලෙස හඳුණාගත් පවින් "දහවල් දැන දැනම වැටුණු වල්ට නොදැනම රාත්‍රීයේදීත් වැටී ඇති බව පසක්වනවිට ජීවිතය නැවත වතාවක් හරිගස්සවා ගැනීමට නොහැකිවන සේ බිඳවැටී තිබුණි.
"ඈ..පට්ට දහදුරාවි..අවලමේ ගිහිල්ල වැඩ වරද්දගෙන මායම් දාල මගේ කොල්ලත් අල්ලගන්නද කල්පනාව..??"
දිනක් උදාසනම ගෙමිදුල දෙසින් ඇසුණු ගෞරව තානාන්තර ආමන්ත්‍රණ වලින් මෙමට පසක්වූයේ නුඹගේ මව් "බෝ පැලයක්" වන් වූ තමුන්ගේ පුත්‍ර රත්නය සාධනී නම් වූ වෙසඟනගෙන් මුදා ගැනීමට මෙහෙයුමක් දියත් කොට ඇති ගානය..නමුදු "බෝ පැලේ" තරම නුඹේ මව්ට කියාදෙන්නට ගියානම් ...
"මට තවත් කරන්න දෙයක් නැහැ සාධනී..අම්මලා ඔක්කොම දැනගෙන..මට නුවර පැත්තෙ ගෑණු ළමයෙක්ව ජෝඩු කරලා.."
"මගෙත් එක්ක බුදියාගන්නට ආවේත් අම්මාගෙන් අහලාදැ"යි  මගේ කිසිවක් නොතේරෙන හා පැටියාගෙන් හොඳ සුද්ද සිංහලෙන් ඇසීමට සිත් වුවද  තවත් නැති වෙන්නට දෙයක් නොවූ මගේ ජීවිතයේ සියළු දේම නැති වූයේ මඟේම වරදින් බව හැඳින නිහඬව සිටීමට තීරනය කෙළෙමි...
එහෙත්,,කවි  දන්නවද මං උඹට ආදරය කලා...ආකහෙන් තරුවක් ගිලිහුණද ,නටුවකින් මලක් ගිලිහුණද ඒ අඩුපාඩුව දැනෙනුයේ ගිලිහුණු තරුවටවත් මලටවත් නොව ඒවායේ මූලයන්ට බව තව තවත් මට දැණුනා කවී..ඉදින් මේ දුක මමම විඳදරාගන්නම්..
නුඹේ පත්තිනි දේවියව කැන්දන් එන හෙට දිනයේ මං මේ තුරුවදුලට මුවා වෙලා බලාන ඉන්නම් කවී..බැරි වෙලාවවත් මේ දිහා බලන්න නම් එපා...මගේ කඳුළු මං නවත්ව ගන්නේ කොහොමද.....?? 

"මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්ඳන් එන නැකතේ...
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ..
ඔබේ මඟුල් දවසේ.."

සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :මාලනී බුලත්සිංහල.


Wednesday, December 15, 2010

"ඈතින් දිදුලන හඳට වඩා මට......ලඟ ඉන්නා ඝණඳුරයි අගේ.."

සොඳුරු ජායාරූපය ගත්තේ..panoramio.com..

මලින් ගැවසී ගත් අශෝක වනයම නිසලය.මේ නිසල බව හද තුල නොයෙක් චිත්ත රූප මවයි..ඒ බොහොමයක ඔහු විජරාමාණ වේ..ඔහු වනාහි ලංකේධීශ්වර දුටුගැමුණු නරෝත්තමයාණන්ගේ එකම පුත්‍ර රත්නයයි.මේ අශෝක වනයේදී ඔහු මුලින්ම මුලිච්චි වූ දින සිට අද දක්වා සිද්ධි මාලාව ගැහෙන හදවතින් යුතුව ස්මරණය කරමි..
"දුවණිය..මාලා..මල් නෙලන්න අශෝක වනයට ගියාට කමෙක් නැහැ..සුනංගු නොවී එන්න ඕනෑ..සාලිය යුව රජතුමා මේ ඉසව්වෙ සංචාරයේ වඩිනවා කියලා ආරංචියි.."

"ඉතිං ..මා කැමතියි නොවැ උන්වහන්සෙ දැක ගන්න.."

"හැබෑටම උඹට මොලේ කළඳක් නැති හැටි..රැහේ චාලිත්තර පියණන්දෑ හොඳින් උගන්නැව්ව නෙවද..රොඩී කුලේ වෙච්චි අපි ඒ උත්තමයන්ගෙ හුළං ගැටෙන මානයකටවත් නොයායුතුයි කියලා නෙවද කියා ඇත්තේ..??.."

"එහෙමයි මෑණියනි.."

දෙමාපියන් ඉදිරියේ එසේ දිව් රා පොරොන්ඳු වුවද මගේ මනමාල හිත බලකලේම ඒ පින්වත් කුමරුවාගේ රූපශ්‍රීය දෑහින් දැක බලා ගන්නා ලෙසයි..රට තොට පැතිර තිබූ කුමරුවාගේ ගුණ ගායනා මාගේ සිතේ මේ දොළ ඇතිකරන්නට ඇත..ඉංතේරුවෙන්ම මේ වැයික්කියේ වගේම මේ රාජධානියේම ගැටිස්සියන්ගේ හීන කුමරා ඔහුම පමණි..ඉදින් මා නෙත් පුරා ඒ නව යොවුන් යව්වනයාගේ රූපශ්‍රීය විඳීමේ වැරැද්ද කිම..අනෙක මා තරම් රූපශ්‍රීය ඇති ගැටිස්සියක් මේ රාජධානියේම් නැතිබව දවසක් පියා මාමණ්ඩිය එක්ක කතා දමනවා මං බාලාන..
"අක්කණ්ඩි..! වහං වෙන්න..ඔන්න අසු කුර ගැටෙන ශබ්ධයක් එනෝ.."

මල් නෙලමින් සිටි මිත්තා එසේ කියමින් අසල වන රොදට පැන ගත්තාය..නමුදු මෙමට දෙපා සෙලවීමටවත් වාරු නුදුනුයේ කුමණ බලවේගයකටදැයි නොදනිමි..අසු කුර ලඟ ලඟම ඇසේ ..භයින් භිරාන්ත වූ මා මල් පැස ලයට තුරුළු කොටගතිමි..අසුපිටින් බට කුමරුවා මා ඉදිරියට පැමිණෙනු මට සිහිනයෙන් මෙන් පෙනේ..ආහා..මේ අශෝක වනයට ශක්‍ර දෙව් වැඩියාසේ ඔහු රාජ තේජසින් බැබලෙන අපූරුව..ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් හෙබි කුමාරයාගේ රුව හිත්පුරා විඳ ගතිමි..
සීවරං දෙයියනේ ඒ උත්තමයා වමත මිටි කොට සස්වාමික අස්වාමික බව විමසයි..මගේ හිත මට අකීකරුව අත්ල විදහාලමින් මා අස්වාමික බව පවසයි..

"මේ අශෝක වනයේ මල් නෙලන රූබරිය තී කවුද??"

"ම..මම.. මාලා ස්වාමීනි..! ගැත්තාට අනුකම්පාකරණ සේක්වා..රොඩී රැහේ නෑයක ඇත්තෝගෙ දොණියන්දෑ මම"

මා තෙපළු එබස් අසා රාජපුරුෂයෝ උරණව දුණු හී අමෝරා ඉදිරිය පැන්නද කුමරුවා එය වලක්වා ලූ අයුරු සිහි කරමි..
එදා ඒ සිද්ධිය රැහැට ආරංචි වී තිබූ හෙයින් රැහැම ගිණි ගෙන තිබුණි..මා පැල්කොටේට ගාටන සුණංගුවේ මිදුල පුරා ගමේම උදවිය භයින් භිරාන්තව බලා සිටිණු බලා මමද සැළුනෙමි..

"ආ..දැං ඉතිං රැහැම කම්මුතුයි...මං හූණා කියන්නැහේ කිව්වා නෙවද දෝණියැන්දෑට ඔය ඉසව්ව තහනම් කරාප කියලා..දැං ඉතිං ජීවිතේට තියෙන ආසාව අතෑරගනිල්ලා...!" මිත්තණිය විලාප දෙයි..

භයින් තැති ගත් මා හීංසීරුවේම පැලට රිංගා ගතිමි..රැහැයේ එවුන්ගේ රොස් පරොස් හමුවේ භයින් කුටියෙන් එළියට නොබටූයෙමි..පොහොයක් ගතවුවද හැල හොල්මනක් නොවූයෙන් පරණ පුරුදු ලෙසම සිටීමට වෙහෙසුනද ගම්මු මා කෙරෙහි උරනව සිටින බැව් හැඟුණි...වෙනදාට රැහේ නායකයාගේ දෝණියන්දෑ ලෙස ගරු බුහුමන් කලද අතැර යන ගැරඬි හැවක් ලෙස මා බැහැර කළෝය.  මේ චිත්ත පීඩාවෙන් මිඳීමට මං ලෙස අශෝකවනයේ තනිවම සැරි සැරීමි.කුමරා මා බැලීමට මග රැක සිටින බව හාංකවිසියක්වත් නොදැන අශෝක වනයට ආමි. එදා කුමරා මුලිච්චිවුණු අසෝක ගස මලින් බරව සෙමෙර සලමින් තිබුණි..මම ඒ දෙස බොහෝවෙලාවක් බලා සිටියෙමි...හදිසියේම වන රොදින් මතු වූ කුමරා මගේ දෑතින් අල්ලන තුරුම මේ ඉසව්වේ කවුරුන් හෝ ගැවසෙන බව මට නොදැණුනේ මන්ද??..ඇතිවූ කම්පනය නිසාවෙන් සිහි මූර්ජාවී වැටෙනුද ශක්ථිමත් ඒ දෑත මගේ බඳ වටා දැවටෙනුද මතක තියේ.
මුවට දැණුනු සිහිල් දිය පහස නිසාවෙන් නැවත පියවි සිහිය ලද මා දුටු දසුනින් සිහි විකල් නොවුණා තරම්..සාලිය කුමරාගේ ඇකයේ මා හිඳී..සීවරං දෙයියනේ..මේ රාජ තේජස කෙලසීමට තරම් මා කළ පව කිම..
හණික කුමරුවාගේ ග්‍රහණයෙන් මිදුණු මම ඒ දෙපා අල්ලා.යදින්නට වීමි..ඔව්..මාගේ රැහේ එවුන් වෙනුවෙන් මා දිවිදිය යුතුය... අවසරයි දෙයියෝ.!!

oooooo0ooooo0oooooo0oooooo0oooooo0oooooo

අශෝක මාලා මමයි ස්වාමිනී..
අශෝක මල් වනයේ..
රනේ රුවට රූ සපුව දිලෙන මුත්..
මා චණ්ඩාලියකී..
මා...චණ්ඩාලියකී...

නොලැබෙන පෙමකට හඬා පලක් නෑ.
එපා රජුණි මට රාජ සුවේ..
තල් අතු මැදුරයි..මේ වන අරණයි..
අපට අගේ අපෙ..හීන කුලේ..

අශෝක මාලා මමයි ස්වාමිණී...

රජකුල පෙළපත එයින් කමක් නෑ..
එන්න එපා..අතු පැලට මඟේ..
ඈතින් දිදුලන හඳට වඩා මට..
ලඟ ඉන්නා ඝණඳුරයි අගේ..

අශෝක මාලා මමයි ස්වාමිනී...


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :චන්ද්‍රලේඛා පෙරේරා

Sunday, December 12, 2010

"වාසනාවන්..!...අහිමි පෙම්වතියේ....."

සිත්තම ගත්තේ..daheshmuseum.org
බෝධිරාජ මාවත වෙනදාටත් වඩා සෙනඟ පිරී ඇති සැටියෙකි..උරෙනුර ගැටෙන මෙන් එකම හිස් ගොඩක් ලෙස දිස්වන වීදියේ බොහෝ දිගු බස් රථ පෝලිමක්ද දක්නට විය.මාර්ගය දෙපස අටවා ගත් ලෑලි මඩුවල එල්ලෙන මිදි,අඹ,දොඩම් අතරේ අතරමංව හෙට්ටුකරමින් මිලදී ගන්න පරක් කරණ ජනකාය මැදින් හෙට දිනයට යෙදෙන සිංහල අළුත් අවුරුද්දට ගම් බිම් කරායන ජනී ජනයා අතර මමද එක් අයෙකු වීමි.සිංහල අවුරුද්දට දින දෙකකට පෙරවත් ගමට යා ගන්නට උවමනාකම බොහොම තදින් දැණුනද පඩිපත අතට ලැබුනේ අද උදයේදීය.අම්මාට චීත්ත රෙදිකෑල්ලක්,නංගීට ගවුමට රෙදි කෑල්ලක් ගන්නට පිටකොටුවේ මහ වීදියේ අද උදයේ අතරමං වූ අල්ලපනල්ලේ "නුඹ" සිහිනොවුනාම නොවේ.නමුදු පහුගිය අවුරුද්දේද අද වැනි දිනක වූ මතකයන් මතකයට නොනගා ගැනීමට තරම් මා ශක්තිමත් නොවූ බව උඹ දන්නවාද අයිරාංගනී?

"ඕක නෙවි අනේ..මංදන්නවනෙ නෑණංඩියගෙ තරම..කෙල්ල "ෂෝක්" එකට කැමතියි..ම්..ම්..මේක හොඳයි.."
මම නිහඬවම අනුමත කරමි.ඇයට හොරා ඇගේ ඇඟට කැපෙන ගවුම් රෙද්දක් තෝරා ගන්නට මම සමත් වීමි..
"සිරී..කාටද අනේ ඕක..හරිම ලස්සනයි.."
"මේක මං දන්න අඳුණන ගෑණු ළමයෙකුට.."
කපටි හිනාවක් මුවඟ රඳවාගනිමින්..පිරිමි ඇඳුම් තිබෙන ඉසව්වට දුවන ඈ මීලඟට කුමක් කරන්නේදැයි මම දනිමි.
හබැවින්ම අතීතය කොතරම් ලස්සනද අයිරාංගනී...නුඹ වෙනස් වෙන්නට ගියේ කෙතරම් කෙටි කාලයක්ද..??.
"ආ සිරි අයිය..මංහිතුවෙ අයිරත් එක්ක ඔයා බෝපත් ඇල්ලෙ ගියා කියලයි"
" ....නැ නංගි එයා මට කතා කලේ නැහැ මේ සති කීපයේ..මේ හින්දයි මං මේ බලන්න ආවෙ.." ඇඟළුම් කම්හලේ අමුත්තන් හමුවන කාමරයෙහි මා ඉදිරියේ පෙනී සිටි ඇගේ හොඳම යෙහෙළිය කියූ දෙය අදහාගත නොහී හුනස්නෙන් නැගිටුණි.
"නැහැ අයිය..අයිර ගියපාර ගමේ ගිහිල්ල ආවට පස්සෙ ටිකක් වෙනස් වෙලා වගෙ දැණුන..වතාවක් දෙකක් කවුද කොල්ලෙක් එයාව හමු වෙන්න මෙහාටත් ආවා..කිව්වෙ නම් එයාගෙ මාමගෙ පුතා කියල.."
"මං යන්නම් නංගියෙ.."
කිසිවක් නොදෙඩූ මම පරාජිතයෙකු ලෙස රත්මලාන 
කර්මාන්ත පුරයෙන් එළියට බටුයේ තවත් එක් චපල පෙම්වතියකගෙන් අතහැර දැමූ පරාජිත පෙම්වතෙකු ලෙසිනි.එතැන් පටන් ගෙවූ දින කීපය කෙසේ ගෙවා දැමුවේදැයි මා හට නිනව් නොවේ..නිදි නැති රාත්‍රීන් කීයක් පහන් කලේදැයි මා නොදනිමි..
"සිරී උඹට මක් වෙලාද බං..මේ ගඩොල් බැම්මත් වරද්දලා..මේ මෙතන ඕපනින් එකකට මාක් කරල තියෙත්දිත් මොකද මේ බිත්තිය පුරල තියෙන්නෙ..හරියට වැඩ කරන්න බැරි නම් යනව හොඳයි..!"
වැඩ මූලික වරයාගේ ගෝරනාඩුව ඉවසනූ නොහී මා මිතුරන් හැම විටම මා ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ සැටි මතක් වී උන් ගැන අප්‍රමාන භක්තියක් හදවත් තුළ ඇති වී නැති වී ගියේයැ.
ඉදින් නුඹ මගේ ලොවින් නොකියාම සමු අරගෙන බව දැන දැනත් මට නුඹ කෙරෙහි වෛරයක්,තරහාවක් නගාගත නොහැකි වූයේ මන්දැයි කල්පනාකරමි.කෙසේවතුදු නුඹ මාගෙන් සමු අරන් ගොසිනි..හිත් පිත් නැත්තෙකු සේ ජීවත් වන්නට හුරු උනෙමි..
බස් රථ නවත්වා තැබෙන ස්ථානයේ වූ දිගු පෝලිමට මමත් එක්වුණෙමි..ඉදින්..මීට පහුගිය අවුරුදුවලදී නම්...."නැහැ මම උඹ ගැන ආයෙත් හිතන්නෑ අයිරාංගනී."හිතට අගුළු ලා ගෙන කාර්‍යය බහුල බස් නැවතුම සිසාරා හිස් බැල්මෙන් බලා සිටියෙමි
මා නැවත දකින්නට ප්‍රාර්ථනා නොකල දෙයම සිදු වී තිබුණි..එතරම් මගේ දෛවය මා හට අකාරුණික වූයේ ඇයිදැයි නොදනිමි....බසයක් එනතුරු රැඳී සිටි පෝලිම ඉදිරියෙන් ඈ වූවාය.තනි නොතනියට ඒ තරුණයාද සමඟිනි.
ඈ නොදැක මාස ගනනක් වුවද කල්පයකින් දුටුවාක් මෙන් මා හට හැඟේ..ඒ තාමත් ඇය මාගේ හදතුළ විජරාමාණ වන නිසාය..හැඩිදැඩි පුරුෂයෙකු වුව්ද දෙනෙත් හීන් කඬුළු පටලයකින් වැසීයනුද හාත් පස නොපෙනීයනුද දැනුනෙන් සීරුවෙන් යාබද වූ මිටි තාප්පයට වාරු දී ගතිමි..
"ඇයි පුතේ...තව පැය කීයක් පෝලිමේ ඉන්න වෙයිද දන්නෙනැහ..මේ වතුර ටිකක්වත් බීහං..ඒ මදිවට මේ ග්‍රීස්මෙ.."මාහට පිටුපසින් වූ කාරුණික කාන්තාව මා අත වතුර බෝතලයක් නොතබන්නට මා සිහිසුන්වනු නොඅනුමානය..පරාජිත චිත්ත ස්වාභාවයකට ගතක් අප්‍රාණික කල හැකි බව ප්‍රථමවතාවට අත් වින්ඳෙමි.
"මේ ලෝකෙ හැටි පුතේ ...අපිට ලැබෙන්නෙ අපිට උරුම දේවල් විතරයි... මොන සැක්කරය ආවත් ඒ ධර්මතාවය නැතිකරන්න බැහැ.."
කාරුණික කාන්තාව මාගේ හිත හඳුනාගෙන දෝ මුමුණයි..හැබවින්ම මා අයිරාංගනීට ප්‍රේම කලෙමි..නමුදු ඇයට මගේ ප්‍රේමය තරම් නොවූ සේය..උඹට වෛර කරන්නට හිත හදාගන්න මට බැහැ අයිරාංගනී........
++++++++++++++++++++++++++++++++++++++++++++++

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ...
ඔහු සමඟින් ඔබ...
මන්දහාසින් යන ගමනේ...
මගේ යුග නෙතු...
ඔබට හිරු සඳු වේවා...!
වාසනාවන්...
අහිමි පෙම්වතියේ...
නිමල පෙම් චේතනාවෙන්...
නිහඬ වූ වේදනාවෙන්...
අහිංසක මා හෙලන සුසුම්...
ඔබට පවනක් වේවා...!
පාළු කුටියේ...
මා පරාජිතවී...
නිදා නොනිදා හිඳින රෑ...
සිහිනයෙන් හෝ පෙනේවා...
ඔබේ සෙනෙහේ නිවුනු පහන්...
නොනිමි පහනක් වීලා...!

සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :එඩ්වඩ් ජයකොඩි

Wednesday, December 8, 2010

"මගේ කලා වැව සදා රකිණුමැන....අවුකන පිළිම සමින්දේ...."

 
වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ..
ඇයි හදවත රිදවන්නේ..
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ ..
පියරජු සෙවනේ උන්නේ..

බලන්න දෙටු පුත..මේ දිය තලයම
කෙත්වතු සාර කරන්නේ..
මට ඇති වස්තුව..මට ඇති සම්පත..
මේ නිල් දිය කඳ වන්නේ..

හිටුවා පස් ගස්වා මා මැරුමට .
කවුරුද පුතු සිත බිඳේ..
මා මළ පසු පුත මිහිදන් කල මැන
කලා වැවේ වැව් බැම්මේ..

මගේ කලා වැව සදා රකිණුමැන
අවුකන පිළිම සමින්දේ..

================================================================
    අවසන් වරටද මා පණමෙන් ආදරය කරණ ඒ මහා දිය කඳ දෙස බලමි..මා සිතෙහි පසු තැවීමක් නම් නොවේ.මේ මවුබිමට ආදරය කරණ රාෂ්ඨ පාලකයෙකු ලෙස මගෙන් මේ බිමට සහ මාගේ ආදරණීය රටවැසි දූ දරුවනට යුතුකම් ඉටුකළාහ'යි මා සිත තුළ ආඩම්බරයක් පවතී.මින් මොහොතකට පෙර මේ වැව් පිටියේදී සිදුවූ සිද්ධිදාමය නැවත ස්මරණය කොට ම'පුතු කෙරෙහි කහටක් හිතේ ඇත්නම් එයද සෝදාහැරීමට සිතමි.
"හ්ම් දැන් ඉතින් නොවළහා කියනු ඒ මහා ධනස්කන්ධය කොහිද කියා..."
මාගේ දෙටු පුත් කාශ්‍යප අඩි හප්පා විමසයි.මිගාර මහ සෙනවි වෛරයෙන් දිළිහුණු දෙනෙතින් යුතුව තෘප්තිමත් බැල්මෙන් මා දෙස බලා හිඳී.ඔහු නියමයෙන් දෑත් බැඳි යදම් ගැලවුනද මාස ගනනාවක් තිස්සේ දෑත සිරකොට තිබූ මේ යදම් නිසාවෙන් තුවාල වී කුණු වී තිබූ වලළුකරට සුවයක් දැණුනද ඒ ගැන නොසිතාම මාගේ සියළු සම්පත වූ දිය තලයට දෙපා එසවීමි.
මහ වැව් තලය දියරැළි නංවමින් මුදු සිහිල් සුළඟක් ඇතිකළේ මා නිසාම යැයි හඟිමි.ඇසට පෙනෙන නොපෙනෙන මානයේ දිස්වන මා ජල තලය මොහොතක් අතීතයට මා කැඳවයි..
එසමය පර සතුරු චෝල ආක්‍රමණික ශිව මාගේ නැදෑ රජදරුවන් එකිනෙකා කැති ගාමින් මෙ පුරය වනසමින් මහා ව්‍යසනයක් ගෙනගිය කාලයයි.මා සිවුරු පොරවා මහා සංඝ ශාසනයේ රැකවරණ නොලබන්න මගේ මාතෘභූමිය නිදහස් කරගැනීම සිහිනයක් පමණක්මවනු ඇත..කෙසේවතුදු "මිගාර"යන් මා සමඟ එක්වීම සහ සේනා සංවිධාන කොට නොබෝකළකින්ම මුළු ලංකා ධරණී තලයත් උතුම්වූ බුද්ධ ශාසනයත් ආරක්ෂාකොටගතිමි.අනතුරුව එළඹි සංවර්ධනයුගයේදීද මිගාර දැක්වූ රාජපාක්ෂික භාවය නිසාම මාගේ ප්‍රිය දියණිය සරණපාවා දුනිමි.මහා වැව් දාගැබ් මහා ඇල මාර්ඝ මවු බිමට දායාද කොට ඇත්තෙමි.මිගාරගේ වීර පුත්‍ර රත්නය නමින් මේ වැව නම් කළ බවද සැබැවි...නමුදු මිගාරගේ කෲර වදහිංසා විඳින  ම'දියණියගේ ශෝකාලාපය නොදකින්න මා තවමත් මේ කිරීටයේ රැඳෙනවා නොඅනුමානය.පියතුමෙකු ලෙස ඒ වද හිංසා නොදකිණු රිසියෙන් මිගාරයන්ට දඬුවම් නියම කෙලෙමි..නමුත් මාගෙන් බේරී පලාගිය ඔහු දෙටු පුත් කාශ්‍යපයන් රවටාගෙන මාගෙන් පළිගනීවියැයි මා නොසිතූවෙමි.නමුදු සියල්ල සිදු වී හමාරය.
වැව ඉහත්තාවේ අව්කන බුදුපිළිම වහන්සේ මහා කරුණාවෙන් මේ දියත දෙස බලා හිඳී..නමුදු "කර්මය"පලදීම උන්වහන්සේගේ මහා කරුණාවටවත් වැලැක්විය නොහැකි බව දනිමි.මා සතුව මහා ධනයක් සඟවා ඇති බව මිගාරයන් පුතුව නොමඟ යවා ඇතිබව හැඟේ..ඉදින් මම් කුමක් කරන්නෙම්ද..මළහිරු ඈත දියඹේ සැඟවයන්නට ආසන්නය.ඉදින් මේ අසිරිය විඳ ගැනීමටවත් මහට ඉස්පාසුවක් තෘෂ්නාවෙන් බර වූ පුතු ඉඩ නොදෙන හැඩය..ඔහු පිටුපස සිට ගර්ජනා කරයි..වැව් දියෙන් දිය දෝතක් ගෙන පානය කෙළෙමි..සියළු දුක්ඛ දෝමනස්සයන් මඟහැරී යනුද මහා සැනසුමකින් මගේ ආත්මය ගිලගනුද අත් වින්ඳෙමි.
නැවතත් දිය දෝතක් ගෙන සිරුර නැහැවීයන් සේ විදාහල මම..

"පුතණ්ඩ..මේ..මාගේ මහා ධනයයි..මේ නිල් දිය කඳ නුඹට..මාගේ රටවැසි දුවාදරුවන්ට දායාද කරමි.." 
කාශ්‍යපයන්ගේ මුව ක්‍රෝදයෙන් දැවී යනුද..මිගාර සෙනවි වියරුවෙන් සිනාසෙනුද මා නෙතට හසු වූවද ඒ ගැන තැකීමක් නොකොට නිල්දිය කඳ වැළඳ ගතිමි..

"හෙහ්..නුඹ මාගේ පියතුමා නොවන බවයි තේරෙන්නේ..තා මා සමඟ ඔච්චම් කරන්නේද??.."

දෙවනවරද මේ දිය කඳ මාගේ සම්පත යැයි හඬගා කීමි.
"හ්ම් එසේද??එසේනම් උඹ ඒවා අර මුගලන්ට දෙන්නයි හිතාන ඉන්නෙ..රාජපුරුෂයණි..මොහු හිටවා පස්ගස්වා මැරීමට අණ කරමි.."
"පුතණ්ඩ..එය සැපයකි..මා මළ පසු මේ වැව් බැම්මේම මිහිදන් කළ මැනව..එයයි මාගේ අවසන් ඉල්ලීම..!
                                                                                                   
සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :ඇන්ටන් රුද්‍රිගු

Sunday, December 5, 2010

"දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..........."

සිත්තම ගත්තේ..http://www.gerardboersma.blogspot.com

උදේ පාන්දර සිට හැද හැළුණු ධාරානිපාත වරුසාව නිසාවෙන් අගනුවර සෑම වීදියක්ම පාහේ ජලයෙන් පිරී පවතිණු දුටූයෙමි..බස් රිය පිට කොටුවේ බෝගහ හංදියට ලඟාවන විට මඳක් වැස්ස තුරල්ව පැවතුනද මුළු ආකහේම අළුපාට වැහි බීරුමෙන් සන්නද්ධව පැවතුණි..මෙතුවක් වේලා අතෙහි ගුලි වී නිදිසුව විඳි කිරිකැටියා කරපින්නාගත් මම අඩුම කුඩුම සියල්ල බහාළුු මඳක් ප්‍රමාණයෙන් කුඩා සූට්කේසයද එක් අතකින් ගෙන වෙදිකාවට පැන්නෙමි...අවට පරිසරයේ වූ කලබලකාරී ගතිය අභිබවා කටුක සීතලක් ගත වෙලා ගැණුනෙන් සිඟිති පුතුගේ පොරෝණය හොඳින් සකසාගෙන වටපිට බලන්නට වීමි..හණිහණික තම තමා ගේ ලෝකවල තනිවෙමින් දෛනික කාර්‍යයන් උදෙසා එහෙ මෙහෙවන මනුස්ස පරාණ අතරේ අතරමං වීමි...එහා කෑල්ලේ අයිරිං අක්කා කී පරිදි බස් නැව්වතුම මේ ලඟම වියයුතුය.
"මහත්තයෝ ලංගම බස්ටෑන්ඩ් එක කොහෙද??"බැරිම තැන තරමක් වයස්ගත මහතෙකුගෙන් විමසීමි..පිළිතුරු දෙනවා වෙනුවට අභිනයෙන් යම් දිසාවක් පෙන්නුම් කළ ඔහු ඇසිල්ලේ මා පරයා ගියේ යැ.
කුසගින්නක් දැනුනද පදික වේදිකාවේ නා නා වර්ණවලින් දිස්වෙන ඇපල්,මිදි,දොඩම් දෙස නොබැළුුයේ පොකැට්ටුවේ වූ එකම රුපියල් එකසිය පනහා ප්‍රවේශ පත්‍රය ගැනීමට තරම්වත් සෑහේදෝයි සැකයක් මා සිත වූ බැවිණි...නමුදු පොඩි එකාට අතරමඟදී දෙන්නටවත් කිරි තේ එකක්වත් දමා ගතයුතු බව සිහිවීමෙන් හදවත අළුතින් දැවීයන්නටවිය..
"99 බදුල්ල" නැමැති නාමපුවරුව සහිත බස් නැවතුම කරා පිවිසි මම පෝලිමෙහි වූ තලතුනා පෙනුමැති කාන්තාවකට ලං වී..
"අම්මේ..බෙරගලට ටිකට් එකට කීයද??"

"බණ්ඩාරවෙලට නම් 104යි..බෙරගලට 90ක්වත් වේවි..."

මා පිනා ගිය තරම...වහ වහා බස් නැවතුමේ වූ තේකඩයට ගොඩවූ මා කිරි තේ කෝප්පයක් පුතුගේ කිරි බෝතලයට පුරවා කහට කෝප්පයකින් කුස පුරවාගතිමි..
උදේට මවුගේ අතින් ලැබෙන කිරි තේ කෝප්පය සිහිවී මගේ මතක අතීතයට යාමට මත්තෙන් බසයට ගොඩවී අසුනකට බරවූයෙමි...පුතු තවමත් නින්දේය..සැබවින්ම කිරිසප්පයා අදනම් කිසිම හැල හොල්මනක් නැතිව නිදයි..එය මට සහනයකි..
බසයේ හිඳසිටි අයවළුන් මා දෙස විමසුම් ඇසින් බලනවා දුටු මම කවුළුවෙන් පිටතට දෙනෙත් යොමා මුහුණ සඟවා ගතිමි..වැඩවරද්දාගත් එකියකියි ටක්කෙටම හිතනවා වියයුතුය.
ඒ මා සාපෙළ ප්‍රථිඵල බලා පොරොත්තුවෙන් සිටි අවදියයි..ඒ දෛවෝපගත හමුව සිදුවූයේ මා මව සමඟ බෙරගල නගරයට ගිය දිනකදීය..ඒ දිනවල පිළිසකරවෙමින් තිබූ කොළඹ බදුල්ල මහා මාර්ඝයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි එක් තරුණයෙක් මා දෙස බලා සිටිණු දුටිමි...සිත්ගන්නා පෙණුමකින් හෙබි ඔහුගේ කැරළි ගැසුණු කොණ්ඩය නිසාවෙන් වඩාත් සුන්දරව මගේ නෙත සිත බැඳ ගති..කෙසේවතුදු ෆොර්මන් වරයෙකු වූ සමින්ද හා මා අතර බැඳීමක් ඇතිවීමට වැඩි කාළයක් ගත නොවිනි..නව යව්වනයේ එළිපත්තේ සිටි මා අළුත් අත්දැකීම් සොයා යෑම අරුමයක් නොවුණි.දියළුම,බඹරකන්ද දියඇලි මානයේ වූ තුරුවදුළු අපගේ ප්‍රේම පාරාදීසයන් වූයේමැයි..මවුට බොරු දෙසාබාමින් "මැහුම්" පන්ති යන මම සතියට වර දෙවර නොව කිහිපවරක්ම හමුවීමට තරම් ප්‍රේමයෙන් මුසපත්වීමි..
වැඩිකල් නොගොස්ම අපගේ සම්බන්ධය ගෙදරටද රහසක් නොවූයේය.වරක් දෙවරක්ම මා හට බැන අඬ ගැසූ මව් පසුව සන්සුන් වූවාය..නමුදු අයියණ්ඩියගේ රැවුම් ගෙරවුම් අභිමුව මම තවතවත් සමින්දගේ ඇසුර සොයා ඇදුනෙමි..ඒවනවිටත් සම්මානී නම් වූ නව යොවුන් දැරිවිය කන්‍යාවක් නොවූවාය..ඒ ගැන පසුතැවුම්මක් මා තුළ නොවූයේ සමින්දගේ සුරංගනා කතාවන්ට මා වෂී වී සිටි හෙයිනි..සමින්ද හා බැඳුනු එකම ගැහැණිය මා පමණක් නොවනබව මා හට දැනී යනවිට ආපසු හැරෙන ඉසව්වක මා නොසිටියේය..
මා කසාද නොබැඳම ගැබ්බර එකියක් වී ඇති බැව් දැනගත් දින මව් ගේ හැසිරීම පුදුම එළවන සුළු වූයේය..මා වෙත දමා ගැසීමට පොදිකෑ වචන ගොළුකරගත් ඇය වැලහින්නකමෙන් හඬා වැලපෙනු අදද මට ඇසේ...පිය ආරක්ෂාව නැතුවද අතක් පයක් නොකඩා උස්මහත් කළ එකම දෝණියැන්දෑගෙන් ලැබුණු සැළකුම ගැන ඇය විස්සෝප වූවාය...එදාපටන් කිසිවෙකු සමඟ නොදෙඩූ ඇය..මුව ගොළුකොට ගත්තාය..සහෝදරයාගෙන් ලැබුණු "පාහර බැල්ලී" යන ගවුරව නාමයද සමඟ මඟට පිළිපන් මට සමින්දගේ කරේ එල්ලෙනවා මිස අන් සරණක් නොවීය.
අවසන මා තීරණයකට එළඹුනෙමි.
නීත්‍යානුකූලව කසාද නොබැඳම අසම්මත ලෙස ඔහු සමඟ කොන්ක්‍රීට් වනාන්තරයේ එක් ලෑලි මඩුවක වාසයට පැමිණියෙමි..මුළදී මුලදී ජීවිතයට හැඩගැසෙන්නට අපහසු වුවද  මේ මාගේ ලැබීම යැයි හිත හදා ගනිමින් වාසයට හුරුවූයෙමි..එහා කෑල්ලේ අයිරිං අක්කා නොවන්නට මේ කිරිකැටියාට මෙලොව එළිය දකින්නට නොහැකිවනු නියතය...කෙසේ වතුදු දරුගැබ මෝරා වැඩෙන විට සමින්දගේ ගමන මාසයකට වරක් දක්වා පහත වැටී තිබුණි..ඒ එන විටකදී කීයක් හරි අතමිට මොලවායන ඔහු ගෙදරින් යන්නේ මා සමඟ බහින්බස් වීය..දරුවා ලැබෙන්න සිටි මාසවලදී ඔහුගේ පැමිනීම සම්පූර්නයෙන්ම නතරවූයෙන් මා අසරණ වූ තරම දන්නේ මා පමණි..දරුවා විනාෂකරගැනීමට සිත් වූ වාර අනන්තය..නමුදු කුමණ හෝ වාසනාවකට හෝ අවාසනාවකට දරුවා එළිය දුටුයේ නීරෝගීවය..නමුදු උප්පැන්න සහතිකයේ පියාගේ නමට ඉදිරියේ හිස්තැනක් පමණක් තියාගෙන සමාජ අපවාද කරපින්නාගෙනය...ජීවිතයේ පලමුවරට මව් සෙනෙහස මේ යැයි හැඳින්නෙමි..ඉදින් අපවාද මත්තෙන් උවද දරුවා වෙනුවෙන් ජීවත් විය යුතුය.තවදුරටත් මේ දරිද්‍රතාවයේ පතුලටම ගිලී සිටින අයිරිං අක්කාට බරක් නොවියයුතු බව හැඟුනෙන් දින ගනන් කල්පනා කොට මේ තීරණයට එල්බ ගතිමි.
මා මව සොයා යා යුතුය..අනතුරුව රැකියාවක් සොයාගතයුතුය..අප්පා නැති එකා ජීවත්කළයුතුය..

අතීතය ස්මරණය කරමින්ම මම දෑවසරකට පසු මවගේ නිවසේ එළිපත්තට පැමිණියෙමි..අවට පරිසරය නොවෙනස්ව පැවතියද මැටි ගඩොළින් තනා ඇති නිවස අවපැහැ ගැන්වී තිබුණි..තැනින් තැන කපරාරු බදාමය ගැලවී ගොස් ගරාවැටෙමින් තිබුණි..කෙසේ වතුදු මුළුතැන් ගෙය වහලයෙන් දුම් රොටු නැඟේ...ඒ මව් සිටන බවට සාධකයකි..
අතහුන් කිරිකැටියා අහිංසකව සිනහසෙමින් කාත් එක්කදෝ කතා කරයි...හිතට වෙර ගතිමි...මේ මා වෙනුවෙන් නොව මේ දරුවා වෙනුවෙනි.."ඇය" මට සමාව දෙනු ඇත..මිටි කරගත් වෙව්ලන අතින් දිරාගිය දොරට සන් කෙළෙමි..

"ටොක්..!..ටොක්..!..ටොක්..!"
 ==============================================================

විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා...
මඟ වැරදිලා දිව්වේ මං මුලා වෙලා...
පැනගිය මුවන් ලඟ හැලුනයි නෙළු පලා..
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..

කස්තුරි කපුරු කෑ තරමට එපාවුණි..
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි..
ඇස් රතු කළ කොලොප්පමකට හිනා උණි..
මහ මෙර සේ නුඹ නොදොඩා බලා උණි..

මෝල් ගහත් ඇවුළුණි කරුම ගින්නට..
උණුසුම මදිවුණා ඔය පැලෙ ඉඳින්නට..
මා ගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට..
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..

සොඳුරු ගේය පද සිත්තම : ස්වර්ණ ගුණවර්ධන
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :ඉන්ද්‍රාණි බෝගොඩ

Tuesday, November 30, 2010

"මා හඳුණන මගෙ හිත ගත් කළණිය........ මට නුදුරුයි ..සුරඟනට වඩා..."

මේ තාක් මා මගේ දෙමාපියන්ට අකීකරු වී නැත්තෙමි..නමුදු මගේ ජීවිතයේ වැදගත්ම තීන්දුවක් ගැනීමට නිදහස මා සතුව ඇතැයි මා විශ්වාස කරමි..

"පුතේ...ගැහැණු ළමය ගැන මොකද කියන්නෙ..??"

ලොකු මාමා සුවපහසු කාරයේ ඉදිරිපස අසුනට බරදී අප පසුකර යන සචේතණික අචේතණික වස්තූන් කෙරෙහි හිස් බැල්මෙන් බලාහුන් මාගේ දැහැන බිඳිමින් විමසයි...

"ම්..ම්... ළමයද..ලස්සනයි..සුරංගනාවියක් වගේ..."සැබවින්ම මා පැවසුවේ මුසාවක්නම් නොවේ..ඇය වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම රූපත් එකියකි..පිරිමින් වසඟකරවන රූ සපුවක් ඇත්තීය.

මගේ ඒ හැඳින් වීම පිළිබඳව වැරදි ලෙස වටහා ගත් ලොකුමාමා මනාළියගේ පාර්ශවයේ පට්ටන්දරය දිගහරින්න ගත්තේය..

"බොහොම පොහොසත් පවුලක්නෙ පුතේ..ඔය සප්ත මහා සාගරය වගේ තියෙන ගෙදරත් ඒ ළමයටළු..අයියලා දෙන්නා ඔස්ට්‍රේලියාවල කියන්නේ...මේවල පදිංචිවෙන්න එයැයිල ආපහු එන්නෙ නැහැකියන්නෙ...ඉතිං මහ උන්දැලෑ සියළු සබ්බ සකළමනාවම ඔය දෝණියැන්දැට තමයි..."
"හ්ම් ..ඇත්තටම මාමේ ඔයගෙදරට ගෑණු එක්කෙනෙක් මදිවෙයි නේද??..බහුභාර්‍යා විවාහයකට ඔය ඇත්ති කැමතිවෙයි ද දන්නෙ නැහැ.." සිනහ නොවීම බැරෑරුම් මුහුණක් ආරූඩ කරගනිමින්ම පැවැසූයෙමි..

"ලොකු පුතා මාව විහිළුවකට ගත්ත එහෙමයි..???"

"අනෙ නැහැ මාමෙ...මං එදත් අදත් කියන්නෙ..ඔය කුමාරිහාමිලාට වැඩිය මට මගේ මංජරී වටිනව...මමයි විවාහ වෙන්නෙ..මට කැමති කෙනෙක් එක්ක ඉදිරි ජීවිතේ ගොඩනගාගන්න බැරිනම් මොකටද මාමේ..හිතේ සන්තෝසෙ නැතිව කොච්චර සැප සම්පත් තිබුණත් මොකටද??.."

"ඒ වුනාට පුතේ ඔය වෙලේ ගෙදර එව්වන්ට..."
ඇති..ඇති මාමෙ...මාමට පුළුවන්නම් අපේ තාත්තලාට කියන්න මේ විදිහට මට කරදර කරන්න එපාය කියලා...මං කවදහරි කසාද බඳින්නෙ මංජරීවම විතරයි කියන්න.."

අනතුරුව අප අතර කිසිදු කතාබහක් නොවූයෙන් සුපුරුදු හුදෙකලාවම හිත වෙලාගනු දැණුනි...නිතැතින්ම "ඇය" මගේ හදවත තුල විජරාමාණවනුයේ මෙවන් අවස්ථාවලදීය.

"පුෂ්ප..ඇයි ඔඅයා මෙච්චරම මට ආදරේ..??"
"මලකටයි මංජරියකටයි වෙනෙවෙනම ජීවත්වුනහැකිද මංජරී.."

මා ඇයට ඇළුම් කලේ ඇයගේ බාහිර පෙනුමටවත්..ඈ දුප්පත් එකියක් වූ නිසාවෙන්වත් සාම්ප්‍රදායික පෙම්වතාගේ චරිතයට පන පොවන්නට වූ ආශාව නිසාවෙන්වත් නොවන බව දනිමි...මා අගය කරණ බොහෝ ගතිගුණ ඈ තුළින් ප්‍රකට වූ නිසාවෙනි..

අපගේ සම්බන්ධය ගෙදරට සැළවූ දින සහෝදරිය කියූ කියමනක් අදද මගේ දෙසවන් තුළ රැව්පිළිරැව් දේ..

"මල්ලියේ උඹගෙ පෙනුමටවත්..පාරෙ එක්කන් යන්න පුළුවන් එකියක් හොයාගනින්කො බං.. "
"මගෙන් මොකුත් නාහ හිටපන් අක්කේ..පොත්තෙ ලස්සනට රැවටිලා දැන දැනම අපාගත වෙන්න මට බැහැ..උඹ හිතාන් ඉන්නව වගේ අර උඩැක්කිය කරේ එල්ලගෙන ඉන්නවට වැඩිය හොඳයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පයිනවා මං මංජරීට කැමැත් ඒකි මට ගැලපෙන නිසා...අනෙක් අයට නොගැලපීම් පෙණුනට මට කමක් නැහැ.."

නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවණින් දෙණුවන් රවටා..
මා පෙම්කළ ජනපද කල්‍යාණිට ..හිමියනි මට කළ නොහැක නිගා..


සුරඟන රූ සිරු..තුටිනි හැඳින්නෙමි..සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා..
මා හඳුණන මගෙ හිත ගත් කළණිය..මට නුදුරුයි ..සුරඟනට වඩා...


මා සිත සුවපත් කරලණු නොහැකිය ..සෝ ළතැවුල් දෙයි රැයද දිවා..
නෙත දුටු සුරඟන රූ සිරු කුමටද හද දිණු ජනපද කළණ නිසා..

වාහනයේ වූ රේඩියෝවෙන් හදිසියේම සවනට වැකුණු ඒ මාදුර්‍යය වූ ගීතය මගේ ආදරයට බද්ධ වූයේ යැයි හදිසියේම සිතුණි..
හැබවින්ම නන්ද තෙරණුවෝ ජනපද කල්‍යාණිය සුරංගනාවන්ට සාපේක්ෂව අළුත් ගිණි ලෑ හේනක දැළි තවරාගත් වැඳිරියකට උපමාකොට බුදුරදුන් දෙසූ දම් නිසාවෙන් සසර කතරින් එතෙර වූවද..මම් හිත දියුණු කොටගත් තැනැත්තෙක් නොවෙමි...මගේ හිතගත් ප්‍රියාවිය මට අගනේය...ඉදින් දෙමාපියන්..හිතවතුන් කෙළෙස කීවද ඇය මට සුරංගනාවියකි..
රියැදුරු අසුනේ සිටින මාමාට ඇසෙන්නට ගීතයේ අවසන් පැදි..බර කොට ගයමි...ඔහු කපටි සිනහවෙන් මාදෙස බලනු පෙනේ...
 "නෙත දුටු සුරඟන රූ සිරු කුමටද හද දිණු ජනපද කළණ නිසා.."


සොඳුරු ගේය පද සිත්තම : ..........................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : සෝමතිලක ජයමහ

Friday, November 26, 2010

"වෙන අඟනන් කුමට සුර'ඹ ගෙහි සිටින මට...."

ඇය මාගේ නෙත ගැටෙන විට සුපිරි වෙළඳ සංකීර්ණයේ එකිනෙකට සමාන්තරව ඉහලට සහ පහලට දිවෙන විදුළි පඩිපෙලෙහි ගමන් කරමින් සිටියෙමි.කතාකරණ නෙතු අග සරාගී බැල්මෙන් මා දෙස බැලූ ඇය තවමත් තුරුණුවියේ පසුවන මාගේ පූර්ණ අවධානය ඈ කෙරෙහි යොමුකරගන්නට සමත්විය.
නැගෙනහිර ආසියාතික සම්භවයක් සහිත එකියක් යැයි සිතිය හැකි ඇය උසට සරිලන මහතින් හා මනාව වැඩුණු ස්ත්‍රී ලාලිත්‍යයෙන් හෙබි පිරිපුන් අඟ පසඟවලින් සමන්විත වූවාය.ඇගේ දසුනින් මෝහනය වූ මා ඈ පසුපසින් වැටුණෙමි. අගනා, ඔපමට්ටම් කළ මාබල් ඇතිරූ පොළව මතින් සීරුවෙන් පා තබමින් "ටොක් ටොක්" යන අනුකරණයෙන් ඈ යන ගමන මාගේ දෙසවන අතර නින්නාද දෙන්නටවිය.අඟල් තුනක් පමන උස්වූ ඇගේ පාවහන් මේ ඔපදමන ලද බිමෙහි පරිස්සමින් හැසිරවීම පිළිබඳ මම පුදුම වීමි.එයිනුදු නොනැවතුනු මගේ දෙඇස් ඇගේ කෙණ්ඩා, පුළුල් උකුල සොයා ඇදෙන්නට වූයේ සහජයෙන්ම පිරිමියාට හිමි කාමක්ෂ්තවූ රාගාධික හැඟීම පාලනයකරගත නුහුණු තැනය.රක්ත වර්ණ වූ කෙටි සාය නිසාවෙන් වඩාත් තීව්‍රව කැපී පෙනුනු ඇගේ දෙපා වර්නනය කිරීම සඳහා මම අසීරු ප්‍රයත්නයක යෙදුනෙමි.සායට කැපෙන ලෙස හැඳසිටි උඩුකය වසා සිටි හැට්ටය උඩින් දමා තිබුණු කෝට් එක නිසාවෙන් ඇගේ උඩුකය පැහැදිලිව ග්‍රහණය කරගැනීමට අපහසුකමක් වීය.පසු පස හැරෙමින් මගේ අවධානය ඈ දෙසට තවත්වත් යොමුකරගනිමින් සරාගී ගමනක යෙදුණු ඈ සුපිරි රෙදිපිළි මාළිගයට ඇතුළු වූවාය.රොන් සොයා යන බඹරකු සේ මමද රෙදිපිළි අතර අතරමං වීමි.අවශ්‍යයතාවයක් නැතැත් ඈ පසුපස නෙත් මෙහෙයවමින් ඈ දර්ශනයවන ඉසව්වේ තව තවත් සැරිසැරීමි.දැන් මෙමගේ දර්ශණ පථයට ඇගේ සුන්දර වූ දසුන ඉතා හොඳින් හසුවේ.
"නාදළු මෙන් වර්‍ණගන්වා තිබූ දෙතොල් සැලේ..මොහොතක් ඒ දෙතොලේ නැවතුමට මට අවැසිය...මඳ අඳුරු සුයාමයේ ඈ මදුවිත පිරවූ මංජුසාව එක් අතකින් ගෙන මා සමඟ සෘංගාරාත්මක රංගනයක යෙදේ..තිසරුන් මෙන් වූ ඇගේ පයෝදර හැඟුම් බර වූ නිසාවෙන්දෝ මා නෙතු දැහැන්ගත කරවයි..ඇයගේ උණුසුම් ළමැදේ මඳක් සිහිල සොයමි..චුම්බනයෙන් වෙහෙසකරවූ ඇගේ දෙතොල් මත දෙතොල් තබා රැය පුරාවට පෙම් ඕවිල්ලේ නැළවෙමි...ඉදින් මේ සුවය නිඳි නැති රැයපුරාවටම සොයමි..ම්..ම්.. මෙවන් සුවයක්..!"
මගේ දැහැනට බාදාකරමින් දුරකථනය නාදවෙනු දැනේ..අවිඥ්ඥානිකවම දුරකථනය ගෙන සවනේ රුවා ගතිමි...

"නිශා...කොහෙද අනේ ඔයා ගියේ...ඉක්මනට එන්නකෝ..ඔයා දන්නවනේ මේ පැය දහය මං කොහොමද ගෙවාදාන්නෙ කියලා.."

මම සිහිනෙන් අවදිවුණෙමි...ප්‍රිය බිරිඳ මා එනතුරු මඟ බලාහිඳී.

ආදරණීය ඈ බැලීමේ හදිසි උවමනාවක් හිතට නැගේ...සියළු දේ අමතක කොට හුන් තැනින් හණික නික්මීමි.

"මේ එනවා මගෙ නෝනේ.."
================================================================
මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හඳේ ලැගුම් අයැදී..

විතක් මධු පෙරා ගෙනැල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැඟුම් පා
මුවට යා කලා ...
හැඟුම් තෙරපිලා දෝ
හසුන් මුසවෙලා
සිහින ලොවක පාවී සදුන් සිහිල යාවේ

මා සනසා මා නළවා...

රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගී
හිදිමි මඟ බලා...
හෙටත් සඳ උදාවී
රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී... සුරඹ මා සොයාවී.....

මා සනසා මා නළවා...

සොඳුරු ගේය පද සිත්තම : කේ.ඩී.කේ.ධර්මවර්ධන
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : මර්වින් පෙරේරා

Monday, November 22, 2010

"මේ පායා එන්නේ එදා මා දුටු සඳමද?.."

රටාවට ඇමදූ ගෙමිදුල කෙලවරට වන්නට වූ ලොවි ගහ යට පිටපළුවක් අටවමින් සාදන ලද බංකුව මත හිඳගතිමි.ඔහුගේ මනාලිය වී මේ බිමට පා තැබූ දිනය මා ඉදිරියේ අදද  සොඳුරු මතකයන් මවනුයේ මේ නිවසෙහි වටාපිටාවේ වූ සුන්දරවූත් නිස්කලංකවූත් පරිසර පද්ධතිය නිසාවෙන්මැයි..අද ගෙඩිවරා ඇති මේ ලොවි ගස එදා රතුපාට දිදුලන මාණික්‍යයන් සමූහයක් සේ අතුපතර පිරී තිබුණු බව මතකය..කුඩා දියැණියන් සමූහයක් ආසිරි ගී ගයන වේලෙහි කෑදරබැල්මෙන් ඒ දෙස බලනු දුටු ඔහු මගේ සවනට "ලොවි පෙරේති..බොට තමා ඔය සේරම..ටිකක් ඉවසපං"යි කෙඳිරූබවද මතක තියේ..

සාලයෙහි සයිබෝට්ටුව මත විජරාමාණව වැඩ සිටින වෑර්ලස් පෙට්ටිය අද දවස පුරාවටම කෑ මොර දෙනුයේ ඇමරිකාණුවන් හඳ මත පා තැබූ පුවත්ය.එය කිසිම ජීවයකින් තොර වියළි කතරක් බවත් කිසියම්ම වූ සෞම්‍ය ගුණයක් එහි නොවන බවත් "රේඩියෝ සිලෝන්" හි නිවේදකයා පවසණු අසා සිටියෙමි..සැබවින්ම එය ඇදහිය හැක්කක්ද???
මේ නිවසෙහි මනාලිය වී ආ දිනයේ මා සතුටු කළ එක් කාරණයක් මීට පෙරදී ඔබට පැවසූයෙමි..තවත් මා කුල්මත්කළ කාරණයක් තියේ..ඒ වූ කලී මේ මැද සාලයේ රන් නූලෙන් වැඩ දැමූ පොරෝනයක් පොරවාගෙන සාඩම්බරයෙන් වැඩ හිඳින වෑර්ලස් පෙට්ටියයි..දීග එන්නට පෙර එක් වතාවක් පමනක් දැක ඇති මෙය මගේ නෙතට මෙන්ම හිතටද සුන්දර වූ කාරණයක් වූයේමැයි.
රාත්‍රිය එළබ හෝරා කිහිපයක් ගතවීත් ඉස්තෝප්පු කාමරය දෙසින් ඇසෙන නඩු විසඳන,බයාදු කෙඳිරිලි,විධාන තවමත් නතර වී නොමැත..මා පතා ආ කුළගෙය මෙයමදැයි මගේ හදවත විමසන්නට පටන් ගත්තේ මෙහි පතිනිය වී පැමින වසරක් පමන ගතවෙත්දීය.ඉහල ගංතුලානේ ආරච්චිල වූ මගේ පියාණනුත්  සිරිමෙවන් කස්තුරි බණ්ඩාර ගම්මුලාදෑණිත් අතර වූ යහළුකමේ ප්‍රථිඵලය වූයේ මෙමට වඩා විසි වසරකින් වැඩිමාළුවූත් හැඩිදැඩි දරදඬු පුද්ගලයෙකු වූත් කරමැටියේ ගම්මුලාදෑනි තැනගේ බිරිය වී මේ සාගරයක් තරම් වූ වලව්ව්වේ ස්ථීර පදිංචිකාරියක වීමෙනි.නවයොවුන් වියට එළඹෙමින් සිටි ළමිස්සියක් වූ මා මේ විවාහයට අකැමැත්තක් නොපෙන්වූයෙමි..මන්ද සිරිමෙවන් කස්තුරි බණ්ඩාරයන්ගේ ආරෝහ පරිනාහ දේහයට ඇළුම් නොකළ තරුණියක් මේ ඉසව්වේ නොසිටි බැවිණි..ඒ දිනවල මෙවන් සඳ පායා එන රාත්‍රීන්හිදී ජනේල කවුළු පියන්පත් ඇරදමා ඔහේ බලා සිටි අන්දමද සිරිමෙවන් සමඟ ගෙවන කුළගෙය මේ අයුරින් වෙතැයි මාළිගා තැනූ බව මතක තියේ.නොයෙක් සුන්දර කවි පබැඳුම් ගොතමින් ඒවා පායා එන සඳු සමඟ මිමිණූබවත් මතකය.සැබවින්ම මා තුළ සොඳුරු හැඟුම් මතුකළේ ඒ සුන්දර වූ සඳවතයි..බෝහෝ කවිකාරයනටද එසේම විනැයි හඟිමි.ඇලපාත මුදළි ගජමන් නෝනාට කියූ කවි ඒ දිනවල මා මුවඟ නිතර මිමිණූ ඒවාය..ඒ නිසාම නොයෙක්වර කෙල්ලන්ගේ උසුළු විසුළුවලටද ලක් වී ඇත්තෙමි.ඒත් මා අත්දකින මේ ජීවිතය සුන්දර නොවූයේ කිම.එක අතකින් ගමක් පාලනය කළයුතු ගම්මුලාදෑණි කෙනෙකුන්ගෙන් සුන්දර වූත් සුකුමාලවූත් ,ප්‍රේමණීයවූත් වදන් බලාපොරොත්තුවිය හැකිද..ඉඩම් ආරවුල්,පවුල් පලහිලව් වලින් ඔළුගෙඩිය පුරවා නිදියහනට එන සැමියා කෙසේ නම් ප්‍රේමණීය හැඟුමන් ඇතිකරගන්නද??..නමුදු මාද සම් මස් ඇට නහර වලින් සැදුනු මනුස්ස දුවක්මි..විවාහවී වසර තුනක් ගතවීත් දරුවකු නොසිටීම ගැනනම් පසු තැවීමක් ඔහු තුල තිබෙනු දැනේ..ඒත්..
මා සිතා සිටි සුන්දර ලෝකය මා දෙපා ඉදිරියේ මෙසේ වැළලී යන්නේ කවිකාර වූ මගේ සිතදද තලා පෙලාය.බෝහෝ නිදිනැති රාත්‍රීන්හිදී මේ පායා එන චන්ද්‍රයාට මගේ දුක කවි කොට පාක්කොට හැරියෙමි..නමුත් සෞම්‍යය සුන්දර මහාර්ඝ වස්තුවක් ලෙස මගේ හිතේ විජරාමානවූ මේ සඳම වියළි වූත් ප්‍රාණයෙන් තොර කතරක්යැයි මගේ විඥ්ඥාණය පිළිගැනීමට නොකැමති සේය...නමුදු "විද්‍යාව"මා හදවතේ අඳුරු ගිරිෂිකර මවයි..
ඉදින් මේ සිද්ධි දාමය  මගේ ජීවිතය හා බද්ධ නොවේද??

"ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසල ගැවසේ..." 

================================================================

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ.......

එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ විකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ........

මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ.........

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : නන්දා මාලනී

සිත්තම රිවිර පුවත්පත අනුග්‍රහයෙනි.

Wednesday, November 10, 2010

ඇය මටද ආදරෙයි කියා තිබේ....!

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ.....

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ.....

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය

මටද ආදරෙයි කියා තිබේ....


සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ.......


ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ.....

-----------------------------------------------------------------------------------------------------
"සැබවින්ම මා කුහක ප්‍රේමවන්තයෙක් දැ"යි තීරණය කිරීමට පෙර මෙම පාපොච්චාරණය අවසානයවනතෙක් කියවන ලෙස අයැද සිටිමි..


නිදිනැති රැය පුරාවට බොඳවූ දෙනෙතින් අකුරු එකිනෙක අමුණා ආයාසයෙන් ලියන ලද ලිපිය මා සුරතෙහි පරක් වෙනුයේ කුමන පැයේ සිටදැයි නිනව් නොවේ.හතරට නවන ලද සුදුපාට තනිරූල් කොළයේ දාර ඇඟිලිතුඩු මඟින් පිරිමඳින නිමේෂයේම මගේ සිත අතීතයේ නටඹුන් අතර සැරිසරණු දැනේ...ඊයේදිනයේදී රඟහලේ, කාලයක් ඇයට මෙමට හුරුපුරුදු වූ අඳුරු කෙළවර වූ අසුනට වාරුදී වේදිකාව මත දිග හැරෙන නූර්තියට වසඟ වී සිටියෙමි..රඟමඬල නිශ්චල වී රඟහල  ආලෝකමත් වූ මොහොතේ කාලයක් මා ආයාසයෙන් යටපත් කළ තුවාලයක් නැවත පෑරෙනු ඇතැයි නොසිතුවෙමි...සැබැවින්ම ඇයගේ මගේ සොඳුරු අතීතයක් වලදමා තිබූ මේ රඟහලේදීම "ඇය ඇගේ අළුත් පෙම්වතා" සමඟ වෙලී සිටිණු දුටුයෙමි.
"සචී"
"හ්ම්"
"මනමේ කුමාරි ඇයි කුමාරයාට කඩුව නොදුන්නෙ??"
"කුමාරයා සුකුමාලයි,වැද්දා හැඩිදැඩියි...ගැහැණු හිත් කැමතියි රළු පහසට..සංසර්ගයේදී පිරිමියාට වඩා ගැහැණියට තෘප්තිමත් වෙන්න වැඩි කාළයක් ගන්නා බව ජීව විද්‍යාත්මක සත්‍යතාවයක්.."
"නැහැ වැරදියි අනේ..!"
"...."
"ගැහැණියට නිතරම රැකවරණය ඕනෑ...ඉතින් වනාන්තරය තුලදි වැඩියෙන්ම රැකවරණය තිව්නෙ වැදි රජතුමා ගාව...කුමරියගෙ ඒ තීරණය වැරදි නැහැ.."
"අපූරු අර්ථ කථනය...දවසක ඔයත් ඔය තියරියම දාල මාව අතෑරලා යයිද කවුද දන්නෙ.."
"ඇයි අනේ..මම කිව්වෙ මනමේ කුමාරිය වැරදි නැහැ කියල විතරයි..."
මගේ උරහිසට වාරු වෙමින් එදා ඈ කී වදන් පෙළ සිහි වී අමුතු තිගැස්මක් හද තුළ ඇතිවී ගියේය.ඈ ඉදිරියේ මා පරාද වූයෙම්ද???
ඔහුට තුරුළුව ඈ ඊයේදිනයේදීද සිටියේ ඒ අයුරින්මයයැයි මට සිහියට නඟාගත හැක.ඔවුනට ලංව හොර රහසේ සවන්දීමේ උවමනාවක් මගේ හදවතේ ඇති වී නැති වී ගියේ හුදෙක් මනුෂ්‍යය සන්තානයට හිමි ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ල නිසාමය.මෙමට අවැසි වූයේ ඇය මුමුණන්නේ එදා ඈ මාහා දෙඩූ වන්දමැයි දැන ගැනීමටය.
එදා වැල්ලවත්ට මුහුදු වෙරළේදී අපගේ අවසන් හමුවීමේදී ඇ කිවූ අන්දමට අපගේ නොගැලපීම් එකිනෙක ගෙන විග්‍රහ කොට බැලීමට සිත්වූයේ මන්දැයි මම නොදනිමි.ඒ මා ඇයට තාමත් ප්‍රේමකරන නිසාවෙන්ද නැතහොත් ඇය තුරුළු වී හුන් තරුණයා කෙරෙහි වූ ඊර්ෂ්‍යාවෙන්දැයි නොදනිමි.
අප බැඳීමෙහි නොගැළපීම් සොයන්නට වූයේ අපගේ අවසන් හමුවීමට මාස කීපයක සිට බැව් මාහට දැනීගිය කාරනයක් වූයේමැයි.
"නිම්නි.. ඇයි ඔයා මගේ ප්‍රශ්ණෙන් මඟහරින්නෙ..??"
"ඔයාට තේරෙන්නෙ නැහෑ සචී..මට තියෙන ප්‍රශ්න..අම්මල මාව දේවකට තීන්දු කරල...එහෙන් අයිය මාව සැක කරණවා..මම හැරුනත් වැරදියි..ලබන මාසෙ දේවක ලංකාවට එනවළු..ඉක්මනින් වෙඩින් එක ගන්න ඕනෑලු.."
"ඉතින් ඔය ප්‍රශ්ණ කලින් ඉඳල තිබුන ඒවානෙ නිම්..දැන් ඔයාට ඒවා මහ ලොකු ප්‍රශ්ණ විදිහට පේන්නෙ මාව මඟහරින්න ඕනෙ නිසාද???"
"ඔයාට ඕන කෙහෙල්මලක් හිතාගන්න..සචී..මම් මෙච්චරයි දන්නෙ..මට ..මේක දැන්..."
"ඉතිං කියන්න නිම්නි...මම අහගෙන ඉන්නෙ...ඇයි නැවැත්වුවේ..ඔයාට මාව දැන් මදියි කියල තේරෙනවනම් ඔයාට යන්න පුළුවන්..."
"ඔව් ..සචී අපි වෙන්වෙමු..!"
අවසන ඇය අවසන් තීරණයට එළඹ තිබුණාය...
වසර හතරක ඇසුරකට පසු ඇයට මා නොගැලපෙන සහකරුවෙකුය යැයි දැනී තිබුණි.ජීවනගමනේ අවසානය තෙක් කුමණ ගැටළු පැමිණියද එක්ව මුහුණ දෙමුයි පැවසූ ඇයම මා අතරමංකොට පලා ගියාය.ඇයගේ අභිනික්මනට හේතු සොයමින් මම් පසුගිය කාළපරිච්චේදය පුරාවට අප කළ කී දෑ පිළිබඳ එකින් එක ගෙන විමසා බැලිමි...නමුදු සාධාරණ හේතුවක් සොයාගත නුහුණු තැන නොකැමැත්තෙන් වුවද ඈ "චපල එකියකියි" සමාජය ඉදිරියේ කීමි.ඊයේ දුටු දසුන නිසාවෙන් නිදන්ගතව පැවති මතකයන් අළුත් වීම කරණකොටගෙන හද තුළ ඇතිවුණු නොහිම් ශෝකය පලවාහරිනු වස් මේ මා අත වූ ලිපිය ලීවෙමි..එය කාහටද,කුමක් සඳහාදැයි නුඹට කිවයුතු නොවන බව දණිමි..ඉදින් මා "කුහක ප්‍රේමවන්තයෙකු"යි නුඹ තීරණය කළද ඈ ගැන මෙසේ හෙළිදරව් කිරීමෙන් කුරිරු සතුටක් ලබමි..එය සැනසීමකියි ඔද්දල් වූ සිත හඬගා තෙපළු බැවිණි..

ඉදින් මා ප්‍රේමය ඉදිරියේ "කුහකයෙකු" වීමි.

video
මෙය නැවත පළකිරීමකි.

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : ගුණදාස කපුගේ