Sunday, January 30, 2011

"හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.."

සිත්තම ගත්තේ logoi.com නි.

මා මියැදෙමින් සිටින බව හැඟේ..මේ ශරීර කූඩුවේ හුස්ම පොද තවමත් රැඳුනද මා සැබවින්ම මිය ගියේ.."ආදරණීය මුම්ටාස් උඹ මා හැරගිය ඒ දිනයේදීමයි.."ඔබගේ ප්‍රානය නිරුද්ධ සිරුර මා මුළින් දුටු මොහොත..! අපි අපේ අළුත් දූ සිඟිත්තිය ගැන කොතරම් හීන මැව්වාද මුම්ටාස්...??අන්තිමට ඒ ලේ කැටියා විතරක් මගේ අත රඳවා නුඹ හැර ගිහිල්ලා තිබුනා..මේ අධිරාජ්‍යය මට නුඹ තරම් නොවේ මුම්ටාස්...මම ඔබට ඒ වගක් කියා තිබුනා..මගේ ජීවිතය වූයේ උඹ..
මං කාලයක් නොදොඩාම හිටියා..මට මොනවත්ම ඇහුනෙ නැහැ..මට අහන්න ඕන උනෙත් නැහැ..මට අහන්න ඕන වුණේ උඹගෙ කටහඬ විතරමයි..දකින්න ඕනවුණේ උඹේ දසුන විතරමයි..මට ජීවත් වෙන්න උඹේ ආදර ඕනෑම උනා..!
මේ කුඩා හිරකුටිය මට ආෂීර්වාදයක් වුනා...රැයක් දවාලක් නැතිව මට උඹත් එක්ක ඔහේ සැරි සරන්නට පුළුවන්..දෙවියන්ට ස්තූතිවේවා..දැන් මට මොනවත්ම ඇහෙන්නෙ නැහැ...මට ඇහෙන්නෙ අතීතයේදී උඹ මා සමඟ තෙපළු ආදරණීය වදන් විතරමයි..ඇස් පියාගත්තාම සිත් සේ උඹගේ රුව මැවෙනවා..ඉතින් වෙන මොනවද..???..
හිරු උදාවන හැම උදයකම මේ කුඩා සිදුරෙන් මං උඹව දකිනව..අහෝ..සුන්දර යමුනාව....යමුනාවෙ දියඹුංගසන උඹ හැබෑම ලස්සනයි..වෙලාවකට හිතෙනව දියකිඳුරියක්වත්දෝ කියල..ඇඟටම ඇළුන දුහුල් සළුව මා තුසිතයකට ගෙන යනවා..ඔය මාලිගයට ඇතුළුවන ද්වාරය කැටයම් කලේ චීන ගල්වඩුවෝ..උඹ ලතාවක් වගේ සුකොමලයි කියල මං උන්ට කිව්ව..ඔය හැම කැටයමකම උඹ ඉන්නව..අපගේ ආදරය තියෙනව..ඔය දිළිසෙන බිත්ති..හැඩ කලේ චන්ද්‍රකාන්ති පාෂාණයෙන්..ලක්දිවෙන් උඹ වෙනුවෙන්මයි ගෙන්වා ගත්තෙ..උඹගේ ජවි වර්ණයට සමාන දෙයක් ලක්දිවෙන් හැරෙන්න මට හොයා ගන්න බැරිවුණා..

අහෝ සුන්දර ටජ්මහල..ඇයට පමණක් ඔහි නවාතැන් දීපන්..මමත් ඉක්මණින්ම එනව..ඇයට කියාපන්..!

උඹ දන්නවද මුම්ටාස්...හැම සුන්දර හීනයක් අවසන මම උඹ සැතපෙන ..මිහිදන් කල සොහොන් කොත දකිනව..එතකොට මටත් ඉක්මණින් මැරෙන්න ඕන වෙනව..මං දන්නව..මට දැනෙනවා..ඉක්මණින්ම මං උඹ ගාවට එනවා..

ඉදින් .......

"එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.."

oooooo0oooooo0oooooo0oooooo0oooooo0oooooo

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..


oooooo0oooooo0oooooo0oooooo0oooooo0oooooo

 
සොඳුරු සළරූ සිත්තම 001fjyd සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :සනත් නන්දසිරි..

Tuesday, January 25, 2011

"පුළුලුකුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද....??"

සිත්තම ගත්තේ artconversation.com නි.

මංගල යහනෙහි එලන ලද සුදු පැහැති ඇතිරිල්ල දෙස නැවත වතාවක් බැලීමි..

"පට්ට දහදුරාවි..අවලමේ ගිහින් පත්තිනි අම්මවගේ පෝරුවෙත් හිටියනේ..."

මුවින් නොබිනූවද ඈ දෙස නොබලාම හදවතෙහි වූ අපුල හේතුවෙන් යහනෙන් නැගී සිටි මා සඳළු තලයට පිවිසීමි.දහදියෙන් තෙත්ව තිබූ ගත සිහිල් කරවමින් හමා ගිය සුළං රැල්ල හේතුවෙන් කළබලකාරීව මියැදෙමින් ඉපදෙමින් පැවතුණු සිතිවිලිදාමයන්ට මඳ විරාමයක් ලදුවා සේය.තානායමේ විවෘත්ත ආලින්දයේද ඔබ්බෙන් වූ පිහිනුම් තටාකය අවටද තවමත් සෙනඟින් පිරීපවතිනුයේ සන්ධ්‍යාභාගයේ ඇරඹුණු විවාහ මංගල උත්සවය නිසාවෙනැයි හඟිමි.අයෙක් සුරා මතින් නන් දොඩවයි..අත්පුඩිතලමින් ඒ වචන හරඹයන්ට උල්පන්ඳම් දෙනවුන්ද නැතිවා නොවේ..අඳුරු තුරුගොමුවට වන්නට මහ සෙනඟින් වහංගු වූ තරුණයෙක් හා තරුණියක් සිත් සේ ආලිංගනයෙහි යෙදෙනවා මා දෑසටහසුවේ..තරුණියව කිටිකිටියේම තම සිරුරට වාරුකරගෙන සිටි තරුණයා ගේ මුහුන තරුණියගේ මුහුන මත වනවා දුටිමි...මොහොතින් මගේ හද තුළ විදුළියක් කෙටුවාක් මෙන් සර්වාංගයම ශීතල වී ගියේ මේ මා ඉදිරියේ වන පෙම් ජවනිකාව මා හටද හුරු පුරුදු නිසාවෙන්මදැයි සිතන්නට වීමි.
ඔව්..මමද කුමර බබසර රැකියෙකු නොවෙමි..මගේම හදවත මට චෝදනා කරයි.මීට පෙර මංගලයහනෙහි සුදු ඇතිරිල්ල මත නොවූ මගේ මනාලියගේ සුපිරිසිදු බව ප්‍රෂ්ණ කරන්නට සිත්වූ මා තුළ වූ මාන්නය පලායනු අත්වින්ඳෙමි.ඇත්තවශයෙන්ම මිට පෙර මා කාන්තාවක සමඟ රමණයේ යෙදී නොමැතිබව පැවසීමට තරම් මා ආත්ම වංචාකාරයෙකු නොවියයුතු බව හිත හඬගා කියයි. ඔව් මේ මා ස්ත්‍රියක් හා ආලිංගනයේ යෙදුනු  කුළුඳුල් යහන නොවේ.එසේ නම්  පාරිශුද්ධත්වය ඇගෙන් පමණක් බලාපොරොත්තු වීම කුමන ධර්මයකට එකඟද..??
මඳ අඳුරු ආලින්ඳයේ අහස පොලොව ගැටලන්නට සිතිවිලි සයුරේ ගිලීහුන් මා හදිසියේම් අවදිවූයේ මේ මාගේ මංගල රාත්‍රිය බව මතක්වීමෙනි.අභිනව මනාලිය යහනෙහි තනිකොටදමා ශිෂ්ඨ සමාජයකට තරම් නොවූ දෙයක් ගැන කල්පනා කරයි..දුහුල් රෑ අඳුමෙන් සැරසීගත් ඇය සඳළුතලයට පැමිණියේ කුමන වේලාවකදීදැයි මට නිනව් නොවේ..

"මට සමා..."

ඇගේ බඳවටා දෑතයවමින් ඈ මා සිරුරට වාරුකරගන්නා ගමමන්ම ඈ කියන්නටයන වචන පෙල නවතා දැමුවෙමි..

"අපි පහුගිය දේවල් අමතක කරමු ..නිර්මලී..."

මුවවිටටම පැමිණ තිබූ ඉකිය වලකාලමින් ඈ මගේ නිරුවත් පපුව මත මුව තබා ගත්තාය.

ooooooo0ooooooo0ooooooo0ooooooo0oooooo

මුඳු මුහුනේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද...
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද..

පුළුලුකුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද..
උර තලයේ හිස රන්ඳා සුව වින්ඳේ මං විතරද..

ඉඟ නෙරියේ රැළි බින්ඳේ පිය ළඳුනේ මං විතරද..
ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මං විතරද..

 ooooooo0ooooooo0ooooooo0ooooooo0oooooo

මංගල යහනෙහි මා තනිකොට දමා මා දවාහළුකරණ තරමේ බැල්මකින් සංග්‍රහ කොට නැගිටගිය මා අතගත් ස්වාමිපුරුෂයා තනිවම සඳළුතලයට වැදෙනු සංවේගයෙන් බලාසිටියෙමි.යහන පාමුළ වැටී තිබූ සිනිඳු රාත්‍රී ඇඳුම ඇඟලාගත් මම ඇඳ විට්ටමට වාරු දී සිදු වූ සහ සිදුවන්නට යන දේ පිළිබඳ කල්පනාකරන්නට පටන් ගතිමි..

"පිරිමි ඔක්කොම එකයි..උන් ඕන ගුබ්බෑයමක රිංගලා ගෑනුත් එක්ක බුදියගෙන අන්තිමට කසාද බඳින එකීගෙ කන්‍යාභාවය හොයනව..සාන්තුවරු වගේ...මුන්ගෙ පිරිසිදු කම ගැන හොයන්න වලාමක් මහ බඹාට මවන්න අමතකවුණු හැටි..ඒත් පිරිමියෙක් නෙව.."

මුලින්ම හදතුළ දළුලෑ කේන්තිය සිතිවිළි වී පෙරළි කරන්නට විය.මහත් අසරණ බවක් සිත වෙලා ගැනුනෙන් සුන්දර අසුන්දර සිදුවීම්වලින් ගහන මාගේ අතීතය හාරා අවුස්සන්නට වීමි..

ඒ මා උසස්පෙලට මුහුණ දෙන අවධියේ ලොකුමාමලා අහ තිබුණු පිරිත් ගෙදරදී ලොකු මාමන්ඩියාගේ පුතන්ඩියා කරුවල කමරයකදී මා කොටුකරගත් සැටිත්..බොහෝ වැර යොදා ග්‍රහනයෙන් ගැල වී පැන ආවද පහුවෙන් පහු ඒ ලද චුම්බනය මා කුල්මත් කළ සැටිත් මතකයට නැගේ..ඒ මා පිරිමි පහසක් ලැබූ මුල්ම සිදුවීමයි.
මා කන්‍යාභාවය නැතිකරගත්තේ උගෙන් නම් නොවේ..ඒ උසස්පෙල අවසානයේ පරිඝනක පුණුව සඳහා තරුණසේවා සභාවේ පාඨමාලාවට ඇතුලත් වූ දිනවල හමුවූ අපූරු දෑසක් හිමි මාගේ ගුරුවරයාගෙනි.ඔහු විසින් මැවූ සිහින වලට මා වෂීවූ තරම නිමාවූයේ මේ දැන් මේ යහනෙන් නැගීගිය පුරුෂයා අතගා බැළු බඩකඩුත්තුවද නැති වූ පසුවය..

තීරනයකට බැසගත් මම යහනින් නැගී සිටියෙමි..කැඩපතින් ප්‍රථිබිම්බනය වන මාගේ රුව දෙස මොහොතක් බලා හිඳිමි..හැඬීමෙන් තඩිස්සිවූ මූනත් තහඩුවත් ගෙල පෙදෙසෙහි වූ මීට සුළු මොහොතකට පෙර ඇතිව තිබූ රතුපැහැති වූ සළකුනත් හැර මීට පෙර මා නොදුටු වෙනසක් එහි නොවීය.සැබවින්ම මා පසුතැවිය යුතුද..??දුහුල් රාත්‍රී ඇඳුමින් විනිවිද පෙණෙන මාගේරුව දෙස බැලීමි..පුරුෂයෙකු වසඟ කරගත හැකි රූ සපුවක් මා සන්තකව ඇතියැයි හැඟේ..
මා සමාව ගතයුත්තේ..මීට වසර ගනනකට උඩදී වඥ්චාකාර ප්‍රේමවන්තයාට පිදූ කුමරි බඹසර ගැනද..එසේත් නැත්නම් විවාහයට පෙර මෙකී වෘත්තාන්තය හෙළි නොකිරීම පිළිබඳවදැයි මා සිතන්නට වීමි.
සඳළුතලයට පිවිස අඩහෝරාවක් පමන ගතව ඇතත් ඔහු මා නොදුටු බවත් කල්පනාවේ නිමග්නව සිටින බවත් පෙනීගිය නිසාවෙන් හමා එන සිහිල් සුළං රැල්ලටවත් හද තුළ බුර බුරා නැඟෙන ගින්න නිවීමට හැකි වේදැයි සිතමින් නිහඬව සිටියෙමි.
නිහැඬියාවකට පසු හදිසියේ මා දුටු ඔහු මගේ බඳවටා ඒ හැඩිදැඩි සුරත යවමින් වැලඳ ගනුද මා කියන්නට ගිය වචන පෙළ වලකාලනුද මට මතක තියේ..සැබවින්ම මා අතගත් පුරුෂයා සාම්ප්‍රදායික මිනිසෙකු නොවීම පිළිබඳ තුටු පහටු වීමි.

"දැන් හෙට අපේ අම්මලාට පෙන්නන්නෙ මොකද්ද නිර්මලී..??"

මගේ සූට් කේසයේ සුරක්ෂිතව සඟවා තියෙන කුකුළ් සායම් බෝතලය ගැන ඔහුට පැවසිය යුතුය.....



සොඳුරු සළරූ සිත්තම msrliyanage සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි
ප.ලි.
අස්මාවෙන්න මේ ගීතයේ සළරූ සටහනට උපුටාගෙන ඇත්තේ "සඳගලතැන්න" උසස් මාලානාටකයේ අවස්ථාවන්ය.ඒ රූප පෙළහර ගීතයේ අරුත හා කෙසේ ගෝචරවේදැයි නොදනිමි

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :කරුණාරත්න දිවුල්ගනේ/දීපිකා ප්‍රියදර්ශනී

Saturday, January 22, 2011

"මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.. හැඩරුව බලන්නෙපා.."

සිත්තම ගත්තේ..beaconartworkscorporation.imagekind.com නි.

 බාල්දි විට්ටමේ කොක්ක ගැටෙන හඬින් ඈ දියට ගොසින් පැමිණිවග හඳුනාගතිමි..බැන අඬ ගැසීමට කාරණා හොයමින් සිටින මට ඇගේ සුළු අතපසුවත් පෙනෙනුයේ නුහුරටය..ඒත් මා එසේ ඈ ඉදිරියේ හැසිරෙනුයේ අනාදරයකින් නම් නොවන වග කවදා හෝ වටහා ගන්නවා ඇත..මල්වර වූයේ දැනට පෝය දෙකතුනකදීට පෙර වුවද ස්ත්‍රී ලාලිත්‍යය කියාපාන පිරිපුන් ලැම සිහින් ඉඟසුඟ මා දියණිය රූපත් එකියක් වන ලකුණු කියාපායි...ඒත් දෙයිහාන්දුනේ මම මේ කෙල්ල කෙසේ සරසන්නද..?

"ඈ බතියෙ උඹට කීවංගියක් දොඩල තියෙනවද ඉර හැරුනට පස්සෙන් පහු දියේ එබෙන්න යන්න එපාය කියල..උඹට කියන කට.."

"ඇයි මයෙ අම්මෙ ආඩපාලි කියන්න තියාගත්තෙ..මං උඹන් අහල නෙවද ගියේ..හිච්චිනගා මා එක්ක තනියට හිටිය නෙව.."
හැබාවටම මං එසේ කීවිත්තිය අමතක වූ සැටි..කෙල්ලගේ දිගුවරලස තට්ටම දක්වාම කඩා හැලේ..කෙහෙවල්ල නිදහසේ හෙළමින් තෙත මාත්තුකරන හැටියෙන්ම පැත්තෙන් මාදෙස හැරී දෙඩූ විලාසය මාව පුච්චා දැම්මා මගෙ දුවේ...
මහ මනුස්සය ගල්වලේ වැඩකරල හොයන තුට්ටු දෙකින් මාසෙ වියදමවත් පිරිමහගන්නට බැරිව තිබියදී කෙසේ නම් ඇගේ කර සරසන්න මාල පොඩිත්තක් ඇන්න දෙන්නදැයි නොතේරේ...
"කෙල්ල මල්වරවුණු නැකත බොහොම නරකයි..පරිස්සම් කරගන්න වෙයි.."
නැකැත් රාළ එදා දෙඩූ වදන සිහි වී අළුතෙන්ම තිගැස්මක් ඇති වී උවමනාවෙන්ම කෙල්ලගේ මූණ දෙසත් ඉහේ හිට දෙපා තෙක් බැළුම් හෙලීමි..

"මොකෝ මයෙ අම්ම..මයෙ මූනෙ පෙරහැරක්වත් යනවයි.."

උබේ රූපෙ සරසන්නට වත් පොහොසත්කම් නැති හින්ඳාම බිත්තියේ එල්ලා තිබූ කැඩපත බිම දැම්මේ මමමයි දුවේ..මට කෑ ගසා හඬන්නට සිතේ..

"අනේ..මේ කණ්නාඩිය බිම වැටිල..මොකදවුනේ අම්ම..??"

"අද දහවලේ ගැරඬියෙක් ගෙට ආව..ඒ වෙලාවෙ බිම වැටෙන්නැති මයෙහිතේ.."

උඹේ ලස්සන උඹ දකින්න මට ඕනෑවුනේ නෑ දුවේ..අනුන් උඹ දුටුවාවේ..කණේ කඩුක්කන්..ගෙලේ මාල අනෙක්  එකියො පලඳාන හිටිනව බලාල උඹ හූල්ලනව මට බලා හිටින්න බැරිවුණා දුවේ...මට සමාවෙයං..කැඩපත බින්ඳෙනම් මමයි..ඒත් ඒ සිද්ධිය මා තවත් පෙලාවියයි මා සිතුවේ නැත.වෙනදාට කහට කෝප්ප්පය දෙනකම් ලිප් බොක්කෙහි මිටි කොලොම්බුවේ ඈඳිගෙන හිටින ඇය හණික ළිඳට එබෙන්නේ ඇයිදැයි දැන් මට වැටහේ..වතුර සෙලවෙන්නට කළියෙන් ළිඳට එබෙන ඈ තනිවම හිනාවෙනවා දින කිහිපයක්ම දුටිමි..මගෙ දුවේ දිනෙන් දිනම උඹ මාව අසරණ කරනවා දැනේ..

"දැං මේ කෙල්ල ළමිස්සියක් වෙච්චි..මට තේරෙන්නැහැ ඒ උවමනා එපාකම් කොහොම පිරිමහන්නද කියල.."

දෙ අත්ලේ වූ කරගැට පොල්තෙල් ගල්වා පිරිමඳින වේලෙහි අප්පුහාමිගේ මුවින් පිටවූ වදන් ද මා හිත බරකෙලෙන්.. ඇතුළු ගෙය දෙස එබී බැළිමි....කණාමැදිරි ලාම්පු එළියෙන් වරිච්චි බිත්තිය මත වැටී ඇති සෙවනැල්ල දකිමින් හිස පීරන නුඹ මගේ හිත තලා මිරිකා දැම්මා මගෙ දුවේ....

oooooo0oooooo0oooooo0oooooo0ooooooo


පිපුණු මලේ රුව එමල දනීදෝ.. පිපුණු මලේ රුව එමල දනීදෝ..
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.. හැඩරුව බලන්නෙපා..
නැති බැරිකම මුතු මාල හතක් වී.. කඩුල්ල පැණ එයි උඹ අත කරලන දා..

කටුමැටි බිත්තිය හැඩකර අඳිනා..රෑ හෙවනැල්ලෙන් හිස් පීරන්නේ..
නොතලන් සිත මා ආදර දියණියනේ..ආදර දියණියනේ..
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි..වීදුරු කැඩපත බිම දැම්මේ..

ළිඳේ අඩිය හිරු නොබළන පින්නේ..එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ..
නොතලන් සිත මා ආදර දියණියනේ...ආදර දියණියනේ...
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි..වීදුරු කැඩපත බිම දැම්මේ..


සොඳුරු සළරූ සිත්තම kasshapa සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි


සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :නන්දා මාලනී

Wednesday, January 19, 2011

"ළසඳ කැල්මේ එතී එන්නම්......රුවැත්තියෙ මම ඔබ සොයා.."

සිතුවම් ගත්තේvi.sualize.us අඩවියෙනි.

ජීවිතය පිරිපුන්ව ඇතැයි මට සිතෙනුයේ මන්ද?..වෙනදාට පැය දොලහේ රාජකාරිය නිම වී නිවසට ගොඩවන්නේ හෙම්බත්වීය..ඒත් දැන් දැන් මා ගෙදර දිව එන්නේ අපරිමිත වූ සංතුෂ්ඨියකිනි.මන්ද පෑල දොරට වාරු දී ඇය මං එන පෙරමඟ බලනු දන්නා නිසාය.

"ඩ්‍රයිවර මල්ලියෙ..ටිකක් සිහිකල්පනාවෙන් ඕක කරකවපන්..ගල්පිල හෙළ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕනය..??"

සිරිසේන අයියා මට උපදෙස් දෙයි..මගීනට ප්‍රවේශපත් දෙන අතරතුර මා ගැන විම්සිලිමත්වන ඔහුගැන මාතුළ වැඩුණු ගෞරවයක් ඇත.වෙනදාට දිනය අවසානයේ අප දෙදෙනාට වෙනම රාජකාරියක් ඇත..අවසන් ගමන් වාරය නිමවා පාසැල්පිටියෙහි බස් රථය ගාල් කොට පාලගේ තිප්පොළට රිංගන්නේ හොඳට පැහුණු රා වඩියක් සප්පායම් වීමටයි..එහෙත් මේ දිනවල සිරි අයියාට ඒ පැත්තේ තනියම යාමට සිදු වී ඇත..ඒ නිසාම ඔහුත් මාත් අතර පෙරමෙන් සම්බන්ධයක් නැතිවූවද ඔහු මාගේ මේ වෙනස් වීම පිළිබඳව සතුටුවන බව දනිමි.

ලංකා ගමනාගමන මංඩලයේ රියැදුරෙකු ලෙස මා ලද මුල්ම පත් වීම වූයේ වැල්ලවාය ඩිපෝවට අනුයුක්තව සේවය කිරීමයි.තාරුණ්‍යයේ එළිපත්තේ සිටි මට "පාසැල් සේවා මුරය" වූ කලී නැවුම් හා සතුට දනවන රාජකාරියක්වූයේමැයි.මල්ලිකා හා මා අතර ප්‍රේම වෘතාන්තයට පදනම වැටෙන්නේ ඔය අවධියේදීය.බාලිකාවන් පිරිවරා මහ අරාවේ ඇණිකට් එක ලඟ බස් රථය පැමිණෙනතෙක් පාර බලන ඇය මට දිස්වන්නේ සුරංගනාවියක් ලෙසය.ලැමට පොත්ටික තුරුළු කොටගෙන මඳ සිනහායෙන් රියට ගොඩවෙන ඇය නිසාවෙන් එතැන් සිට මාගේ හිතටද දෑසටද නිවනක් නොවූ තරම්ය.කෙසේවතුදු ඒ අතීතය නිමවූයේ ඈත් මාත් කූඩුවූ පසු සුඛාන්තයක් ලෙසිණි.එක්තැන්වී වසරක් ගත වුවද අපගේ බැඳීම නැවුම් බව දැනෙනුයේ මාත් ඈත් උණුන් ගැන අවබෝධයෙන් පසුවන නිසාවෙන් බව දනිමි.

"ඒයි..අතාරින්නකෝ අනේ අත....මේ මිනිස්සු බලං ඉන්නවා..ඕං හෙටනම් මේ බත් ගෙඩිය එවන්නෙ මල්ලි අත."

එකොළහමාරේ බසයට දිව එන ඇය රියැදුරු අසුන ලඟවන කවුළුවෙන් මා අත තබන කෑම පාර්සලය ගන්නා ගමන්ම ඔච්චම් කරමි..වහා ඉවතට පැනගන්නා ඇය නෝක්කඩුබැල්මෙන් බලාහිඳින්නට ඉඩහැර බසය වේගයෙන් පණගන්වමි..විළියෙන් රතු වූ මුහුණ බියෙන් කළු වී යනු හොරැහින් දකිමි. 

"ඔය රා පානෙ එනකොට යසයි ඌරු තඩියෙක්වත් පස්සෙන් ආවොත්.මට ආසයි මෙයැයි පන කඩං දුවනවා බලන්න..ඇයි යකඩො කොච්චර කීවත් මේ පන්දම අරන් යන්නෙම නැහැනෙ.."

ඇය සූදානම් කොටදෙන අඩුම කුඩුම උස්සාගෙනයාමටවන කම්මැලිකම හේතුවෙන් උවමනාවෙන්ම දමායන දිනවල ඇගේ ආඩපාලි මා ඉවසිය යුතුය.මාගැන සෙවුම් බැළුම් හෙළන්නට ඈ වෙහෙසීම ගැන අප්‍රමාණ සතුටක් හිතේ ඇතිවේ...
ඈ පෑලදොර අබ්බියස අඳුරට දෑස් දල්වා බලාහිඳිනු ඈත සිටම දකිමි.ඇයට හොරෙන් ඈදෙස බලා හිඳීමේ ආසාවක් ඇතිවේ..මඳ එළිය විහිදුවන ලාම්පු එළියෙන් එක් කම්මුලක් රන්වන්පාටට එළියව පැවතුනද අනෙක්පස නොපෙනේ..ඈ ගීයක් මුමුණනවා වියයුතුය..සොඳුරු පදවැලක් හිතට නැගේ..ඔව්..ඒ ඈ වෙනුවෙනි..

"ලොවේ කොයිකාටත් හොරෙන්..
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ..

නින්ද නොමැතිව සිටිනවිට ඔබ
කවුළුදොර ලඟ මඟ බලා..
සුළං රැල්ලේ එතී එන්නම්..
මුවැත්තියෙ මං ඔබ සොයා..

සුසුම් කව් ගී සෙමෙන් මුමුණන
ඔබේ තනි නොතනිය මකා..
ළසඳ කැල්මේ එතී එන්නම්..
රුවැත්තියෙ මම ඔබ සොයා.."

oooooo0oooooo0oooooo0oooooo0oooooo0oooooo


සොඳුරු සළරූ සිත්තම vgthilina සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි.

 

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :රෝහණ සිරිවර්ධන

Sunday, January 16, 2011

"ආදරයද මේ දැනෙන්නෙ සුවඳ විහිදුවා....."

සිතුවම් ගත්තේ scrollsfromchina.com අඩවියෙනි.


පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නැවුම් හැඟුම් මා වටකර රඟන ලතාවයි...

බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා..
මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

මට මතකයි මට මතකයි පුංචිකාල මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගීගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වෙලා..
රිදී කාසි සැළෙන හඬින් හිත හිනාවුණා....

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ...
හනි හනිකට මංයනවා හිත සැහැල්ලුවේ..
කවුරුන්හෝ මට කියන්න කණට ළන් වෙලා..
ආදරයද මේ දැනෙන්නෙ සුවඳ විහිදුවා..

oooooooooooo0oooooooooooo0ooooooooooooooo0oooooooooooo

ම්...මේ තරම් සැහැල්ලුවක්..වටාපිටාවම නැවුම්..මගේ හිත් පොඩියට මොන විපරියාසයක් වෙලාද මං දන්නෑ..මට ඉගිල්ලෙන්න ඇත්නම්...!

"නගා ..පොඩ්ඩක් හිටිං බං..දාංගලේ නැතුව..උඹත් එක්ක තනිපංගලමේ දොඩන්න කාරණයක් තියෙනවා මට.."

මහ නියරෙදි සේතං අයියා මූනට මුලිච්චිවූ දින දොඩන්නට තන්නනෙ මක්කාදැයි මට ඉවෙන් දැණුනුවග උන්දැ නොදන්නව වෙන්ටැ..මං මක්කටේ තකහණියේ උන්දැ දොඩන ඒවා අහං ඉන්නෙ.ඒ පරාණෙට මා මනාප නැතුවා නෙව..

"කෙල්ලෙ දැං උඹ ළමිස්සියක් වෙච්චි..විළිසංගෙ ඇතිව හැදෙන්න ඕනෑ..ඔන එකටයි එපා එකටයි කැකිරිපලන්න තිබා ගත්තම දකින උන් මොනා නොහිතාද??'

මා කඩපිළදී සොබනි දැක්ක කතාදමනවා බලාහිට අත්තම්ම මා දැක්ක ඔවා දෙන්න තිබා ගත්ත..මොන කරච්චලයක්ද මං දන්නෙනැහ්..උන්දැට ඉතිං මා නෙරිය තියාල චීත්තෙ ඇන්දත් ඇදයක් නොවෑ...එක අතකට අර කැකුළි කාලෙ ..අම්මපා...මං දැක්ක හීන..දවසක් දේදුන්නක නැගලත් හිටිය නොවෑ..

"එතනො කෙල්ල ගැන ඇහැගහගෙනහිටහං..ඇහැට කණට පෙනෙන්න හිටින එකී...අහළ ගං හතකවත් මේ වගේ හැඩ ඇති එකියක් නැතුවා විත්තිය ගම්මු කතා වෙනව.."

ළඟදී දොහොක එපිටහ ඇත්ති අම්මත් එක්ක කතා දමනවා මං බලාන.සීවරංදෙයියනේ..ඒකට මං ඉතිං මක්ක කොරන්ඩදෑ..මං එනකොට ගමේ ගැටවුන්ගෙ කටවල් ඇරෙන විත්තියත් උන්ගේ ඇස් ගෙඩිදෙක එළියට පනින්නට තනන බවත්  මං දන්නවා...

"ඈ මලියො..ටිකක් සංවරව පයතියහන්කො..ඔය අඹරණ ඇඹරිල්ලට ගැටව් දපනෙ වැටෙන එක අහන්න දෙයක්ය.."

දීග යන්නැතිව ගෙදරටම නාකි වෙන සතී අක්කණ්ඩි කීවෙ මා ගැන ඊර්ෂ්‍යාවටමද..?? ඒකිගෙ මනස්ගාත..ඔය මගෙ පස්සෙන් වැටෙන එක ගැටයෙකුටවත් මගේ හිත දෙයි කියලයි බය.! මගේ හිත රතු අයියණ්ඩි වෙනුවෙන් හීන දකින විත්තිය මම්නෙ දන්නෙ..මේ යෝධයා ඊයෙ වැව් පිටියෙදි ආලවන්ත කම් පාන්න ආවට මගෙ හිතේ උඹ හිටියෙ බොහොම දවසක හිටැයි උඹ දන්නවා නම්..

"නගා මං උඹට මනාපයි බං.."

තවත් එතන කතා දමන්න මට ඕන වුණේනෑ..සන්සාරේ..මං උඹෙන් අහහගන්න පෙරුම් පුරපු වචනෙ උඹ දෙසාබානකොට මට ඉන්න හිටින්න බැරිව ගියා නෙව..සතුටේ බැරුව..

වෙනදාට මගේ අසංවර ගමණින් විහිරෙන මේ පිණි බිංදු ගැන ලෙංගතු හිතෙන්නෙ මක්කෙයි..ම්..ම්..මටත් කිරිල්ලියක් වගේ පියාබන්නට ඇහැක්නම්..තව සීපදයක් ගයන්නට හිතේ..කවුරුහරි කියාදෙනවද මේ  මගේ හිත් පොඩියට දැනෙන  විපරියාසෙ මොන කෙංගෙඩියක්ද කියාලා...???


සොඳුරු සළරූ සිත්තම surangika0111 සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි.

 

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :ලතා වල්පොල

Tuesday, January 11, 2011

"ආරාධනා.....ආරාධනා......."

පින්තූරය ගත්තේ..superstock.com


තවත් නම් මේ පාළුව කාංසිය විඳදරාගන්න බැහැ දේවි...
ඔයාට මතකද මීට අවුරුදු දෙකකට පෙරාතුව අපගේ කැදැල්ල..අනේ මං හරි ආසයි ඒ මතකයන් අතර රැඳෙන්න..සෙනෙහස ආදරය කප්පරකට ..!

"රංජු"
"හ්ම්"
"මොකද අනේ බකමූනෙක්වගේ..."
"ඉතිං ඔයා බකමූණිනෙ.."
"විහිළු නෙවි අනේ...ඔයාකැමති කොල්ලෙකුටද කෙල්ලෙකුටද..??"

ආදරයෙන් ඇගේ කුස පිරිමඳිමි...

"මේක පැංචියෙක් වුනත් පැංචෙක්වුනත් ඒ වස්තුව මට දෙන්නෙ ඔයානෙ..මැණිකෙ"

ඒ දිනවල මං රජෙක්වගේ හැසිරුනා උඹට මතකද දේවි...

"රංජි මේ දවස්වල අමුතු සතුටකින් වගේ..??"

"ඔව් ඉතිං..මහේශිකාව ලඟදිම තෑග්ගක් දෙන්නනෙ යන්නෙ.."

කාර්‍යාල මිතුරන්ගේ නොයෙක් උසුළු විසුළු මැඳ මං නිරාමිස සතුටක් ලැබුවා මතක තියේ..
ඒත් ඒ සතුට කී දවසද අපේ කැදැල්ලෙ තිවුනෙ..ඒ අවාසනාවන්ත පණිවිඩය කන වැකුන සැණින් ආරෝග්‍යය ශාලාව වෙත ඉගිළුනෙමි...මෙය විය නොහැක්කකි..දරු උපත සඳහා තවත් කල් ඇත...

ක්ලබලකරී වූ කොරිඩෝව දිගේ දිවගියෙමි..දැඩි සත්කාර ඒකකයේ පිවිසුම් දොරටුවේ ඉහළ රතු බල්බය දැල්වේ..කෙලවරේ වූ බංකුව මත ඇගේ මව්..මගේ මව් ශෝකයෙන් බලා සිටී...

"කෙල්ල බාත් රූම් එකේදි ලිස්සලවැටිල පුතේ..."

වදන් පෙළ මා ගත අප්‍රාණික කළෙන් බංකුවට වාරු දුණිමි..

"මිස්ටර් රංජිත්..ළමයෙගෙ අම්ම හොඳින් ඉන්නව..කණගාටුයි..දරුවව..."

ජීවිතයේ මා කනවැකුණු අවාසනාවන්තම වචන කිහිපය ඊයම් බරු මෙන් දෙසවනින් ඇතුළුව සිරුර පුරාවට විහිදී යනුද ජීවිතයම ආගාධයකට හෙළනුද අත්විඳෙමි..
අපේක්ෂා භංගත්වයට පත් අපේ හිත් එකිනෙකා නුරුස්සන්නට ගත්තා මතකද දේවි..

"මේ උයල තියෙන ඒව මෙලෝ සතෙකුට කන්න පුළුවන්ද..??"
"බැරි නම් නොකා ඉන්න එකයිනෙ ඇත්තෙ..මට වද නොදී"
"ආ..එහෙනම් උඹට මාව වදයක් වුණා..උඹගෙ මූසළ...."

අපේ සංඩුසරුවල් වලට හේතුවක් ඕනවුනේ නැහැ..

දිනක් සේවය නිමවී ගෙදර එන මට නිවසේ වූ අමුත්ත හොඳින් දැණුනා..නිවසේ ආලෝකය එහි නොවීය..

කණ්නාඩිමේසය මත වූ හතරට නැවූ තනිරූල් කොළය සෑම දේම මා හට පසක් කළා අදවගේ මතකයි..

"ආදරණීය රංජු..,

මේ විදිහට තවත් අපිට එකට ඉන්න බැහැ නේද..??මංවගේම ඔයත් ඒක තේරුම් අරං ඇතිකියල හිතනවා..තවදුරටත් හිත් රවට්ටගෙන මේ ගෙදර ඉන්න බැහැ..මේ සේරමවුණේ මගෙ කාළකණ්නි කමට..ඔයාවගේ සැමියෙක් ලබන්න මට පින තිවුණට ඔයාව සතුටින් තියන්න මට බැරි වුණා..මං යනව..හිත හදා ගන්න බලන්න..

ආදර බිරිඳ,
දේවිකා.."

ඔව් ඇත්තටම ඒ වෙනකොට මටත් ඒ ජීවිතය ඇතිවෙලයි තිවුනෙ..ලෝකෙට පේන්න රඟ පෑවට අපි හිත් රවට්ටගෙනයි ජීවත්වුණේ..ඒ මදිවට එක එකාගෙ උපදෙස්...මගෙ කන් පිරිළයි තිවුනෙ..

ඒත් මේ ගෙදර පුරාවටම පිරිල තිබුන ඔයාගෙ හිනාව,කතාව නැතිව මං මේ බිත්ති හතර ඇතුලෙ කොහොම හිරවෙන්නද..?..උඹ දන්නවද දේවි..එදායින් පස්සෙ මං ඔය ගෙදරට අඩියක් තිබ්බෙ නැහැ..මං කල්පනාකළා..මං දන්නව..ඔයාත් මා ගැන හොයල බලල තිවුන.. ඒත් අපි වෙන්වෙලා හරියටම අවුරුද්දක්...එකම මොහොතකවත් ඔයාව හිතින් ඈත් කරගන්න බැරිවුණා....මං උත්සාහ කළා..

"අර නූපන් දරුව...ඔව්..අපි ඒක අමතකකරමු..එක්කො අපි දෙන්නගෙ නොලැබීම..නැත්නම්.ඒ පැටියගෙ නොලැබීම..අපි ඒ මත්තෙ නැහෙන්නෙ ඇයි..???ජීවිතේ නැතිකරගන්නෙ කොහොමද..මැරෙනකම් ජීවත් වෙන්න එපාය..අපි ජීවිතේ අළුතින් පටන්ගනිමුද දේවි..

ooooooooo0oooooooo0oooooooo0ooooooooo0ooooooooooo0ooooooooooooo

ජීවිතයේ තනි මංසළ අතරමං වෙලා..
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා..
අතීතයේ ගිලිහීගිය සතුට රැගෙන යළි වඩින්න..
ආරාධනා.....ආරාධනා...

නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ..
මැකී ගියාදෝ..කාලයේ වෙරළේ..
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා..
සෙනෙහේ සත් පියුමන් යළිදු පිපේවා..

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ..
ඔබේ උණුසුමේ..යළිදු උපන්නෙම්..
බීඳුණු ජීවිතේ රජදහනින් සමුගෙන යනදා..
ඔබේ දුක් පහනින් යළි එළිය ලැබේවා..


සුන්දර සළරූ සිත්තම උපුටා ගත්තේ YOUTUBE අනුග්‍රහයෙනි

 
සොඳුරු ගේය පද සිත්තම : කුළරත්න ආරියවංශ
දිව්‍යමය සත්සර මුසුව :රෝහණ වීරසිංහ
මියුරු ගැයුම :ඩබ්.ඩී. අමරදේව

Saturday, January 8, 2011

"මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ.."

මා මේ කියන්නට යන කතාන්දරය අසා ඔබ මා පිළිබඳව මවාගනුලබන චිත්‍රය මේ යැයි මා හද තුල අදහසක් පවතී..මහ "විළි සංගෙ නැති එකියකි"යි ඔබ සිතනු ඇත..කෙසේවතුදු මෙය කියා දැමීමට තීරණය කෙළෙමි.
යෞවනත්වය වූ කලී සුන්දරවූත් ආනන්දනීය වූත් කාළපරිච්චේදයකි...මා එය ගෙවාදමමින් සිටින්නියක්මි.බොහෝ යුවතියන් සේම මා හද තුළද හැබෑකරගැනීමට ඇති හීනයන් බෝහෝය..ඒ හෑම හීනයකම "ඔබ" විජරාමාණ වේ..එක අතකින් මාගේ මේ මනෝ ස්වාභාවය පුදුම සහගත නොවනුද ඇත..
හය හතර තේරෙන්නට ගත්දා සිට මා ඔබ දිහා බලාන හිටියා අහස්...කාංඩෙ අනෙක්වුන්ට නැති දාංගලයක් නුඹට තිබුණු වගද..ඒ ඇට්ටරකම් මා හිත කුල්මත් කළවගද මා වතාවක් කීවා මතක ඇතැයි සිතමි..යාන්තම් මෝදුවීගෙන ආ දැළි රැවුල නුඹේ මුව හැඩකරනවා ඒ සංදියේදී හොරෙන් බලා හිටියා අහස්..ඒ තරමටම නුඹගේ ඉරියව්,දසුන් මා ප්‍රිය කලා.. ඒත් ඒ ආදරය ප්‍රකාශ කිරීමට මා ප්‍රමාද වූ වග දැනෙනවිට මගේ හිත උඹත් සමඟ බොහෝ දුර ගොස් තිබුණු වගද නැවත හැරෙන්නට නොහැකිවන ලෙස ඔබ මතම පැටළුණු වගද මා වරක්ලියායැවූ බව නුඹට මතක ඇතැයි සිතමි.

"උඹ මගේ සහෝදරියක් විදිහට ඇරෙන්න පෙම්වතිය විදිහට දකින්න හිත් දෙන්නෙ නැහැ මහී...කොහොම උනත් උඹට මගේ හිතේ ලොකු ඉඩක් තියෙන වගනම් දන්නවා...ඒක ආදරය නෙවි.."

මා නුඹගෙන් ආදරය විමසූ දින නුඹගේ හිතද "ආදරය" සහ "ලෙංගතුකම" අතර පැටළුණු වග නුඹේ මුවින් විද්‍යාමානවූ වග මට මතක තියේ..නමුදු ඒ වනවිටද නුඹගේ හදවතේ අන් අයෙක් ලැගුම් අරන් වගද මම දැන උන්නෙමි..අසම්මත ආදරයක් පටන් ගැනීමට මා පෙළඹුණාද නැතහොත් ආත්මාර්ථය විසින් නුඹ මා සතුවිය යුතුමයැයි පුංචි සංධියේ හිටන්ම වූ  අයිතිවාසිකම ඉස්සර වූවාදැයි නොදනිමි..

"මං ආයෙත් නම් කියන්නෙ නෑ මහී..ඔය විදිහට මාව අසරණ කරන්න නම් එපා..පවනිත් එක්ක පටන්ගන්න යන ජීවිතේ මැද්දට නම් පනින්න් එපා...අපි තුන්දෙනාගෙම ජීවිත අවුල් වේවි.."

දිනක් ඔබ ආයාචනාත්මක එහෙත් තර්ජනයක ස්වරූපයෙන් දමා ගැසූ වචන මා රිදෙව්වද එහි වූ එක් වචන මාත්‍රයක් මා සැනසූ වග නුඹ දන්නේ නම්..."මාව මේ විදිහට අසරණ කරන්න එපා"යින් කියවුණේ නුඹේ සිතේද මා ගැන ආදරයක් පවතින වගද??..
දන්නවද අහස්...මේ වැහිබර වළාකුලක් තරමටම සිරවුණු කඳුළු කැටිති මේ දෙඇස් දරා සිටින වග.????.පුළුන් වලා රොදක් වගේම සැහැල්ලු නැතත් ඒ තරමටම නුඹ කෙරෙහි මැවුණු සිතිවිළි මා සන්තක බව..???
ඔව්..මට නුඹ වෙනුවෙන් කල්ප කාලාන්තරයක් බලා සිටිය හැක..මේ ජීවන ගංගාව ඔහේ පෙරසේම ගලා ගියාවෙ..පොවන මානයේ වන මල් කිණිත්තට පහසුවෙන් ලඟාවිය නොහැකි බව දැන් මට වැටහේ

"මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ.."


සිත්තම ගත්තේ..paintingmax.blogspot.com..

කල්බලමින් ළතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ..
මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ..

ඉතිර ගලනු බැරිනම් ලොව සුවඳින් නහවා..
අතරමඟ රැඳෙන්නට මඳ පවන නොවේවා..
සතර අතර යන මගෙ හිත වෙනස් නොවේවා..
මටම ගැටළුවකි පිළිතුරු මතු හමු වේවා..

වළාකුලක දිය පරදන කඳුළු ඇත ඇසේ..
වළාවක සිතුම් මඟෙ තනිකමට ළඟ වෙතේ..
බලා ඉඳුම හැර ඔබ හා ඇඳෙම්දෝ කෙසේ..
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ..


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :ශ්‍රීමතී තිලකරත්න

Tuesday, January 4, 2011

"පුංචි පුතේ නුඹ ආපසු ..අම්මි හුඟක් වෙනස් වෙලා..!"

රූං පෙත්ත කැරකෙනවා..කෝම්පිට්ටු ඉදිවෙනවා..
අම්මි නුඹට සුරංගනා කතා කියනවා..

පුංචි පුතේ නුඹ ආපසු ..අම්මි හුඟක් වෙනස් වෙලා
එදාවගේ නෑ..මාත් එක්ක බොළඳ වදන්..
දැන් කියන්නෙ නෑ...

සුදු කොට රැළි ගවුම ඇඳන් ..පාසැල්ගිය කාලෙවගේ..
හිනාවෙන්නෙ නෑ..නුරා රැඳුණු කෝල බැළුම්
දැන් හෙළන්නෙ නෑ..

සිත්තම ගත්තේ...myspace.com...

oooooooo0oooooo0ooooooo0ooooooo0oooooooo

සුපුරුදු දුම්රිය ස්ථානයෙන් බැසගත් මම සිසාරා බලන්නට වීමි...එකිනෙකා පරයමින් යුහුසුළුව නිවෙස් කරා දුවන ජනී ජනයාටනම් නිනව් නැති සේය..ඔවුන් තම තමාගේ නිවෙස් ගැන කල්පනා කරණවා වියයුතුය..මා පසු කොට මුදු සිනාහ සලමින් පෙම්බස් මුමුණමින් අත්වැල් පටලා ගමන් කරන යුවල කෙරෙහි ඊර්ෂ්‍යාවක් හද තුල ඇති වී නැති වී ගියේයැ.හිස් වූ හදවතින්ම වේදිකාවේ කොනටම වන්නට වූ බංකුව මත හිඳ ගතිමි.
සැබවින්ම මටද එවැනි සුන්දර කාළපරිච්චේදයක් වූ බව සිහි වී මුවඟ සිනහවක් නැඟෙන්නට විය..

"ඈ බං ..අද මොකද කෝච්චිය මෙච්චර පරක්කු..??.."

"මොකෝ බං කවදද මේ උලව්ව වෙලාවට ආවේ...හා..මට තේරුණ..උඹේ ඔය ජනපද කල්‍යාණිට කව් රුවත් බැල්ම දාන එකක් නැහැ...ඔය පෙට්ටියෙ එන එව්වො හැමෝම දන්නව ඒකි උඹේ පරම පිවිතුරු ප්‍රේම වස්තුව කියල.."

මා තනිවම සිනහසෙන බව දැණුනෙන් විළියෙන් සිසාරා බැලිමි..පේන මානයක කිසුවකු නොමැත..මීට මොහොතකට පෙර කඩිගුලක් ඇවිස්සුවාක් මෙන් දිස් වූ දුම් රිය වේදිකාව කිසිදු හැළ හොල්මනක් නැතිව පාළු ස්වාභාවයක් උසුලයි..මගේ සිතේවූ හඳුණා ගත නොහැකි චිත්ත ස්වාභාවය තව තවත් වර්ධනය වනු දැණුනෙන් තවත් රැඳී නොසිට මහා මාර්ගයට පිළි පන්නෙමි..

මා ඉදිරියේ මාර්ග දෙකක් පෙනේ..දකුණට ගියහොත් නිවසට යාගතහැක...වමට...ඔව්..වමට ගියහොත් මාවතේ අඳුරු මුල්ලක ඇති තැබෑරුමට යාගත හැක..වමතෙහි වූ කාල යන්ත්‍රය දෙස බැලීමි..ගෙදර යාමට කල්වැඩියැයි සිතේ..

"රවී..ඇස් දෙකවහගන්නකෝ අනේ...හැබැයි හොරන් බලන්න බැහැ.."
දෑත් පිටුපසට කොට යමක් සඟවා ගත් ඈ..පෙරැත්ත කරයි..හෙමිහිට මගේ වම් අත ගත් ඇය..යමක් වළලුකරවටා පලඳවයි..

"සුභ උපන්දිනයක්...රවී.."

දෑස හැර බලමි..රන් පාට කාළ යන්ත්‍රයක් සුරතෙහි වේ..
සුසුමක් හෙළමි..මේ ජීවී අජීවී සියළු තන්හිම ඈ..මා හා අතරවූ සිහිවටනයක් ඇත..සිතීම නතර කෙළෙමි..දෙවරක් නොසිතාම දෙපා වම් පසට ඇදෙන්නට විය..
තැබාරුම කාර්‍යය බහුල වී ඇත..කොහොමටත් මේ වෙලාවට මෙහි වන කළබලය දනිමි...අඳුරු මුල්ලෙහි වූ අසුන මා එනතුරු බලාහිඳී..

"ලෙමන් ජින් කාලයි.."

ඇණවුම භාරකල මම අසුනට බරවුනෙමි..මුළු ශාලාවම දුමින් පිරිලාය..අතොරක් නැති කටහඬවල්,අශීලාචාර සිනහවලින් දෙසවන් පිරීයන්නට විය..අයෙක් මතින් නන් දොඩවයි..ඇවිදගන්නටවත් වාරු නැතිවෙන්නට බී ගත් සමහරෙක් මා සිටි මේසයේ හැපී නොහැපී බේරුනේ අනූනවයෙනි.මේ සියළු දේ කරච්චලයක් සේ හැඟෙන්නට වූයේයැ..මත්පැන් වීදුරුව පෙණ නගයි..
වසර පහක ආදර කතාවකින් අනතුරුව ඇයත් මාත් කූඩුවුනෙමු...ඒනයි අදහස් කළේ අප බලාපොරොත්තු මල්පල ගැන්වූ බවමය..ඉදින්..අප සතුටු වූ තරම්...වසර දෙකක් ඇවෑමෙන් ඈ මට සිඟිති පුතෙක් දායාද කලාය...එසේනම් මේ විස්සෝපයට හේතුකාරණා කිම්ද???..ගැහැණියක් විසින් තම ස්වාමි පුරුෂයාට කලයුතු සංග්‍රහ සැළකිලි නොඅඩුව ඈ අතින් සිදු වන්නේද??..නමුත් කුමක් හෝ අඩුපාඩුවක් ඇතිවග මගේ හිත හඬගා කියයි..

"මොකද අනේ මෙච්චර පරක්කු...??තව පරක්කුවුනා නම් ස්ටේෂන් එකට යන්නයි හිතං උන්නේ.."

ළදැරිවියක් සේ වැඩනිමවා නිවසට එන මා ඉදිරියට දිව එන ඈමා අතින් බෑගය ගෙන උරහිසේ එල්ලෙයි..

"උස්සගෙන ආවෙ කිලෝ දෙකයි..දැන් ඉතිං කිලෝ පණහක් හැටක්ම උස්සන් යන්න එපාය...'

මා කියන්නේ කවටකමටවුවද ඒ ක්‍රියාවෙන් අප්‍රමාණ වූ සතුටක් වින්ඳෙමි.. අනතුරුව තොරතෝංචියක් නොමැතිවම කිරිල්ලියක් මෙන් කිචි බිචි ගාන ඇය නින්දට යන තෙක්ම මා සතුටින් තබන්නට වෙහෙසුනාය...

"ම්..ම්..ඔයා කැමති කොළු පැටියෙකුට නේද??..මෙන්න මේ වගෙ නහයක් තියෙන..ම්..මේවගේ කතාකරණ ඇස් දෙකක් තියෙන....??'

"නැහැ..මට එපා...මට ඕනෙ..මේං මේවගේ කිචිබිචිගාන හා පැටික්කියෙක්වයි.."

මා සමඟ බොරුවට රංඩුවකට මුලපුරන ඇයගේ කඳුළු දකින්නට නොරිසි වූ තැන...

"හා..හරි..එහෙනම් ඉස්සෙල්ලාම කොල්ලෙක්...දෙවෙනි කෙල්ලෙක් හොඳයි..."
ආදරයෙන් වැළන්දගන්නා ඇය..දිණුවා යැයි සංතුෂිඨියෙන් මොණරියක් සේ ගෙහි එහා මෙහා දුවනු බලා මා සැනසුණු තරම...

"පොඩ්ඩක් ඉන්න අනේ...චුට්ටා තාම නිදිනැහැ.."
"ඉන්න රවි කොල්ලට මං කවල එන්නම්.."
"කෝලං එපා අනේ මේං මේක ගන්නකෝ..මගෙ අතත් රිදෙනවා..."

ඇගේ මුවින් පිටවූ සොඳුරු කතාවන් දැන් මට නෑසේ...ඇයට මා දෙවෙනි වී ඇත...

එසේ නම් මා මේ ඊර්ෂ්‍යා කරණුයේ මගේ ලෙයින්ම උපන් සිඟිත්තාටද???

විදුළියක් කෙටුවාක් මෙන් හද තුළ ඇඳීගිය එම සිතිවිල්ලෙන් මා කලබල වූ තරම...!උගුරක්වත් තොල නොගා මත් වීදුරුව එසේම තබා වහ වහ නිවස කරා පිය නඟමි..

ඈ සිඟිත්තාද තුරුළු කොට මා එනමඟ බලාහිඳී..මීටවසර පහකට පෙර මා දුටු ඒ සොඳුරු සිනහව එසේමය..නමුදු රුව වැහැරෙමින් තිබේ..මගේ ලෙයින් උපන් මේ කිරිකැටියා සමඟ දවස පුරාම ඔට්ටුවන ඇය..මා කෙරෙහි සැලකුම් නොකලේද??..නැත ..ඈ කාර්‍යය බහුළ වී ඇත..මාද ඇය තේරුම් ගතයුතුව ඇත..

කාර්‍යාල බෑගය අතට ගන්නා ඇය මාහාර්ඝ වස්තුව වන ළදරුවා මා අතට දෙයි..ඒ සිඟිති දෑසට එබී බලමි..මුව සිනාහවෙන් පිරිලාය..ඉදින් මට වෙන සැප කුමට...!


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :දයාරත්න රණතුංග...