Tuesday, January 25, 2011

"පුළුලුකුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද....??"

සිත්තම ගත්තේ artconversation.com නි.

මංගල යහනෙහි එලන ලද සුදු පැහැති ඇතිරිල්ල දෙස නැවත වතාවක් බැලීමි..

"පට්ට දහදුරාවි..අවලමේ ගිහින් පත්තිනි අම්මවගේ පෝරුවෙත් හිටියනේ..."

මුවින් නොබිනූවද ඈ දෙස නොබලාම හදවතෙහි වූ අපුල හේතුවෙන් යහනෙන් නැගී සිටි මා සඳළු තලයට පිවිසීමි.දහදියෙන් තෙත්ව තිබූ ගත සිහිල් කරවමින් හමා ගිය සුළං රැල්ල හේතුවෙන් කළබලකාරීව මියැදෙමින් ඉපදෙමින් පැවතුණු සිතිවිලිදාමයන්ට මඳ විරාමයක් ලදුවා සේය.තානායමේ විවෘත්ත ආලින්දයේද ඔබ්බෙන් වූ පිහිනුම් තටාකය අවටද තවමත් සෙනඟින් පිරීපවතිනුයේ සන්ධ්‍යාභාගයේ ඇරඹුණු විවාහ මංගල උත්සවය නිසාවෙනැයි හඟිමි.අයෙක් සුරා මතින් නන් දොඩවයි..අත්පුඩිතලමින් ඒ වචන හරඹයන්ට උල්පන්ඳම් දෙනවුන්ද නැතිවා නොවේ..අඳුරු තුරුගොමුවට වන්නට මහ සෙනඟින් වහංගු වූ තරුණයෙක් හා තරුණියක් සිත් සේ ආලිංගනයෙහි යෙදෙනවා මා දෑසටහසුවේ..තරුණියව කිටිකිටියේම තම සිරුරට වාරුකරගෙන සිටි තරුණයා ගේ මුහුන තරුණියගේ මුහුන මත වනවා දුටිමි...මොහොතින් මගේ හද තුළ විදුළියක් කෙටුවාක් මෙන් සර්වාංගයම ශීතල වී ගියේ මේ මා ඉදිරියේ වන පෙම් ජවනිකාව මා හටද හුරු පුරුදු නිසාවෙන්මදැයි සිතන්නට වීමි.
ඔව්..මමද කුමර බබසර රැකියෙකු නොවෙමි..මගේම හදවත මට චෝදනා කරයි.මීට පෙර මංගලයහනෙහි සුදු ඇතිරිල්ල මත නොවූ මගේ මනාලියගේ සුපිරිසිදු බව ප්‍රෂ්ණ කරන්නට සිත්වූ මා තුළ වූ මාන්නය පලායනු අත්වින්ඳෙමි.ඇත්තවශයෙන්ම මිට පෙර මා කාන්තාවක සමඟ රමණයේ යෙදී නොමැතිබව පැවසීමට තරම් මා ආත්ම වංචාකාරයෙකු නොවියයුතු බව හිත හඬගා කියයි. ඔව් මේ මා ස්ත්‍රියක් හා ආලිංගනයේ යෙදුනු  කුළුඳුල් යහන නොවේ.එසේ නම්  පාරිශුද්ධත්වය ඇගෙන් පමණක් බලාපොරොත්තු වීම කුමන ධර්මයකට එකඟද..??
මඳ අඳුරු ආලින්ඳයේ අහස පොලොව ගැටලන්නට සිතිවිලි සයුරේ ගිලීහුන් මා හදිසියේම් අවදිවූයේ මේ මාගේ මංගල රාත්‍රිය බව මතක්වීමෙනි.අභිනව මනාලිය යහනෙහි තනිකොටදමා ශිෂ්ඨ සමාජයකට තරම් නොවූ දෙයක් ගැන කල්පනා කරයි..දුහුල් රෑ අඳුමෙන් සැරසීගත් ඇය සඳළුතලයට පැමිණියේ කුමන වේලාවකදීදැයි මට නිනව් නොවේ..

"මට සමා..."

ඇගේ බඳවටා දෑතයවමින් ඈ මා සිරුරට වාරුකරගන්නා ගමමන්ම ඈ කියන්නටයන වචන පෙල නවතා දැමුවෙමි..

"අපි පහුගිය දේවල් අමතක කරමු ..නිර්මලී..."

මුවවිටටම පැමිණ තිබූ ඉකිය වලකාලමින් ඈ මගේ නිරුවත් පපුව මත මුව තබා ගත්තාය.

ooooooo0ooooooo0ooooooo0ooooooo0oooooo

මුඳු මුහුනේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද...
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද..

පුළුලුකුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද..
උර තලයේ හිස රන්ඳා සුව වින්ඳේ මං විතරද..

ඉඟ නෙරියේ රැළි බින්ඳේ පිය ළඳුනේ මං විතරද..
ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මං විතරද..

 ooooooo0ooooooo0ooooooo0ooooooo0oooooo

මංගල යහනෙහි මා තනිකොට දමා මා දවාහළුකරණ තරමේ බැල්මකින් සංග්‍රහ කොට නැගිටගිය මා අතගත් ස්වාමිපුරුෂයා තනිවම සඳළුතලයට වැදෙනු සංවේගයෙන් බලාසිටියෙමි.යහන පාමුළ වැටී තිබූ සිනිඳු රාත්‍රී ඇඳුම ඇඟලාගත් මම ඇඳ විට්ටමට වාරු දී සිදු වූ සහ සිදුවන්නට යන දේ පිළිබඳ කල්පනාකරන්නට පටන් ගතිමි..

"පිරිමි ඔක්කොම එකයි..උන් ඕන ගුබ්බෑයමක රිංගලා ගෑනුත් එක්ක බුදියගෙන අන්තිමට කසාද බඳින එකීගෙ කන්‍යාභාවය හොයනව..සාන්තුවරු වගේ...මුන්ගෙ පිරිසිදු කම ගැන හොයන්න වලාමක් මහ බඹාට මවන්න අමතකවුණු හැටි..ඒත් පිරිමියෙක් නෙව.."

මුලින්ම හදතුළ දළුලෑ කේන්තිය සිතිවිළි වී පෙරළි කරන්නට විය.මහත් අසරණ බවක් සිත වෙලා ගැනුනෙන් සුන්දර අසුන්දර සිදුවීම්වලින් ගහන මාගේ අතීතය හාරා අවුස්සන්නට වීමි..

ඒ මා උසස්පෙලට මුහුණ දෙන අවධියේ ලොකුමාමලා අහ තිබුණු පිරිත් ගෙදරදී ලොකු මාමන්ඩියාගේ පුතන්ඩියා කරුවල කමරයකදී මා කොටුකරගත් සැටිත්..බොහෝ වැර යොදා ග්‍රහනයෙන් ගැල වී පැන ආවද පහුවෙන් පහු ඒ ලද චුම්බනය මා කුල්මත් කළ සැටිත් මතකයට නැගේ..ඒ මා පිරිමි පහසක් ලැබූ මුල්ම සිදුවීමයි.
මා කන්‍යාභාවය නැතිකරගත්තේ උගෙන් නම් නොවේ..ඒ උසස්පෙල අවසානයේ පරිඝනක පුණුව සඳහා තරුණසේවා සභාවේ පාඨමාලාවට ඇතුලත් වූ දිනවල හමුවූ අපූරු දෑසක් හිමි මාගේ ගුරුවරයාගෙනි.ඔහු විසින් මැවූ සිහින වලට මා වෂීවූ තරම නිමාවූයේ මේ දැන් මේ යහනෙන් නැගීගිය පුරුෂයා අතගා බැළු බඩකඩුත්තුවද නැති වූ පසුවය..

තීරනයකට බැසගත් මම යහනින් නැගී සිටියෙමි..කැඩපතින් ප්‍රථිබිම්බනය වන මාගේ රුව දෙස මොහොතක් බලා හිඳිමි..හැඬීමෙන් තඩිස්සිවූ මූනත් තහඩුවත් ගෙල පෙදෙසෙහි වූ මීට සුළු මොහොතකට පෙර ඇතිව තිබූ රතුපැහැති වූ සළකුනත් හැර මීට පෙර මා නොදුටු වෙනසක් එහි නොවීය.සැබවින්ම මා පසුතැවිය යුතුද..??දුහුල් රාත්‍රී ඇඳුමින් විනිවිද පෙණෙන මාගේරුව දෙස බැලීමි..පුරුෂයෙකු වසඟ කරගත හැකි රූ සපුවක් මා සන්තකව ඇතියැයි හැඟේ..
මා සමාව ගතයුත්තේ..මීට වසර ගනනකට උඩදී වඥ්චාකාර ප්‍රේමවන්තයාට පිදූ කුමරි බඹසර ගැනද..එසේත් නැත්නම් විවාහයට පෙර මෙකී වෘත්තාන්තය හෙළි නොකිරීම පිළිබඳවදැයි මා සිතන්නට වීමි.
සඳළුතලයට පිවිස අඩහෝරාවක් පමන ගතව ඇතත් ඔහු මා නොදුටු බවත් කල්පනාවේ නිමග්නව සිටින බවත් පෙනීගිය නිසාවෙන් හමා එන සිහිල් සුළං රැල්ලටවත් හද තුළ බුර බුරා නැඟෙන ගින්න නිවීමට හැකි වේදැයි සිතමින් නිහඬව සිටියෙමි.
නිහැඬියාවකට පසු හදිසියේ මා දුටු ඔහු මගේ බඳවටා ඒ හැඩිදැඩි සුරත යවමින් වැලඳ ගනුද මා කියන්නට ගිය වචන පෙළ වලකාලනුද මට මතක තියේ..සැබවින්ම මා අතගත් පුරුෂයා සාම්ප්‍රදායික මිනිසෙකු නොවීම පිළිබඳ තුටු පහටු වීමි.

"දැන් හෙට අපේ අම්මලාට පෙන්නන්නෙ මොකද්ද නිර්මලී..??"

මගේ සූට් කේසයේ සුරක්ෂිතව සඟවා තියෙන කුකුළ් සායම් බෝතලය ගැන ඔහුට පැවසිය යුතුය.....

video


සොඳුරු සළරූ සිත්තම msrliyanage සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි
ප.ලි.
අස්මාවෙන්න මේ ගීතයේ සළරූ සටහනට උපුටාගෙන ඇත්තේ "සඳගලතැන්න" උසස් මාලානාටකයේ අවස්ථාවන්ය.ඒ රූප පෙළහර ගීතයේ අරුත හා කෙසේ ගෝචරවේදැයි නොදනිමි

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :කරුණාරත්න දිවුල්ගනේ/දීපිකා ප්‍රියදර්ශනී

2 comments:

  1. මුලින්ම මට නම් කියන්න තියෙන්නෙ අපි හිතන දේවල් කවදාවත් වෙන්නෙ නැහැ කියලයි.

    අනෙක නම් ඇත්තටම අවශ්‍ය වෙන්නෙ තමන්ගේ පහුගිය වැරදි තේරුම් අරගෙන එවැනි දේ නැවතත් සිදුවීමට ඉඩ නොදීමයි.

    වැරදි සැම අතින්ම සිදුවේ. නමුත් සිදුවූ වැරැද්ද හදුනා ගැනීමට හා එය ඉවසා සිටීමට අවශ්‍ය කරන ආත්මශක්තිය ඉමහත්.

    එයින් ඔබට ඉවසීම පුහුණු කරයි. ජීවිතය පිළිබද සත්‍ය තේරුම් කරයි. ඔබ අඩියක් පොළොවට උඩින් සිටියා නම්, එය පසක් වී නැවතත් පොළොවට පය ගසා සිටුවීමේ හැකියාව ලබා දෙයි.

    මේ සියල්ලටම තමන් අතින් සිදුවූ වරද තේරුම් කර ගැනීම ඉතා වැදගත්ය (මෙම ගී සිතුවමේ පිරිමියා ගැහැණිය තේරුම් ගත්තාක් මෙන්).

    අනුන්ට බැන වැදීමෙනුත් අනුන්මත වරද පැටවීමෙනුත් තමන්ට සිදුවන කිසිදු යහපතක් නැත. මේ හැම දෙයක්ම සතුටෙන් විද දරා ගන්නට හැකි නම් ඔහු/ඇය තමන් ලැබූ පෘතප්ජන මිනිසත් භාවයේ ආධ්‍යාත්මික වශයෙන් හිනිපෙත්තේ සිටින අය වෙති.

    අන් අය හට ඔවුන් බිමට ඇද දැමිය නොහැක. කිමද ඔවුන් සිටින්නේ පොළවේ පය ගසා ගෙනය.....

    මෙම යුග ගීතය ගී සිතුවමක් කළ ආකාරය ඉතා අනර්ඝයි.

    ReplyDelete
  2. @Hishan,
    මල්ලියේ...වරද ,වරද පිළිගැනීම සහ වරද මතින් ගොඩනැගීම යන කාරණා ඔබ විසින් ඉතාමත් ව්‍යක්තව පැහැදිලි කොට තියෙනවා..
    ඇත්තටම ආඩම්ඹරයි උඹ ගැන..ජීවිතය,සමාජය ගැන උඹේ තියෙන වැටහීම අගෙයි.
    ස්තූතියි හැමදාමත්වගේ පළවෙනිම කමෙන්ට් එක පුංචි දාර්ශණිකයාගෙන්..

    ReplyDelete