Thursday, June 30, 2011

"ඔබේ පිනට මතු මගේ ගෙපැළ ලඟ....කුසුම් පිපේවා...! "


සොඳුරු සිත්තම ගත්තේ..  www.wendyjlevy-art.com නි.

මා තනිවම සිනහසෙනවා විය යුතුය...ලජ්ජාවෙන් රතු වූ මුව රිය කවුළුවෙන් අනන්තය සොයා යන්නට විය.වෙනදාට දකින වටාපිටාව නොව අද මා නෙතු ගැටෙනුයේ...මා නෙතුමානයේ සියළු ජීවී අජීවී වස්තූන් සියල්ල අද නැවුම්ය...පිවිතුරුය..මීටර සියයෙන් සියයට නවත්ව නවත්වා ගාටන බස් රිය පිළිබඳව වෙනදාට දැනෙන නොරිස්සුම අද නොදැනෙන්නේ මන්ද...

"මං එදා ඇහුව දේට තාම උත්තරයක් හොයාගන්න බැරි වුණාද සම්මාණනී.."

කල්යල් බලා මිතුරු සමාගමයෙන් මිඳුණු ඇසිල්ලේ ඇය විමසීමි..
 මොහොතක් විළියෙන් මා දෙස බලා හුන් ඇය මඳ සිනහ පෑවාය...ඉන් දිරිගත් මම හෙමිහිට ඇගේ ඇඟිලි කොණින් අල්ලා ගතිමි..

"කවුරු හරි දකියි අයිය..."

"ඉතින් මගෙ මොකෝ..."

වහා මගෙ ග්‍රහණින් මිඳුණු ඇය සිනහ සළමින් මිතුරියන් හා එක්වුණාය..
වසරක් පුරාවට මනෙතු ඈ හඹාගියද පිළිබඳ සිත ඈ ඉදිරියේ විවර කරගත හැකිවූයේ මේ නොබෝදාය...ඇගේ මනාපය මා හට හිමිව ඇත...

"ඉලිප්සයකට x,y ලක්ෂයෙදී අඳින ලද ස්පර්ශකයේ සමීකරණය කියනව බලන්න සෙත්..! "

"......."

"සෙත් මේ දවස්වල පරාවලයකට ස්පර්ෂකයක් ගහන්න ට්‍රයි කරණවා ස ර්"

"කොල්ලගේ මුහුණෙන් පේන්නෙ නම් ස්පර්ෂකය දැනටම ගහල වගෙයි..."

මුළු පන්තිකාමරයම කොක් හඬළා සිනහසෙයි...මං හෙමිහිට මුහුණ හරවා ඈ දෙස බැළීමි..හොරැහින් මදෙස බලයි..
සිදුවන හැම සංසිද්ධියක්ම නැවුම්ය.අළුත්ය..සුරතෙහි වූ පෑන් තුඩින් මේස ලෑල්ල මත වූ කුරුටු ගී නොලියූ ඉඩ පොඩිත්තක කුළුඳුල් පෙම්වතෙකුගේ ප්‍රාර්ථනාවන් මෙසේ සටහන් කෙළෙමි....

"එකම මඟක පියවර මැණ යන්නයි
එකම බිමක සෙවණැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි..
මඟේ පැතුම ඔබ මට හිමි වෙන්නයි..

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරා වී බැළුම් හෙළා..
හිතේ රැඳුණු පෙම නොමදෙන් රටකට
මඟේ ලොවින් පිට නොයන් පළා..

මඟේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා..
ඔබේ පිනට මතු මගේ ගෙපැළ ලඟ
කුසුම් පිපේවා...පවන් සලා..."



අහන්න.....



සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : පුන්සිරි සොයිසා

Wednesday, June 8, 2011

"මල් හට ගන්නා වසන්තයම නෑ.....හැමදා....."


"මේ සටහන තබන්නට හිතේ තිවුනෙ ගියමාසෙ වෙසක් පොහෝ දිනයේදීමයි...මේ ජාගර හිත ..! හරිම පුදුමයි...ලිපිය සම්පූර්ණ කරන්න දුන්නෙම නෑනෙ..මගෙ හිත මට මෙච්චල් නැහැ...අනේ..බුදු හිමියනි .!මගේ හිත අල්ලල බැඳල තියාගන්න මට හොඳටමවුවමනායි...මං දන්නව...ඒක පුළුවන් නුඹ වහන්සේගේ ධර්මයටම විතරමයි....අනේ..ඒ මඟ යන්න මට ධෛර්‍යය දෙන්න......!"

============================================================

"අනේක ජාති සංසාරං - සද්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්‍ඛා ජාති පුනප්පුනං
ගහ කාරක දිට්ඨෝසි - පුනගේහං නඛාහසී
සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හාණං ඛය මජ්ඣනා "

  "මම නොයෙක් ආත්මයන් තුළ නැවත නැවත ඉපදෙමින් ගමන් කළෙමි. නැවත නැවත ඉපදෙන මේ තණ්හාව නැමැති ගෙය සාදන වඩුවා  සොයාගත්තෙමි..එම්බා වඩුව..! මම නුඹ පරාජය කළෙමි..."

============================================================

තණ්හා ආශා...
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ......
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා........

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා.....
අප යන මේ ගමනේ
තණ්හා ආශා.........

අඳුරෙන් ගැලවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ.....
අප හැම වල්මත් වී
තණ්හා ආශා........

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා.....
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා..
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා...


=========================================================

මම් මගේ හිත විවර කරන්නට සිතුවෙමි...ඒ වෙන යමක් නිසාම නොව, මේ බඹයක් තරම් වූ කුණුපය නිවස්නය කරගෙන "මම"ය කියනා නාමරූපය මා පරීක්ෂාකරන්නට යන සැටියෙක් පෙනෙන නිසාවෙනි...මේ පඨවි..ආපෝ..තේජෝ...වායෝ..යන සතරමහා භූතයෝ අල්ලා බැඳ ගත් මේ අද්භූත සිත තේරුම් ගන්නට මට වුවමනාය...විටෙක ආශාව..විටෙක තණ්හාව...විටෙක රාගය..මා පෙළයි...කෙසේවතුදු  එක් කාරනයක් මා පැහැදිලිව දකිමි...මේ සැපය..සැපය..යි මා ඇද බැඳ ගන්නා සියළු දේ අවසන "දුක" පවතින බවය..මා උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධකොටගෙන ඇතැයි ඔබට හැඟේ නම් මා එය නිවැරදි කළ යුතුම වේ..අහෝ..!අඩුම තරමේ මා ඒ උතුම් සැපය සොයායන්නාවූ මඟට පිළිපන්නෙක්දැ'යි මා තුළ සැකයකි..
මා ඉහතින් සඳහන් කළ උදාන වාක්‍යය ගෞතම බුදුන් වහන්සේ විසින් දේශණාකොට හරියටම වසර දෙදහස් හයසියයක් ගත වීත් ..මා අඳුරේ ..සසරේ ගමන් කොට ඇත..අහෝ..උන්වහන්සේගේ එක් ධර්ම මාත්‍රයක් සැබවින්ම වටහා ගත්තේ නම් මේ සසර ගමන නවතාලිය හැකි බැවි දනිමි...මේ මනුස්ස ආත්මභාවයේදී ක්ෂන සම්පත්තිය,කලණ මිතු ඇසුර ලද්දීත් මා තවමත් අඳුරේ බව ලජ්ජාවෙන් කියමි...අනේ හිමියණි...මගේ හිතේ පැලපදියම් වූ මේ තණ්හාව,ආශාව පොදිය බිම තියන්නට මට ධෛර්‍යය දෙන්න...!

=====================================================
අහන්න....

සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : සුනිල් එදිරිසිංහ