Wednesday, August 17, 2011

"ගැයු ගීතයන් ගමේ වෙල් එළියේ......."

ජීවිතෙ මහ පුදුමාකාරයි..ඔබට මතකද මම දන්නෑ..දවසක් මං කිව්ව මේ මිහිපිට මම කැමතිම නුවර ගිමන්හළ බැව්..බොහොම ඉක්මනින් ඒ නුවරු,නුවර වීදීන්,නුවර වැව..මාලිගාව..දළදා හාමුදුරුවෝ…නිතර මුලිච්චිවූ මෙකී නොකී සියළුම දෑ සුන්දර සිහිනයක මතකයන් පමණක් ඉතුරු කොට දමා එන්න සිදුවුණා…ඒ විතරක්ය…මේ ජීවිතයේදී මට ලැබුණු සොඳුරුතම නවාතැනත්!.
මේ ජීවන තීර්ථ යාත්‍රාවේදී අපට මුණ ගැහෙන සොඳුරු මිනිසුන් ගැන මතකයන් සමහරවිට කාළයක් පුරාවට සොඳුරු මතකයන් විදිහට ඉතිරිවෙලා තියෙනව..එකී බැඳීම් වලට නමක් නැහැ.. බලන්න..ආදරය..ප්‍රේමය…. සහෝදරකම..ලෙංගතුකම ආදී නොයෙක් වර්ගකිරීම් වල රඳවන්නට අප බොහෝ විට අපොහොසත් වෙනව… එකී බැඳීමකට මම නමක් හොයනව….

================================================================
සොඳුරු සිත්තම ගත්තේ..  www.fineartamarica.com නි.

සිරිනාථ.....
තාත්තාගේ අවුරුද්දේ දානය ගැන මතක් කොට අම්මා විසින් එවන ලද ලිපිය මා අත පත්වුනේ මේ ඊයේ පෙරේදාය.වසරකීපයක් ඔත්පලව හුන් තාත්තා සදහටම කැදැල්ලෙන් නික්මගිය බව විශ්වාස කරන්නටත් නොහැකි තරම්ය.
රෙදි පෙරෙදි ගුළිකොට ඔබාගත් ගමන් බෑගය කරපින්නාගෙන කුඩුගල් හන්දියෙන් බසිනවාත් සමඟම  නොදැනීම මගේ දෑස් යොමුවූයේ අනන්තය තෙක් නෙතුමානයේ රැඳෙන වඩා නොවුස් වූ කඳු වළල්ලත් තේවත්ත වසා පැතිරුණ උස්වූ මාර ගස් යායත්ය.දුහුල්වලා අතරින් එබී බලන සඳෙහි කාන්තිමත් වූ සඳ දියෙන් තෙමී කිමිඳෙන තේ යායේ දසුන මා හට නම් සිහිපත් කරණුයේ සුන්දර වූත් වින්දනීයවූත් අතීතයකි.
කණට දමා කැරැකැවෙන තුත්තිරි ගසේ කිතියෙන් අවදිවන මා නොනින්ඳේම දෑත් යවා ඈ අල්වා ගනිමි..
“අතාරින්නකො..සිරි..මේ බලපන්කො නැඳම්මෙ ..කම්මැළිකොමට නිදා ඉන්නව මදිවට මට තලන්නත් එනවා..”යි මොර දෙමින් කාමරයෙන් පැන දුවන්නී මුළුතැන්ගෙයි දෙසින් මා මව් සමඟ  උදේ අහර පිසන්නට අත් උදව් දෙන්නීය.
“කෝ දිපං නැන්දම්මෙ ඔය තේ එක කම්මැළියට මං ඕක ගිහින් දෙන්න..”
මෙසේ ආරම්ඹවන දවසේ දෛනික කටයුතු මහත් සතුටින් යුතුව නැවත නැවතත් ආශ්වාදනය කරමි..
ඛිරි බෝතලයද අතින් ගෙන සීරුවට ගලින් ගලට පණිමින් දිව එන හා  කිරෙන් හිස්වූ  බෝතලය ද එල්ලාගෙන නැවතත් සීරුවට තේවත්ත මැඳින් උඩහට දුව යන සඳැත්තීගේ රූපය මෙන්ම ඈ හා ගෙවා දැමූ ළමාවිය ,පාසැල්විය සිහිකිරීමත්  ගෙනෙනුයේ  මහත් වූ සන්තෘෂ්ඨියකි.
“සිරි කියනව බලන්න පන්තියට පරක්කුවෙලා එන්න හේතුව..!”
වේවැල පිටුපසට කොටගත් අබේසේකර මුල්ගුරුතුමා මා අභිමුව සිට ගත්තෙන් මහත් ගර්වයෙන් හා විළියෙන් රත්වූ මා තෘෂ්නීභූතව ගියේයැ.
මීයට පිම්ඹාහේ මුළු පාසැල් බිමම නිසලවූයෙන් ඒ බිය තවත් තීව්‍රවූයේය.මම හොරැහින් පංතිකාමරය දෙස බැලිමි.සඳැත්තී සොවින් බරකරගත් මුවින් කෙටි වූ බිත්තියෙන් එබිකම් කරන්නීය...ඉහලට එසවුණු මුල්ගුරුතුමාගේ වේවැල මගේ පිට මැද්දෑව සිපගනුද ඒ වේදනාව අද ද මතකයට නගා ගත හැකිය.ඒ සමඟම පන්තිකාමරය දෙසින් ඇසුණු ඉකිය ඇගේ බැව් මට දැණුනි.
"ආ..අනිත් භාගෙටත් රිදිල තියෙන්නෙ...!"යි කියමින් මුල්ගුරුතුමා සෙමින් පිටවයනුද මට යාන්තම් මතකය..ඒ තරමටම ඈ හා මා අතර වූ බැඳීම වූකලී කිසිදින කිසිවෙකුට වටහා දිය නොහැකි තරමේ වූ බැඳීමකි...සමහරවිට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයේහි එන  නවකතා ලොවේහි මාගේ පරමාදර්ශී චරිතය වූ අරවින්ද බතීට දැක්වූ සෙනෙහස ඉක්ම වා යන්නෙකි..වාසනාවකට ගම්මු,දෙමාපියන් අපගේ ඇසුර වටහාගෙන සිටියෝය..එබැවින් කිසි දින ක ඈ හා මා අතර වූ බැඳීම වරදවා වටහාගෙන හෝ යමක් කීමට තරම් ඔවූහු අකාරුණික නොවීම අපගේ බැඳීම ගලායාමට ඉවහල්වූයේයැ.හැබැවින්ම ඇය මගේ ජීවිතයේ එක්කොටහක් මෙන් වුවද ආදරය රාගය වැනි දේට ඉඩ දී අප අතර වූ බැඳීම කිළිටිකර ගැනීමට මට මෙන්ම ඇයටද නුවුමනාවූ බැව් දනිමි.
ජ්‍යෙශ්ඨෙ සමත්ව උඩහ පළාතට ගුරුපත්වීමක් ලැබ මා ගමෙන් මෙන්ම ඇයගෙන් වෙන්වෙනුද අතීතයට එක්වූයේ මේ කාලවකවානුවේදීමය..ඇයද ගම්පහ මැම්ඹර කෙනෙකුගේ බිරිඳව දීගතල ගියේද ඔය කියන කාළවකවානුවේදීමය..මුලින් මුලින් මේ වියෝව අපට දරාගත නොහැකි මට්ටමේ තිබුනද කාලයා ඒ සියල්ල සමථයකට පත් කලේ අප නොදැනුවත්වමය..නමුදු මා ඇගෙන් ලද..ඈ මගෙන් ලද සෙනෙහස් බැම්ම නොනැසී පවතිනු බැව් අපි දනිමු..
පැට්‍රොල් මැක්ස් ලාම්පු කිහිපයකින් විහිදෙන ආලෝකයෙන් මුළු  ගෙමිදිලුමම ආලෝකමත් වී තිබෙනු දෙවට දිගේ පිය මණින මට මනාව පෙනේ...සතුටු කතාබස් මෙන්ම කඩිසරව එහා මෙහාවන සෙවනැලිද බොහෝවූයෙන් අඩියට දෙකට ගෙමිදුලට පියමැන්නෙමි...
"සඳා අක්කේ...මෙන්න අනිත් භාගෙ එනෝ...!"
නැගණිය දුන් ඒ ආරංචිය මා කෙතරම් කුල්මත් කලේදැයි මෙතෙක් මාගේ පාපොච්චාරණය අසා සිටි ඔබට නොකිවමනාය..නොදැනීම මා නෙතු ඈ සොයා ගති..මඳක් පෘශ්ඨිමත්ව පැහැපත්ව හුන් ඇයගේ කුස මඳක් මෝරා තිබෙනු දක්නට හැකිවිය..ඈ වෙනදාටත් වඩා ශාන්තය...

"සඳා.....!"

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...
දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඈ සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඈ මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...
දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඔහු සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඔහු මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...


ගුරුතුම දවසක් මා හට තැළුවා..
දැක මට මතකයි ඈ හැඬුවා..
මා අසනීපෙන් සිටි එම දවසේ..
ඇඳ ලඟ ඈ මුළු රෑ හිටියා..

අපි දෙදෙනයි එකට පාසැල් ගියේ..
ගස් සෙවනේ ඉඳන් පාඩම් කළේ..
ඈ සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඈ මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...

නාන වෙලේ මා රැල්ලට හසු වී..
යන විට ඔහු විත් ගොඩ ගත්තේ..
මා බොරුවට දවසක් තරහා වී..
කෑම නොකයි ඔහු සිත ඇත්තේ..

අපි දෙදෙනයි එකට එහෙ මෙහේ ගියේ..
උදයේ හවහේ සෙල්ලම් කළේ..
ඔහු සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඔහු මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...
දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඔබ සමඟින් එදා ඒ මා තමා..
පුදුමයි යළි මේ හමුවීම අපේ..

ගැයු ගීතයන් ගමේ වෙල් එළියේ....

සඳවතී....

හුදෙක් ප්‍රේමය..ආදරය ආදී නම් වලින් මනුෂ්‍ය සබඳතා මණින මිණුම් දඬු කෙසේවුවද මාත් ඔහුත් අතරේ වූ සබඳතාවයට නමක් දීමට මා තවමත් පැකිළෙමි.මන්ද ඉතා පවිත්‍රවූත් පූජණීය වූත් සිරි හා මා අතර වැලි කෙළියේ පටන් වූ බැඳීමට අල්ප මාත්‍රවූ තරම්වත් අගයේ අඩුවක් සිදුවේය යැයි මා තුළ වන කුකුසයි.

"නැන්දම්මෙ අරඇයි මොකෝ මේ ගිණි මද්දහන වෙලත් අල්පදයන්න ගහගෙන නිදන්නෙ..අසනීපයක්ය.."

"මං දන්නෙ නැහැ දරුවො..ඔය ඊයෙ රාත්තිරියෙ හිට උපවාසෙ පටන් අරගෙන තියෙන්නෙ..ලෙඩක් තියේ නම් හන්දියෙ ඩිස්පැන්සරියටවත් යන්නෙ නැතිව.."

"එයැයිට ඉහෙන් බහින ලෙඩක් නෑ නැන්දම්මෙ..මං දන්නව ලෙඩේ මොකැයි කියල.."

හදවත ඇතුලාන්තයෙන් නැගුණු වේදනාව ඇට ඇටමිදුළු පසාරු කොටගෙන මුළු සර්වාන්ගයම දවා හළු කලේ, ඔහු කෑම නොකෑමට හේතුව මා බැව් දැණුනු හෙයිනි.ඊයේ දිනයේදී අප අතර වූ සුළු හිත් නොහොඳවීමක් මෙයට හේතු වූ බැව් දනිමි. අප අතරේ වූ බැඳීම එසේ වූවකි.
මා මෙවර ගම පැමිණියේ වසර කිහිපයකිණි.ගම නොවෙනස්ව පැවතුනද හදවතට පාළුවක් දැනෙන්නටවූයේ මන්දැයි ඔබට නොකිවමනාය.මා ගම්පහට දීගතල ගියේත් ඔහු ගුරුපත්වීමක් ලැබ උඩහපලාතට ගියේත් එකම කාලවකවානුවකය.අපගේ වෙන්වීම දරාගත නොහැකිවුවත් වයසෙන් වැඩෙත්ම වෙනස්වීම්වලට අනුවර්තනය වීමට අපට සිදුවිය.
කාළයක් මගේම නිවහන මෙන් වූ මේ නිවසට අද දින ගොඩවදිත්දී දරාගත නුහුණු පාළුව සමනය වූයේ දානමය කටයුතු සඳහා එකතු වූ නෑදෑ හිතවතුන්ගෙන් පිරීපැවතීම නිසාය.කඩුල්ල දෙස යොමුව පැවැත් දෑස අන් අයවළුන්ගෙන් වහං කොටගත්තේ උන්ගේ උසුළු විසුළුවලට ලක් නොවන්නටය.කොයි මොහොතේ වුවද ඔහු අද දින මෙහි පැමිනෙණු ඇත.කාලෙකට පසුව හමුවන සහෝදරයෙක්..ප්‍රේම වන්තයෙක් නොව ඉහතින් මා ඔබට පැවසූ පරිදි හඳුණාගත නොහැකිවූ නිර්ණාමික බැඳීමක් ඇතියවුන් ලෙස අප අදද හමුවනු ඇත...

අහන්න...


සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : සිසිර සේනාරත්න / ඉන්ද්‍රාණි සේනාරතන