Thursday, September 29, 2011

"සදාකාළිකය..අඳුරේ රැජිණිය.."

පහුගිය දෙසතිය ලාංකේය කලා ලෝකයේ මහා දැවැන්ත්යින් තිදෙනෙකුගේ සමුගැන්ම සටහන් වූ අඳුරු දෙසතියක් බැව් නොකියාම බැරිය..
පහුගිය වැහිබර දිනෙක මා අවදිවූයේ අපේ මහා ගත්කරු පරපුරේ අපට ඉතිරිව සිටි "කේ.ජයතිලක"කලා කරුවානන්ගේ සමුගැන්ම සටහන් වූ පුවතින් සසළ වූ සිතිනි.
පරාජිතයෝ, චරිත තුනක්, පුංචිරාල , පුංචිරාලගේ මරණය ,රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහ පුත්තු ,අප්‍රසන්න කතාව, අධිෂ්ඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගය, මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලකුගේ ප්‍රේම කතාවක්, එකගේ අවුරුද්ද, වජිර පබ්බත ඇතුළු නවකතා රැසක් මෙන්ම කෙටි කතා, පද්‍ය, විචාර, ළමා පොත් ඇතුළු කෘති ගණනාවක් රචනා කර ඇත.
ඉදින් සිංහල සාහිත්‍ය අඹර වර්ණවත් කළ කේ බී හේරත් වියතාණන් නැවත නොපැමිණෙනු ඇත.
ඒ මා හද මඬළ අඳුරෙන් පුරවාලූ පළමු සිදුවීමයි.
දැනට මාස යකට දෙකකට පමන පෙර ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ "ආරාධනා ස්වර දැහැන"සජීවී පටිගත කිරීමක් රසවිඳීමට ගියෙමි.එදින ආරාධිත ගාන්ධර්වයා වූ විශාරද එඩ්වඩ් ජයකොඩි ගායකයානන්ගේ මියුරු හඬ සමඟින් දැහැන්ගත වුණෙමි."මාරම්ඹරී.." ගීතය ගුවනට මුහුවෙත්දී වේදිකාවේ පසෙකින් තම තබ්ලාව හැඬවූ මහා ගාන්ධර්වයා වූ "විජේරත්න රණතුංගයන්ගේ" සමුගැන්ම සනිටුහන් වූයේ කේ.ජයතිලක වියතානන්ගේ සමුගැන්මේ වේදනාව පහවයන්නටත් ප්‍රථමවය.
ඉදින්..විජේරත්න රණතුංගයන්ගේ අතැඟිලි පහසින් තබ්ලාව ආයෙත්නම් නොහැඬවෙනු ඇත.

 පුරුද්දක් ලෙස ගුවන් විදුලියට සවන් දීම වූ කලී මගේ දෛණික වැඩකටයුතුවල අනිවාර්‍ය අංගයකි.මේදිනවල ගුවන්විදුලියේ සිටි එෆ් එම් සේවයේ විකාෂයවන හඩ්සන් සමරසිංහ ශූරීන් විසින් රචනාකරණ ලද "පනාමුරේ දළ ඇතා" මාලා නාටකය හැබවින්ම සිත් ගත්තකි.එහි ආරච්චිලගේ චරිතයට පණ පෙවූ සිහල සිනමාවේ මට හැඟෙන ලෙස එදා මෙදාතුර බිහිවූ අග්‍රගන්‍යය, චරිතාංග නිරූපණය කළ හැකි නළුවාණන් වූ ජෝ අබේ වික්‍රමයන්ගේ නික්ම යාම වූ කලී පසුගිය සතිය තුළ සිදුවූ සිත අඳුරෙන් පුරවාලූ අනෙක් සිදු වීමයි..
සැබවින්ම එතුමන්ගේ රංගනයන් පිළිබඳ විචාරණයට මා තරම් නොවෙත්.. ඒ පිළිබඳ විවරණයකට මා සූදානම් වුවහොත් , ජෝ අබේවික්‍රමයන්ගේ රංගන ප්‍රථිභාව "සූර්‍යාලෝකය"යැයිද මා ගේ වචන මාත්‍රයන් "කඳෝපැණෛයන්"ගේ ආලෝකය මෙනැයිද ඔබට සිතෙනු ඇත..
චිත්‍රපට 250 කට අධික සංඛ්‍යාවක තම රංග ප්‍රතිභාව පළ කළ අබේවික්‍රමයන් "සරදමින් "පටන්ගෙන ශ්‍රී 296, රන්මුතුදූව, ගැටවරයෝ, චණ්ඩියා, සාරවිට, අල්ලපුගෙදර ඇතුළු චිත්‍රපට රැසක විහිළු කළ ජෝ අබේවික්‍රම රත්නපුරේ ලෙල්ලොපිටියේ සිට කොළඹට ආවේ සාමාන්‍ය ගමේ මිනිසකු ලෙසය.
එමෙන්ම තුංමන් හන්දිය, පුරහඳ කළුවර, පූජා, වැලිකතර, පරසතු මල්, බඹරු ඇවිත්, සිරිබෝ අයියා වැනි චිත්‍රපට තුළින් චරිතාංග නළුවකු සිය රංග ප්‍රතිභාව අති විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කළ ජෝ අබේවික්‍රමයන් සම්මානලාභි රංගධරයෙකි.ඉදින් මේ සා වූ මහා යුගපුරුෂයන්ගේ සමුගැන්ම සනාතන දහමට අනුව සිදුව ඇත..එහෙත් අපගේ සංවේදී හදවත් ඔවුන්ගේ නික්මයාම තවමත් නොපිළිගන්නා සෙයකි.

අවසන් වශයෙන් මෙසේ කියමි...මේ මරණයන් මා කරා පැමිණ  මේ මහා පුරුෂයන් මේ ධරණීතලයේ තවත් කාළයක් ජීවත්වූවානම්............

============================================================

"අඳුර"..."එළිය" ගැන මොන මොන අර්ථදැක්වීම් මතිමතාන්තර තිබුනත් සංවේදී මනුෂ්‍ය හදවතකට එළියට වඩා අඳුර සමීපයි කිව්ව්වොත් ඔබ මා සමඟ එකඟවෙනු ඇතැයි සිතමි..
අඳුරට මා පෙම් බඳින්නට පටන්ගත්තේ කුමන අවදියකදීදයැයි නිනව් නොවේ..මෙහිදී මහා ගත්කරු මාර්ටින් වික්‍රම සිංහයන්ගේ "ගම් පෙරළියේ" එන මාතරහාමිනේගේ චරිතය හැම අතින්ම මා සිත්ගත්තාසේම එහි එන චරිත ලක්ෂණ කිහිපයක් මා සතුවද පැවතීම "ගම් පෙරළියට" පෙම් බඳින්නට හේතුවූවාය යැයි සිතමි.මේ සටහන් කියවන බොහොමයක් දෙනා ජීවිතයේදී එක්වරක් හෝ එම අද්වතීය නවකතාව කියවා ඇතුවාට සැක නැත..ඒ හේතුවෙන් ආත්ම කථනයකට නොපෙළෙඹෙමි.

===========================================================

අඳුර අඳුර මගේ..සොඳුර සොඳුර මගේ..
නොයනු මැනවි දා...තනිකර එළියේ..
ගන රෑ කළුවර..තනියම කුටියේ..
ගත කළ දිවියේ..රසතැන් සිහිවේ..
කුටියේ කෙළවර..එළියක් දිස් වේ..
එළිය සොඳුර මගේ..දිවියට ලන් වේ..
පෙම් එළි විහිදා..නිවා දැමූ පසු..
දුන් නෙක් පීඩා..දනීමි පෙරදා..
සදාකාළිකය..අඳුරේ රැජිණිය..
ඔබ හැර යන්නට..නොදේවි මගෙ සිත..

අහන්න...


සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : ප්‍රියා සූරියසේන

Wednesday, August 17, 2011

"ගැයු ගීතයන් ගමේ වෙල් එළියේ......."

ජීවිතෙ මහ පුදුමාකාරයි..ඔබට මතකද මම දන්නෑ..දවසක් මං කිව්ව මේ මිහිපිට මම කැමතිම නුවර ගිමන්හළ බැව්..බොහොම ඉක්මනින් ඒ නුවරු,නුවර වීදීන්,නුවර වැව..මාලිගාව..දළදා හාමුදුරුවෝ…නිතර මුලිච්චිවූ මෙකී නොකී සියළුම දෑ සුන්දර සිහිනයක මතකයන් පමණක් ඉතුරු කොට දමා එන්න සිදුවුණා…ඒ විතරක්ය…මේ ජීවිතයේදී මට ලැබුණු සොඳුරුතම නවාතැනත්!.
මේ ජීවන තීර්ථ යාත්‍රාවේදී අපට මුණ ගැහෙන සොඳුරු මිනිසුන් ගැන මතකයන් සමහරවිට කාළයක් පුරාවට සොඳුරු මතකයන් විදිහට ඉතිරිවෙලා තියෙනව..එකී බැඳීම් වලට නමක් නැහැ.. බලන්න..ආදරය..ප්‍රේමය…. සහෝදරකම..ලෙංගතුකම ආදී නොයෙක් වර්ගකිරීම් වල රඳවන්නට අප බොහෝ විට අපොහොසත් වෙනව… එකී බැඳීමකට මම නමක් හොයනව….

================================================================
සොඳුරු සිත්තම ගත්තේ..  www.fineartamarica.com නි.

සිරිනාථ.....
තාත්තාගේ අවුරුද්දේ දානය ගැන මතක් කොට අම්මා විසින් එවන ලද ලිපිය මා අත පත්වුනේ මේ ඊයේ පෙරේදාය.වසරකීපයක් ඔත්පලව හුන් තාත්තා සදහටම කැදැල්ලෙන් නික්මගිය බව විශ්වාස කරන්නටත් නොහැකි තරම්ය.
රෙදි පෙරෙදි ගුළිකොට ඔබාගත් ගමන් බෑගය කරපින්නාගෙන කුඩුගල් හන්දියෙන් බසිනවාත් සමඟම  නොදැනීම මගේ දෑස් යොමුවූයේ අනන්තය තෙක් නෙතුමානයේ රැඳෙන වඩා නොවුස් වූ කඳු වළල්ලත් තේවත්ත වසා පැතිරුණ උස්වූ මාර ගස් යායත්ය.දුහුල්වලා අතරින් එබී බලන සඳෙහි කාන්තිමත් වූ සඳ දියෙන් තෙමී කිමිඳෙන තේ යායේ දසුන මා හට නම් සිහිපත් කරණුයේ සුන්දර වූත් වින්දනීයවූත් අතීතයකි.
කණට දමා කැරැකැවෙන තුත්තිරි ගසේ කිතියෙන් අවදිවන මා නොනින්ඳේම දෑත් යවා ඈ අල්වා ගනිමි..
“අතාරින්නකො..සිරි..මේ බලපන්කො නැඳම්මෙ ..කම්මැළිකොමට නිදා ඉන්නව මදිවට මට තලන්නත් එනවා..”යි මොර දෙමින් කාමරයෙන් පැන දුවන්නී මුළුතැන්ගෙයි දෙසින් මා මව් සමඟ  උදේ අහර පිසන්නට අත් උදව් දෙන්නීය.
“කෝ දිපං නැන්දම්මෙ ඔය තේ එක කම්මැළියට මං ඕක ගිහින් දෙන්න..”
මෙසේ ආරම්ඹවන දවසේ දෛනික කටයුතු මහත් සතුටින් යුතුව නැවත නැවතත් ආශ්වාදනය කරමි..
ඛිරි බෝතලයද අතින් ගෙන සීරුවට ගලින් ගලට පණිමින් දිව එන හා  කිරෙන් හිස්වූ  බෝතලය ද එල්ලාගෙන නැවතත් සීරුවට තේවත්ත මැඳින් උඩහට දුව යන සඳැත්තීගේ රූපය මෙන්ම ඈ හා ගෙවා දැමූ ළමාවිය ,පාසැල්විය සිහිකිරීමත්  ගෙනෙනුයේ  මහත් වූ සන්තෘෂ්ඨියකි.
“සිරි කියනව බලන්න පන්තියට පරක්කුවෙලා එන්න හේතුව..!”
වේවැල පිටුපසට කොටගත් අබේසේකර මුල්ගුරුතුමා මා අභිමුව සිට ගත්තෙන් මහත් ගර්වයෙන් හා විළියෙන් රත්වූ මා තෘෂ්නීභූතව ගියේයැ.
මීයට පිම්ඹාහේ මුළු පාසැල් බිමම නිසලවූයෙන් ඒ බිය තවත් තීව්‍රවූයේය.මම හොරැහින් පංතිකාමරය දෙස බැලිමි.සඳැත්තී සොවින් බරකරගත් මුවින් කෙටි වූ බිත්තියෙන් එබිකම් කරන්නීය...ඉහලට එසවුණු මුල්ගුරුතුමාගේ වේවැල මගේ පිට මැද්දෑව සිපගනුද ඒ වේදනාව අද ද මතකයට නගා ගත හැකිය.ඒ සමඟම පන්තිකාමරය දෙසින් ඇසුණු ඉකිය ඇගේ බැව් මට දැණුනි.
"ආ..අනිත් භාගෙටත් රිදිල තියෙන්නෙ...!"යි කියමින් මුල්ගුරුතුමා සෙමින් පිටවයනුද මට යාන්තම් මතකය..ඒ තරමටම ඈ හා මා අතර වූ බැඳීම වූකලී කිසිදින කිසිවෙකුට වටහා දිය නොහැකි තරමේ වූ බැඳීමකි...සමහරවිට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයේහි එන  නවකතා ලොවේහි මාගේ පරමාදර්ශී චරිතය වූ අරවින්ද බතීට දැක්වූ සෙනෙහස ඉක්ම වා යන්නෙකි..වාසනාවකට ගම්මු,දෙමාපියන් අපගේ ඇසුර වටහාගෙන සිටියෝය..එබැවින් කිසි දින ක ඈ හා මා අතර වූ බැඳීම වරදවා වටහාගෙන හෝ යමක් කීමට තරම් ඔවූහු අකාරුණික නොවීම අපගේ බැඳීම ගලායාමට ඉවහල්වූයේයැ.හැබැවින්ම ඇය මගේ ජීවිතයේ එක්කොටහක් මෙන් වුවද ආදරය රාගය වැනි දේට ඉඩ දී අප අතර වූ බැඳීම කිළිටිකර ගැනීමට මට මෙන්ම ඇයටද නුවුමනාවූ බැව් දනිමි.
ජ්‍යෙශ්ඨෙ සමත්ව උඩහ පළාතට ගුරුපත්වීමක් ලැබ මා ගමෙන් මෙන්ම ඇයගෙන් වෙන්වෙනුද අතීතයට එක්වූයේ මේ කාලවකවානුවේදීමය..ඇයද ගම්පහ මැම්ඹර කෙනෙකුගේ බිරිඳව දීගතල ගියේද ඔය කියන කාළවකවානුවේදීමය..මුලින් මුලින් මේ වියෝව අපට දරාගත නොහැකි මට්ටමේ තිබුනද කාලයා ඒ සියල්ල සමථයකට පත් කලේ අප නොදැනුවත්වමය..නමුදු මා ඇගෙන් ලද..ඈ මගෙන් ලද සෙනෙහස් බැම්ම නොනැසී පවතිනු බැව් අපි දනිමු..
පැට්‍රොල් මැක්ස් ලාම්පු කිහිපයකින් විහිදෙන ආලෝකයෙන් මුළු  ගෙමිදිලුමම ආලෝකමත් වී තිබෙනු දෙවට දිගේ පිය මණින මට මනාව පෙනේ...සතුටු කතාබස් මෙන්ම කඩිසරව එහා මෙහාවන සෙවනැලිද බොහෝවූයෙන් අඩියට දෙකට ගෙමිදුලට පියමැන්නෙමි...
"සඳා අක්කේ...මෙන්න අනිත් භාගෙ එනෝ...!"
නැගණිය දුන් ඒ ආරංචිය මා කෙතරම් කුල්මත් කලේදැයි මෙතෙක් මාගේ පාපොච්චාරණය අසා සිටි ඔබට නොකිවමනාය..නොදැනීම මා නෙතු ඈ සොයා ගති..මඳක් පෘශ්ඨිමත්ව පැහැපත්ව හුන් ඇයගේ කුස මඳක් මෝරා තිබෙනු දක්නට හැකිවිය..ඈ වෙනදාටත් වඩා ශාන්තය...

"සඳා.....!"

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...
දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඈ සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඈ මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...
දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඔහු සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඔහු මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...


ගුරුතුම දවසක් මා හට තැළුවා..
දැක මට මතකයි ඈ හැඬුවා..
මා අසනීපෙන් සිටි එම දවසේ..
ඇඳ ලඟ ඈ මුළු රෑ හිටියා..

අපි දෙදෙනයි එකට පාසැල් ගියේ..
ගස් සෙවනේ ඉඳන් පාඩම් කළේ..
ඈ සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඈ මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...

නාන වෙලේ මා රැල්ලට හසු වී..
යන විට ඔහු විත් ගොඩ ගත්තේ..
මා බොරුවට දවසක් තරහා වී..
කෑම නොකයි ඔහු සිත ඇත්තේ..

අපි දෙදෙනයි එකට එහෙ මෙහේ ගියේ..
උදයේ හවහේ සෙල්ලම් කළේ..
ඔහු සමඟින් එදා ඒ මා තමා..
අද නැතිවා වගේ ඔහු මේ ගමේ..

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...
දුවපැන ඇවිදල සෙල්ලම් කළේ..
ඔබ සමඟින් එදා ඒ මා තමා..
පුදුමයි යළි මේ හමුවීම අපේ..

ගැයු ගීතයන් ගමේ වෙල් එළියේ....

සඳවතී....

හුදෙක් ප්‍රේමය..ආදරය ආදී නම් වලින් මනුෂ්‍ය සබඳතා මණින මිණුම් දඬු කෙසේවුවද මාත් ඔහුත් අතරේ වූ සබඳතාවයට නමක් දීමට මා තවමත් පැකිළෙමි.මන්ද ඉතා පවිත්‍රවූත් පූජණීය වූත් සිරි හා මා අතර වැලි කෙළියේ පටන් වූ බැඳීමට අල්ප මාත්‍රවූ තරම්වත් අගයේ අඩුවක් සිදුවේය යැයි මා තුළ වන කුකුසයි.

"නැන්දම්මෙ අරඇයි මොකෝ මේ ගිණි මද්දහන වෙලත් අල්පදයන්න ගහගෙන නිදන්නෙ..අසනීපයක්ය.."

"මං දන්නෙ නැහැ දරුවො..ඔය ඊයෙ රාත්තිරියෙ හිට උපවාසෙ පටන් අරගෙන තියෙන්නෙ..ලෙඩක් තියේ නම් හන්දියෙ ඩිස්පැන්සරියටවත් යන්නෙ නැතිව.."

"එයැයිට ඉහෙන් බහින ලෙඩක් නෑ නැන්දම්මෙ..මං දන්නව ලෙඩේ මොකැයි කියල.."

හදවත ඇතුලාන්තයෙන් නැගුණු වේදනාව ඇට ඇටමිදුළු පසාරු කොටගෙන මුළු සර්වාන්ගයම දවා හළු කලේ, ඔහු කෑම නොකෑමට හේතුව මා බැව් දැණුනු හෙයිනි.ඊයේ දිනයේදී අප අතර වූ සුළු හිත් නොහොඳවීමක් මෙයට හේතු වූ බැව් දනිමි. අප අතරේ වූ බැඳීම එසේ වූවකි.
මා මෙවර ගම පැමිණියේ වසර කිහිපයකිණි.ගම නොවෙනස්ව පැවතුනද හදවතට පාළුවක් දැනෙන්නටවූයේ මන්දැයි ඔබට නොකිවමනාය.මා ගම්පහට දීගතල ගියේත් ඔහු ගුරුපත්වීමක් ලැබ උඩහපලාතට ගියේත් එකම කාලවකවානුවකය.අපගේ වෙන්වීම දරාගත නොහැකිවුවත් වයසෙන් වැඩෙත්ම වෙනස්වීම්වලට අනුවර්තනය වීමට අපට සිදුවිය.
කාළයක් මගේම නිවහන මෙන් වූ මේ නිවසට අද දින ගොඩවදිත්දී දරාගත නුහුණු පාළුව සමනය වූයේ දානමය කටයුතු සඳහා එකතු වූ නෑදෑ හිතවතුන්ගෙන් පිරීපැවතීම නිසාය.කඩුල්ල දෙස යොමුව පැවැත් දෑස අන් අයවළුන්ගෙන් වහං කොටගත්තේ උන්ගේ උසුළු විසුළුවලට ලක් නොවන්නටය.කොයි මොහොතේ වුවද ඔහු අද දින මෙහි පැමිනෙණු ඇත.කාලෙකට පසුව හමුවන සහෝදරයෙක්..ප්‍රේම වන්තයෙක් නොව ඉහතින් මා ඔබට පැවසූ පරිදි හඳුණාගත නොහැකිවූ නිර්ණාමික බැඳීමක් ඇතියවුන් ලෙස අප අදද හමුවනු ඇත...

අහන්න...


සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : සිසිර සේනාරත්න / ඉන්ද්‍රාණි සේනාරතන

Thursday, June 30, 2011

"ඔබේ පිනට මතු මගේ ගෙපැළ ලඟ....කුසුම් පිපේවා...! "


සොඳුරු සිත්තම ගත්තේ..  www.wendyjlevy-art.com නි.

මා තනිවම සිනහසෙනවා විය යුතුය...ලජ්ජාවෙන් රතු වූ මුව රිය කවුළුවෙන් අනන්තය සොයා යන්නට විය.වෙනදාට දකින වටාපිටාව නොව අද මා නෙතු ගැටෙනුයේ...මා නෙතුමානයේ සියළු ජීවී අජීවී වස්තූන් සියල්ල අද නැවුම්ය...පිවිතුරුය..මීටර සියයෙන් සියයට නවත්ව නවත්වා ගාටන බස් රිය පිළිබඳව වෙනදාට දැනෙන නොරිස්සුම අද නොදැනෙන්නේ මන්ද...

"මං එදා ඇහුව දේට තාම උත්තරයක් හොයාගන්න බැරි වුණාද සම්මාණනී.."

කල්යල් බලා මිතුරු සමාගමයෙන් මිඳුණු ඇසිල්ලේ ඇය විමසීමි..
 මොහොතක් විළියෙන් මා දෙස බලා හුන් ඇය මඳ සිනහ පෑවාය...ඉන් දිරිගත් මම හෙමිහිට ඇගේ ඇඟිලි කොණින් අල්ලා ගතිමි..

"කවුරු හරි දකියි අයිය..."

"ඉතින් මගෙ මොකෝ..."

වහා මගෙ ග්‍රහණින් මිඳුණු ඇය සිනහ සළමින් මිතුරියන් හා එක්වුණාය..
වසරක් පුරාවට මනෙතු ඈ හඹාගියද පිළිබඳ සිත ඈ ඉදිරියේ විවර කරගත හැකිවූයේ මේ නොබෝදාය...ඇගේ මනාපය මා හට හිමිව ඇත...

"ඉලිප්සයකට x,y ලක්ෂයෙදී අඳින ලද ස්පර්ශකයේ සමීකරණය කියනව බලන්න සෙත්..! "

"......."

"සෙත් මේ දවස්වල පරාවලයකට ස්පර්ෂකයක් ගහන්න ට්‍රයි කරණවා ස ර්"

"කොල්ලගේ මුහුණෙන් පේන්නෙ නම් ස්පර්ෂකය දැනටම ගහල වගෙයි..."

මුළු පන්තිකාමරයම කොක් හඬළා සිනහසෙයි...මං හෙමිහිට මුහුණ හරවා ඈ දෙස බැළීමි..හොරැහින් මදෙස බලයි..
සිදුවන හැම සංසිද්ධියක්ම නැවුම්ය.අළුත්ය..සුරතෙහි වූ පෑන් තුඩින් මේස ලෑල්ල මත වූ කුරුටු ගී නොලියූ ඉඩ පොඩිත්තක කුළුඳුල් පෙම්වතෙකුගේ ප්‍රාර්ථනාවන් මෙසේ සටහන් කෙළෙමි....

"එකම මඟක පියවර මැණ යන්නයි
එකම බිමක සෙවණැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි..
මඟේ පැතුම ඔබ මට හිමි වෙන්නයි..

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරා වී බැළුම් හෙළා..
හිතේ රැඳුණු පෙම නොමදෙන් රටකට
මඟේ ලොවින් පිට නොයන් පළා..

මඟේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා..
ඔබේ පිනට මතු මගේ ගෙපැළ ලඟ
කුසුම් පිපේවා...පවන් සලා..."



අහන්න.....



සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : පුන්සිරි සොයිසා

Wednesday, June 8, 2011

"මල් හට ගන්නා වසන්තයම නෑ.....හැමදා....."


"මේ සටහන තබන්නට හිතේ තිවුනෙ ගියමාසෙ වෙසක් පොහෝ දිනයේදීමයි...මේ ජාගර හිත ..! හරිම පුදුමයි...ලිපිය සම්පූර්ණ කරන්න දුන්නෙම නෑනෙ..මගෙ හිත මට මෙච්චල් නැහැ...අනේ..බුදු හිමියනි .!මගේ හිත අල්ලල බැඳල තියාගන්න මට හොඳටමවුවමනායි...මං දන්නව...ඒක පුළුවන් නුඹ වහන්සේගේ ධර්මයටම විතරමයි....අනේ..ඒ මඟ යන්න මට ධෛර්‍යය දෙන්න......!"

============================================================

"අනේක ජාති සංසාරං - සද්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්‍ඛා ජාති පුනප්පුනං
ගහ කාරක දිට්ඨෝසි - පුනගේහං නඛාහසී
සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හාණං ඛය මජ්ඣනා "

  "මම නොයෙක් ආත්මයන් තුළ නැවත නැවත ඉපදෙමින් ගමන් කළෙමි. නැවත නැවත ඉපදෙන මේ තණ්හාව නැමැති ගෙය සාදන වඩුවා  සොයාගත්තෙමි..එම්බා වඩුව..! මම නුඹ පරාජය කළෙමි..."

============================================================

තණ්හා ආශා...
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ......
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා........

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා.....
අප යන මේ ගමනේ
තණ්හා ආශා.........

අඳුරෙන් ගැලවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ.....
අප හැම වල්මත් වී
තණ්හා ආශා........

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා.....
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා..
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා...


=========================================================

මම් මගේ හිත විවර කරන්නට සිතුවෙමි...ඒ වෙන යමක් නිසාම නොව, මේ බඹයක් තරම් වූ කුණුපය නිවස්නය කරගෙන "මම"ය කියනා නාමරූපය මා පරීක්ෂාකරන්නට යන සැටියෙක් පෙනෙන නිසාවෙනි...මේ පඨවි..ආපෝ..තේජෝ...වායෝ..යන සතරමහා භූතයෝ අල්ලා බැඳ ගත් මේ අද්භූත සිත තේරුම් ගන්නට මට වුවමනාය...විටෙක ආශාව..විටෙක තණ්හාව...විටෙක රාගය..මා පෙළයි...කෙසේවතුදු  එක් කාරනයක් මා පැහැදිලිව දකිමි...මේ සැපය..සැපය..යි මා ඇද බැඳ ගන්නා සියළු දේ අවසන "දුක" පවතින බවය..මා උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධකොටගෙන ඇතැයි ඔබට හැඟේ නම් මා එය නිවැරදි කළ යුතුම වේ..අහෝ..!අඩුම තරමේ මා ඒ උතුම් සැපය සොයායන්නාවූ මඟට පිළිපන්නෙක්දැ'යි මා තුළ සැකයකි..
මා ඉහතින් සඳහන් කළ උදාන වාක්‍යය ගෞතම බුදුන් වහන්සේ විසින් දේශණාකොට හරියටම වසර දෙදහස් හයසියයක් ගත වීත් ..මා අඳුරේ ..සසරේ ගමන් කොට ඇත..අහෝ..උන්වහන්සේගේ එක් ධර්ම මාත්‍රයක් සැබවින්ම වටහා ගත්තේ නම් මේ සසර ගමන නවතාලිය හැකි බැවි දනිමි...මේ මනුස්ස ආත්මභාවයේදී ක්ෂන සම්පත්තිය,කලණ මිතු ඇසුර ලද්දීත් මා තවමත් අඳුරේ බව ලජ්ජාවෙන් කියමි...අනේ හිමියණි...මගේ හිතේ පැලපදියම් වූ මේ තණ්හාව,ආශාව පොදිය බිම තියන්නට මට ධෛර්‍යය දෙන්න...!

=====================================================
අහන්න....

සොඳුරු ගේය පද සිත්තම : ...................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : සුනිල් එදිරිසිංහ

Tuesday, May 10, 2011

"කියාදෙන්න මට මා හැර ගිය හැටි...තාමත් ඒ ගැන දන්නෑ මං........"

ලද ඉසිඹුවේ නුවර වීදි පුරා අරමුණකින් තොරව ඇවිද යාම වූ කලී මගේ ජීවිතයට එකතුවූ අළුත්ම විනෝදාංශයයි..කෙසේවතුදු එකක් කියමි..අගනුවරුන් මෙන් නොව නුවරු රූකඩයෝ නොවෙත්.....

==============================================================
සොඳුරු සිත්තම ගත්තේ..www.fionasansom.com

පේරාදෙණිය දුම් රියපලට මල්වත්ත ඇස නොගැටී යාගතහැකි ඉසව්වක් සොයමින්  හුන් තැනම කොපමන වේලාවක් සිටියේදැයි නිනව් නොවේ....බදුල්ලේ සිට කොළඹ බලා දිවෙන දුම් රිය පේරාදෙණිය නැවතුමට තව මිනිත්තු කිහිපයකින් ලඟා වෙනු ඇත..දෙවරක් නොසිතාම පැණිදෙණිය බසයට නැග හිස්ව තිබූ අසුනකට බරව දෙනෙත් තදින් පියාගතිමි..බැරි වෙලාවත් මල්වත්තට පිවිසෙන ද්වාරය නෙත ගැටුණහොත් අපේ මතකය ඇවිස්සෙනව කියල මන් දන්නව දන්ත..

"මිස් කොහාටද ටිකට් එක..."

මේ මනුස්සයා මුදල් ඉල්ලුවේ හරියටම මල්වත්ත පේන මානයේදී...හිත මොහොතක් නැවතුනා...ද්වාරය මගේ ඇස් මානයේ...දැන් ඉතින් මගේ හිතිවිළි නුඹ මා ගෙවූ අතීතය සොය සොයා ඇවිදින එක මන් නවත්වගන්නෙ කොහොමද??..
මතකද..ඔයා කැමතිම තැන...අර වැල්පාලම ලඟ බංකුව...මමත් එතන ආසකලා...මහවැලි ගං දෑළ අපූරුවට එතෙන්ට පේනව..වැහි බීරුමත් එක්ක සසල වුණු ඒ අළුපාට හැන්දැවල් කීයක්...මට ආසයි ආයෙත් එතන ඉඳගෙන අර දුවන වැස්සෙ තෙමෙන්න..දොඹගෙඩි තරම් වැහි බිංදු ජලතලයෙ තෙරපිලා නොපෙනී යනවා බලන්න..

"රේණු ඔයා තෙමෙනවනෙ  දරුවෝ.."
"ඉතිං මං විතරක්යැ.."
"එහෙනම් ඔන්නඔහෙ දෙන්නම තෙමෙමු.."
මං හෙමිහිට ඔය උරහිසට වාරුවෙනව..
මතකද.."අර රන් පාට සමනළයො...."
"කෝ..කොහෙද..??"
"ඇයි අනේ..අර..අර..පඳුර වටේට ඉන්නෙ..."

ඔයා මගෙ මූන දිහා ටිකක් පුදුමෙන් බලාන හිටිය..මං දැනගත්ත මගෙ වචනයක් අල්ලගත්ත කියල...

"අනෙ මන්ද...මට බඳින්න වෙන්නෙ වර්ණ අන්ධතාවය තියෙන කෙල්ලෙක් වගෙයි..හොඳවෙලාවට වට පිටාවෙ කවුරුත් නැත්තෙ.."
".........."
"ඇයි මෝඩියෙ ඒ කහපාට සමනල්ලු රෑණක්නෙ.."

ඔව් දන්ත...මං ඔයාගෙ ආදරය ඉදිරියේ මෝඩයෙක් නම් තමයි..මං මෝඩ විදිහට ඔයාට ආදරය කළා..ඔයා මගෙන් ඈත්වුනේ හේතුවක් නොදීම...මොකද්ද හේතුව කියල මං අපේ අතිත මතක පිටු අතර තාමත් හොයනව...මං අතරමං වෙලා..
අනේ එකපාරක් කියන්න මාව අමතක කරන්න හේතුව..

oooooooOoooooooOoooooooOoooooo



සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........

කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........

අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......

රන් පාට දැවටිච්ච තුරුවදුළ මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..
මං උඹේ හිත ලඟම උණුහුමට ගුලි වෙච්ච
මල් සමය නිමවුණිද මට කියන්...

අහන්න....


සොඳුරු ගේය පද සිත්තම : .නිලාර්.එම්.කාසීම්
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : නිරෝෂා විරාජිණී

Thursday, April 21, 2011

"අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ....."

පින්තූරය ගත්තේ...www.jonschueler.comgalleryrain.html.

'අනෝරා වැස්ස...දහවලේ පටන්ගත්තු වරුසාව එක දිගටම පැය තුනක් හතරක්...එක විදිහටම...පරිඝණක තිරය මත රැඳුණු නෙතු ලද ඉසිඹුවේ කවුළුවෙන් එපිට හොයාන දුවනව...මේ මම් හෙව්ව ජීවිතයද???ඔව්..වසර ගණනාවකට පස්සෙ මට ජීවත්වෙනව කියල හැඟෙනව..දැනෙනව...හීනයක්වුණු ජීවිතය හැබෑවටම විඳිනව...සෙංකඩගල වැස්ස...කාර්යාලයෙන් එලියට බැහැල වැස්සෙම නවාතැනට ආවා...මිනිස්සු හිතනවද දන්නෑ මට පිස්සුයි කියල...ඒත් මම් මේ වෙනසට කැමතියි...මට එක උදව්වක් කරණවද??..දවස එක තැන නතරකරළ දෙන්න..!'

ooooooooooooOoooooooooooooOooooooooooooo

අදම රැකියාවට වහාම වාර්ථාකරන්නැයි දන්වමින් එවූ විදුලි පණිවිඩය ලැබෙන විට මම් හිටියෙ දෙලොවක් අතර...ඇයි දෙයියනේ..මට ආයෙත් පරණ මතකයන් අතරට යන්න වෙනවට මගේ හිතේ තිවුනෙ දෙගිඩියාවක්..කෝකටත් මගේ හිතේ ශක්තිය මැන ගන්න මට උවමනා වෙලා තිවුණ.
නගරාන්තර දුම් රියේ තෙවන පන්තියේ මැදිරියක කවුළුව අසළම වූ අසුනක මගේ පංචස්කන්ධය සිරකොට තිබුනද සිත නම් දොඩමළු වන්නට සැරසෙන බැව් හැඟී ගියෙන් මා පසුකර ඈතට දිවෙන සියලු සචේතණික,අචේතණික රූපකායන් කෙරෙහි හඹායන්නට වෙහෙසුණෙමි..නමුදු මා දසුනට හසු වූ "සරසවි උයන" දුම්රිය නැවතුම ඒ සියළු උත්සාහයන් නිරර්ථක කොට අතීත මතකයන් මා අභිමුව මවන්නට වූයේ ගතද වෙව්ළුවා තබමිනි.
ඔව්..හරියටම වසර හතකට පසුවද මා පය තැබූ නුවර දුම්රියපල බිඳුවකුදු නෙවෙනස්ව පවතී..බිහි දොරටුව අසල වූ කාකි ඇඳුම ඇඳගත් ප්‍රවේශපත් එකතුකරන්නාට ප්‍රවේශපත දී හණික පිටවුණෙමි..මේ අහම්ඹයක්ද???..නුවර අහසද එසේමැයි..සෙංකඩගල අහස ගැබ්බරව මගේ හද මඬලද සුසුමින් පුරවාළුයේයැ...
අරමුණක් නොවූ මගේ දෙපා දළදා වීදිය දිගේ ඇදුණේ කලබල වූ හදවත දළදාහිමිගෙන් සහනයක් බලා පොරොත්තුවෙන්ද නැත හොත් හිතේ අඳුරු මුල්ලකට තබා සඟවා අගුළු දමා තිබූ ඈ ගැන මතකයන් අවදි කර වේදනාත්මක සතුටක් විඳ ගැනීමටදැයි පැහැදිළි අදහසක් මා සතුව නොවිණි.එක් උරහිසක එල්ලෙන ගමන් මල්ලත් අනෙක් උරහිසෙහි වාරු වී එන මගේ සගයා ජංගම පරිඝනකයත් අපහසුවෙන් දරාගෙන වළාකුළු බැම්මට වාරු දුණිමි.වැවට පිටුපා බැම්මට වාරු දුන්නේ මන්දැයි මා සිතන්නට වීමි..හැබවින්ම මේ සුන්දර ජල තලය මට බොහෝ දේවල් මතක්කර දෙනවා නේත්‍රා..
 ගැබ්බර වූ අහස අපහසුවෙන් දරා සිටි වරුෂාව නම් වූ දරුවා වදන්නට යන සෙයකි..සුසුමක් හෙළුනේ මා වෙනුවෙන්ද එසේත් නැත්නම් ඈවෙනුවෙන්දැයි නොදනිමි...

"මහී..."
"හ්ම්.."
"හෙටින් පස්සෙ මං ඔයාව නොදැක ඉන්නෙ කොහොමද කියන්න..."
"ඔයාට මතකද අර බංකුව...අපි මුලින්ම හමුවුණ දවස..අවුරුදු හතරක්ම ගෙවුණ...ඒත් බංකුව එහෙමමයි...ඒ වගේමයි..මගෙ ආදරෙත්..."
"මට විශ්වාසයි..ඒත්..!"

ඔව් නේත්‍රාංජලී..මට ඔයාගෙ ආදරේ වෙනසක් වෙතැයි නිකමටවත් හිතුනෙ නැහැනෙ..ඒත් ඒක එහෙම වෙලා තිබුන..
වැස්ස පටන්ගැන්මෙන්ම මහවරුසාවකට අරාඳින බැව් හැඟුනෙන් නුවරු කලබළ වී ආවරණ සොයමින් එකිනෙකා පරයමින් දුවයනු මා නෙතට හසුවුවද මගේ සෝමාරි හිත මගේ පංචස්කන්ධය බිඳකදු නොසොල්වන්නට වග බලා ගත්තේය..එහෙත් වැඩි වෙලාවක් එසේ සංවරව හිඳීමට නොහැකි වූයේ දොඹගෙඩි තරම් වූ වැහි බිඳු එකිනෙක පාත් වෙන්නට වූ පසුවය..මේ සෙංකඩගල වරුසාවට තෙමෙන්නට මා සිතේ වූ අපරිමිත ආශාව යටපත් කොටගෙන කරට වාරු දී නිසොල්මනේ වූ මගේ ගමන් සගයාගේ ආරක්ෂාව පතා පාර පැන්නෙමි...නමුදු..
මා මෙනුවරට අද පා තැබූ මොහොතේ සිටම වූ සියළු සිද්ධි දාමයන් අහම්ඹයන් වූවායැයි කොහේ හෝ තැනක මා ඔබට පැවසුවායැයි මතක තියේ..මගේ අපරික්ෂාකාරී පාරමාරුව හමුවේ වේගයෙන් ඇදී ආ මෝටර් රථය තිරිංග තදකළෙන් මාහට ත්වත් ජීවත් වීමේ වාසනාව තිබුණු බව හැඟුණි..

"ඒයි බූරුවා...!

මමද බූරුවෙකු සේ යටහත් නියාවෙන් රථය දෙස බැලීමි..
රියැදුරු අසුනට යාබද අසුනේ ඈ උන්නාය...

"දෙනේත්‍රා...!"

මුවින් නොබිනූ මම අසුරු සැනින් ඉගිල්ලුණු මෝටෝ රිය හඹමින් ඈ සෙව්වෙමි...
එකෝමත් එක දවසක මෙවැනිම වූ දිනක මා අසලින් උරහිසට වාරු දී ඇගේ මල් කුඩයේ සැඟවෙමින් මේ දළදා වීදියේම් ගමන් කළ ඇය..මා දෙ අතක වෙනු බලා දෙනෙතට ඉනූ කඳුළු කැට වැහි දියෙන් සේදෙනුවස් හෙමි හෙමින් ගුඩ් ෂෙඩ් බස් නැවතුම කරා පියනගන්නට වීමි....

oooooooOoooooooOoooooooooOoooooooo

 
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ...
උඩ ඉගිළෙන විට වැහිලේනී....
එබී බලා..රිය කවුළු දොරින්..යටගිය දවසේ..
දෑස ගියා..ඉගිලී.......

අඳුරු වලා..සෙංකඩගල වැස්සේ...
දිය දහරා..පාටයි දේදුන්නේ...
තෙමී..තෙමී...ආදර මධු වැස්සේ..ගිය දෙදෙනා..
අද යනවා දෙමංසලේ..

රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී..
නහවයි මා..රිය සක මඬවතුරේ...
නෑ හිත රිදුණේ..අදත් එදා සිහි වී..
අපේ සබඳ කම් නෑ රියසක දන්නේ...

අහන්න.....


Monday, April 4, 2011

"අවසර දෙනුමැන ඇගෙ අත ගන්නට සළකා අභියාචනය මගේ.......!"



"බොහෝ දෙන කලහ ශබ්දය අසා රැස් වූහ.මහ බෝසතාණන්වහන්සේ, "මේ කුමන අරගලයක්දැ'යි විචාරා,උන් දෙන්නාම ගෙන්වා දෙන්නාගෙන් ඔවුනොවුනට කියන බස් අසා,'මා කී යුක්තියෙහි සිටිවු දැයි කියා 'සිටුම්හ'යි කී කල්හි,පලමු කොට දික්පිටියා බණවා,ට්"හෝ කිනම්දැ'යි විචාළ සේක.'දික්පිටියා නමි ස්වාමීනි' කීය.'අඹුවන් ගේ නම කිම්දැ'යි විචාළ සේක.ඇගේ නම නොදන්නේ අනෙක් නමක් කීය.'තාගේ මෑණියෝ පියාණෝ කිනම්මුදැ'යි විචාළ සේක.'මේ මේ නමැ'යි කීය.'තාගේ අඹුවන් ගේ මැණියෝ පියාණෝ කිනම්මුදැ' යි විචාළ සේක.ඒ නොදැන අනෙක් නමක් කීය.ඉක්බිත්තෙන්  ඔහු ගේ බස් සහායෙහි උන්නවුන් ගිවිස්වා ඔහු එතැනින් පිටත් කරවා කාල ගෝළයා ගෙන්වා පෙර පරිද්දෙන් ම හැම දෙනාගේ ම නම් විචාල සේක.ඒ වූ පරිද්දෙන් ම දන්නේ නො වරදවා ම කීය.ඔහු ද එතැනින් පිටත් කරවා ,දික්තලා ගෙන්වා,'තෝ කිනම්දැ 'යි විචාළ සේක.ඕ,මම ස්වාමීනි,දික්තල නමි' යි කිව.'තිගේ සැමියා කිනම් දැ' යි විචාළ සේක.ඕ සොර සැමියාගේ නම නොදන්නී අනෙක් නමක් කිව.'තිගේ මෑණියෝ පියාණෝ කිනම්මුදැ' යිවිචාල සේක.'ස්වාමීනි අසවල් නම්මු යැ' යි කිව.'තිගේ සැමියාගේ මවුපිය දෙන්නා කිනම්දැ'යි විචාළ සේක.ඕ නන් දොඩන එකක  මෙන් අනෙකක් කිව.මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ දික්පිටියා හා කාළ ගෝළයා හා දෙන්නා ගෙන්වාගෙන 'මෑගේ බස් දික්පිටියාගේ බස් හා සමද;කාළ ගෝළයා ගේ බස් හා සම දැ'යි බොහෝදෙනා විචාළ සේක.හැම දෙනම 'පණ්ඩිතයන් වහන්ස, කාළගෝළයා ගේ බස් හා සම හැ'යි කීහ.ඉක්බිති,මේ කාළ ගෝළයා මැගේ සැමියාය. දික්පිටියා සොර සැමියා යැයි කියා, ඔහු විචාරා සොර සැමියා නියාව ගිවිස්වූ සේක.

        -උපුටා ගැනීම "උම්මග්ග ජාතකය"මාහැඟි ගද්‍යය කාව්‍යයේ එන "කාළගෝළ ප්‍රශ්ණය" ඇසුරිණි...

ooooooo0ooooooo0ooooooo0ooooooooo0ooooooo

අභියාචණයයි.....!

"සකළ සිරින් සිරි මේ ජම්බුද්වීපයේ..කේතුමතී රජදහනට සමවූද..මිහිබට තව්තිසා රජදහනකට සමවූද සියළු ධන ධාන්‍යයෙන් ආඩ්‍යවූ...මේ මියුළු නුවර කරවන මහා තේජෝබල පරාක්‍රමයෙන් සිහසුන් දරා සිටින්නාවූද..බ්‍රහ්ම දත්ත කුලයෙන් පැවැත එන්නාවූද..සේනකය..කාවින්දය..දේවින්දය..පුක්කුසය නම් ලද්දා වූ සිව් මහා පඬියන්ගෙන් රැකවරණ ලබන්නාවූද මහා වේදේහ මහා රාජෝත්තමයාණන් වහන්ස... මේ බලුගැත්තාට අනුකම්පාවෙන් මේ මාගේ අභියාචණය සළකා බලණු මැනැවී...!
"ප්‍රේමය" නම් මෙයයැයි නොදන්නා අසුවල් නියම් ගමෙහි යුක්තිය පසිඳළන්නාවූ මහෞෂධ නම් වූ ළදරු පඬියෙක් මා හද බැඳි මේ දික්තල නම් වූ රුසිරු ළඳ මොනයම්ම වූ රූප සම්පත්තියක් නොමැති මේ කාලගෝලයාටම සස්වාමිකය'යැයි පසිඳලන ලද්දේය... අහෝ.."දික්තල" වෙනුවෙන් මා හදතුල මැවුණු ප්‍රේම මාළිගා බිමට සමතලා වෙනු බලා මාගෙහි නෙතු අඳව..ඇගේ කර්ණ රසායන කට හඬ නොඅසා දෙසාවන් බිහිරිව.. ඇගේ වාත්තුකළාක්වන්වූ රූ සපුවෙන් හමා එන රස නහර පිනවන පුසුඹ නොදැනෙන්නට දෙනාස් පුඩු නොවිවරව මා මියෑදෙන්නට පෙරාතුව මාගේ මේ "අභියාචණය" සළකා බලා ..දෙයියෝ බුදුවන්න...ඈ මට හිමිකර දෙන මෙන් උතුමානන්වහන්සේගේ දෙපා නැමැද, භය බෝයි..ස්වාමීණි..."දික්පිටියා" නම් වූ බළුගැත්තරයා මේ අභියාචනයෙන් අ‍යැද  සිටී.....!   

oooooooo0ooooooo0oooooooo0ooooooo0oooooooo


අභියාචනයක් පිළිගන්වන්නට අවසර බඹදත් මහරජුනේ..
දික්තලාගෙ හද දිනු දික් පිටියා ..මමවෙමි බඹදත් මහරජුනේ...

කාළගෝල බැලමෙහෙවර කෙරුවට ඇය නැත ඔහු වෙත පෙම් බැන්ඳේ..
රහසේ ඇය මට බහ දුන් හින්ඳයි ඔහු හැර යන්නට එකඟ උනේ..
මුළාකිරීමක් පැහැර ගැනීමක් කර නැත මා නම් මහ රජුනේ..

අභියාචනයක්..!

යුක්තිය පසිඳන ඔබෙ මහ පඬිවරු හඳුනන්නේ නැත පෙමක අගේ..
සත්වසරක් තුළ ඔහු කළ මෙහෙයට දෙන්නම් මුළු සේසතම මගේ..
අවසර දෙනුමැන ඇගෙ අත ගන්නට සළකා අභියාචනය මගේ..

අභියාචනයක්...




සොඳුරු ගේය පද සිත්තම : .....................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : විකටර් රත්නායක