Tuesday, February 15, 2011

ඇය මටද ආදරෙයි කියා තිබේ....!

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ.....

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ.....

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය

මටද ආදරෙයි කියා තිබේ....


සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ.......


ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ.....

-----------------------------------------------------------------------------------------------------
"සැබවින්ම මා කුහක ප්‍රේමවන්තයෙක් දැ"යි තීරණය කිරීමට පෙර මෙම පාපොච්චාරණය අවසානයවනතෙක් කියවන ලෙස අයැද සිටිමි..


නිදිනැති රැය පුරාවට බොඳවූ දෙනෙතින් අකුරු එකිනෙක අමුණා ආයාසයෙන් ලියන ලද ලිපිය මා සුරතෙහි පරක් වෙනුයේ කුමන පැයේ සිටදැයි නිනව් නොවේ.හතරට නවන ලද සුදුපාට තනිරූල් කොළයේ දාර ඇඟිලිතුඩු මඟින් පිරිමඳින නිමේෂයේම මගේ සිත අතීතයේ නටඹුන් අතර සැරිසරණු දැනේ...ඊයේදිනයේදී රඟහලේ, කාලයක් ඇයට මෙමට හුරුපුරුදු වූ අඳුරු කෙළවර වූ අසුනට වාරුදී වේදිකාව මත දිග හැරෙන නූර්තියට වසඟ වී සිටියෙමි..රඟමඬල නිශ්චල වී රඟහල  ආලෝකමත් වූ මොහොතේ කාලයක් මා ආයාසයෙන් යටපත් කළ තුවාලයක් නැවත පෑරෙනු ඇතැයි නොසිතුවෙමි...සැබැවින්ම ඇයගේ මගේ සොඳුරු අතීතයක් වලදමා තිබූ මේ රඟහලේදීම "ඇය ඇගේ අළුත් පෙම්වතා" සමඟ වෙලී සිටිණු දුටුයෙමි.
"සචී"
"හ්ම්"
"මනමේ කුමාරි ඇයි කුමාරයාට කඩුව නොදුන්නෙ??"
"කුමාරයා සුකුමාලයි,වැද්දා හැඩිදැඩියි...ගැහැණු හිත් කැමතියි රළු පහසට..සංසර්ගයේදී පිරිමියාට වඩා ගැහැණියට තෘප්තිමත් වෙන්න වැඩි කාළයක් ගන්නා බව ජීව විද්‍යාත්මක සත්‍යතාවයක්.."
"නැහැ වැරදියි අනේ..!"
"...."
"ගැහැණියට නිතරම රැකවරණය ඕනෑ...ඉතින් වනාන්තරය තුලදි වැඩියෙන්ම රැකවරණය තිව්නෙ වැදි රජතුමා ගාව...කුමරියගෙ ඒ තීරණය වැරදි නැහැ.."
"අපූරු අර්ථ කථනය...දවසක ඔයත් ඔය තියරියම දාල මාව අතෑරලා යයිද කවුද දන්නෙ.."
"ඇයි අනේ..මම කිව්වෙ මනමේ කුමාරිය වැරදි නැහැ කියල විතරයි..."
මගේ උරහිසට වාරු වෙමින් එදා ඈ කී වදන් පෙළ සිහි වී අමුතු තිගැස්මක් හද තුළ ඇතිවී ගියේය.ඈ ඉදිරියේ මා පරාද වූයෙම්ද???
ඔහුට තුරුළුව ඈ ඊයේදිනයේදීද සිටියේ ඒ අයුරින්මයයැයි මට සිහියට නඟාගත හැක.ඔවුනට ලංව හොර රහසේ සවන්දීමේ උවමනාවක් මගේ හදවතේ ඇති වී නැති වී ගියේ හුදෙක් මනුෂ්‍යය සන්තානයට හිමි ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ල නිසාමය.මෙමට අවැසි වූයේ ඇය මුමුණන්නේ එදා ඈ මාහා දෙඩූ වන්දමැයි දැන ගැනීමටය.
එදා වැල්ලවත්ට මුහුදු වෙරළේදී අපගේ අවසන් හමුවීමේදී ඇ කිවූ අන්දමට අපගේ නොගැලපීම් එකිනෙක ගෙන විග්‍රහ කොට බැලීමට සිත්වූයේ මන්දැයි මම නොදනිමි.ඒ මා ඇයට තාමත් ප්‍රේමකරන නිසාවෙන්ද නැතහොත් ඇය තුරුළු වී හුන් තරුණයා කෙරෙහි වූ ඊර්ෂ්‍යාවෙන්දැයි නොදනිමි.
අප බැඳීමෙහි නොගැළපීම් සොයන්නට වූයේ අපගේ අවසන් හමුවීමට මාස කීපයක සිට බැව් මාහට දැනීගිය කාරනයක් වූයේමැයි.
"නිම්නි.. ඇයි ඔයා මගේ ප්‍රශ්ණෙන් මඟහරින්නෙ..??"
"ඔයාට තේරෙන්නෙ නැහෑ සචී..මට තියෙන ප්‍රශ්න..අම්මල මාව දේවකට තීන්දු කරල...එහෙන් අයිය මාව සැක කරණවා..මම හැරුනත් වැරදියි..ලබන මාසෙ දේවක ලංකාවට එනවළු..ඉක්මනින් වෙඩින් එක ගන්න ඕනෑලු.."
"ඉතින් ඔය ප්‍රශ්ණ කලින් ඉඳල තිබුන ඒවානෙ නිම්..දැන් ඔයාට ඒවා මහ ලොකු ප්‍රශ්ණ විදිහට පේන්නෙ මාව මඟහරින්න ඕනෙ නිසාද???"
"ඔයාට ඕන කෙහෙල්මලක් හිතාගන්න..සචී..මම් මෙච්චරයි දන්නෙ..මට ..මේක දැන්..."
"ඉතිං කියන්න නිම්නි...මම අහගෙන ඉන්නෙ...ඇයි නැවැත්වුවේ..ඔයාට මාව දැන් මදියි කියල තේරෙනවනම් ඔයාට යන්න පුළුවන්..."
"ඔව් ..සචී අපි වෙන්වෙමු..!"
අවසන ඇය අවසන් තීරණයට එළඹ තිබුණාය...
වසර හතරක ඇසුරකට පසු ඇයට මා නොගැලපෙන සහකරුවෙකුය යැයි දැනී තිබුණි.ජීවනගමනේ අවසානය තෙක් කුමණ ගැටළු පැමිණියද එක්ව මුහුණ දෙමුයි පැවසූ ඇයම මා අතරමංකොට පලා ගියාය.ඇයගේ අභිනික්මනට හේතු සොයමින් මම් පසුගිය කාළපරිච්චේදය පුරාවට අප කළ කී දෑ පිළිබඳ එකින් එක ගෙන විමසා බැලිමි...නමුදු සාධාරණ හේතුවක් සොයාගත නුහුණු තැන නොකැමැත්තෙන් වුවද ඈ "චපල එකියකියි" සමාජය ඉදිරියේ කීමි.ඊයේ දුටු දසුන නිසාවෙන් නිදන්ගතව පැවති මතකයන් අළුත් වීම කරණකොටගෙන හද තුළ ඇතිවුණු නොහිම් ශෝකය පලවාහරිනු වස් මේ මා අත වූ ලිපිය ලීවෙමි..එය කාහටද,කුමක් සඳහාදැයි නුඹට කිවයුතු නොවන බව දණිමි..ඉදින් මා "කුහක ප්‍රේමවන්තයෙකු"යි නුඹ තීරණය කළද ඈ ගැන මෙසේ හෙළිදරව් කිරීමෙන් කුරිරු සතුටක් ලබමි..එය සැනසීමකියි ඔද්දල් වූ සිත හඬගා තෙපළු බැවිණි..

ඉදින් මා ප්‍රේමය ඉදිරියේ "කුහකයෙකු" වීමි.

මෙය නැවත පළකිරීමකි.

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : ගුණදාස කපුගේ