Tuesday, November 30, 2010

"මා හඳුණන මගෙ හිත ගත් කළණිය........ මට නුදුරුයි ..සුරඟනට වඩා..."

මේ තාක් මා මගේ දෙමාපියන්ට අකීකරු වී නැත්තෙමි..නමුදු මගේ ජීවිතයේ වැදගත්ම තීන්දුවක් ගැනීමට නිදහස මා සතුව ඇතැයි මා විශ්වාස කරමි..

"පුතේ...ගැහැණු ළමය ගැන මොකද කියන්නෙ..??"

ලොකු මාමා සුවපහසු කාරයේ ඉදිරිපස අසුනට බරදී අප පසුකර යන සචේතණික අචේතණික වස්තූන් කෙරෙහි හිස් බැල්මෙන් බලාහුන් මාගේ දැහැන බිඳිමින් විමසයි...

"ම්..ම්... ළමයද..ලස්සනයි..සුරංගනාවියක් වගේ..."සැබවින්ම මා පැවසුවේ මුසාවක්නම් නොවේ..ඇය වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම රූපත් එකියකි..පිරිමින් වසඟකරවන රූ සපුවක් ඇත්තීය.

මගේ ඒ හැඳින් වීම පිළිබඳව වැරදි ලෙස වටහා ගත් ලොකුමාමා මනාළියගේ පාර්ශවයේ පට්ටන්දරය දිගහරින්න ගත්තේය..

"බොහොම පොහොසත් පවුලක්නෙ පුතේ..ඔය සප්ත මහා සාගරය වගේ තියෙන ගෙදරත් ඒ ළමයටළු..අයියලා දෙන්නා ඔස්ට්‍රේලියාවල කියන්නේ...මේවල පදිංචිවෙන්න එයැයිල ආපහු එන්නෙ නැහැකියන්නෙ...ඉතිං මහ උන්දැලෑ සියළු සබ්බ සකළමනාවම ඔය දෝණියැන්දැට තමයි..."
"හ්ම් ..ඇත්තටම මාමේ ඔයගෙදරට ගෑණු එක්කෙනෙක් මදිවෙයි නේද??..බහුභාර්‍යා විවාහයකට ඔය ඇත්ති කැමතිවෙයි ද දන්නෙ නැහැ.." සිනහ නොවීම බැරෑරුම් මුහුණක් ආරූඩ කරගනිමින්ම පැවැසූයෙමි..

"ලොකු පුතා මාව විහිළුවකට ගත්ත එහෙමයි..???"

"අනෙ නැහැ මාමෙ...මං එදත් අදත් කියන්නෙ..ඔය කුමාරිහාමිලාට වැඩිය මට මගේ මංජරී වටිනව...මමයි විවාහ වෙන්නෙ..මට කැමති කෙනෙක් එක්ක ඉදිරි ජීවිතේ ගොඩනගාගන්න බැරිනම් මොකටද මාමේ..හිතේ සන්තෝසෙ නැතිව කොච්චර සැප සම්පත් තිබුණත් මොකටද??.."

"ඒ වුනාට පුතේ ඔය වෙලේ ගෙදර එව්වන්ට..."
ඇති..ඇති මාමෙ...මාමට පුළුවන්නම් අපේ තාත්තලාට කියන්න මේ විදිහට මට කරදර කරන්න එපාය කියලා...මං කවදහරි කසාද බඳින්නෙ මංජරීවම විතරයි කියන්න.."

අනතුරුව අප අතර කිසිදු කතාබහක් නොවූයෙන් සුපුරුදු හුදෙකලාවම හිත වෙලාගනු දැණුනි...නිතැතින්ම "ඇය" මගේ හදවත තුල විජරාමාණවනුයේ මෙවන් අවස්ථාවලදීය.

"පුෂ්ප..ඇයි ඔඅයා මෙච්චරම මට ආදරේ..??"
"මලකටයි මංජරියකටයි වෙනෙවෙනම ජීවත්වුනහැකිද මංජරී.."

මා ඇයට ඇළුම් කලේ ඇයගේ බාහිර පෙනුමටවත්..ඈ දුප්පත් එකියක් වූ නිසාවෙන්වත් සාම්ප්‍රදායික පෙම්වතාගේ චරිතයට පන පොවන්නට වූ ආශාව නිසාවෙන්වත් නොවන බව දනිමි...මා අගය කරණ බොහෝ ගතිගුණ ඈ තුළින් ප්‍රකට වූ නිසාවෙනි..

අපගේ සම්බන්ධය ගෙදරට සැළවූ දින සහෝදරිය කියූ කියමනක් අදද මගේ දෙසවන් තුළ රැව්පිළිරැව් දේ..

"මල්ලියේ උඹගෙ පෙනුමටවත්..පාරෙ එක්කන් යන්න පුළුවන් එකියක් හොයාගනින්කො බං.. "
"මගෙන් මොකුත් නාහ හිටපන් අක්කේ..පොත්තෙ ලස්සනට රැවටිලා දැන දැනම අපාගත වෙන්න මට බැහැ..උඹ හිතාන් ඉන්නව වගේ අර උඩැක්කිය කරේ එල්ලගෙන ඉන්නවට වැඩිය හොඳයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පයිනවා මං මංජරීට කැමැත් ඒකි මට ගැලපෙන නිසා...අනෙක් අයට නොගැලපීම් පෙණුනට මට කමක් නැහැ.."

නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවණින් දෙණුවන් රවටා..
මා පෙම්කළ ජනපද කල්‍යාණිට ..හිමියනි මට කළ නොහැක නිගා..


සුරඟන රූ සිරු..තුටිනි හැඳින්නෙමි..සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා..
මා හඳුණන මගෙ හිත ගත් කළණිය..මට නුදුරුයි ..සුරඟනට වඩා...


මා සිත සුවපත් කරලණු නොහැකිය ..සෝ ළතැවුල් දෙයි රැයද දිවා..
නෙත දුටු සුරඟන රූ සිරු කුමටද හද දිණු ජනපද කළණ නිසා..

වාහනයේ වූ රේඩියෝවෙන් හදිසියේම සවනට වැකුණු ඒ මාදුර්‍යය වූ ගීතය මගේ ආදරයට බද්ධ වූයේ යැයි හදිසියේම සිතුණි..
හැබවින්ම නන්ද තෙරණුවෝ ජනපද කල්‍යාණිය සුරංගනාවන්ට සාපේක්ෂව අළුත් ගිණි ලෑ හේනක දැළි තවරාගත් වැඳිරියකට උපමාකොට බුදුරදුන් දෙසූ දම් නිසාවෙන් සසර කතරින් එතෙර වූවද..මම් හිත දියුණු කොටගත් තැනැත්තෙක් නොවෙමි...මගේ හිතගත් ප්‍රියාවිය මට අගනේය...ඉදින් දෙමාපියන්..හිතවතුන් කෙළෙස කීවද ඇය මට සුරංගනාවියකි..
රියැදුරු අසුනේ සිටින මාමාට ඇසෙන්නට ගීතයේ අවසන් පැදි..බර කොට ගයමි...ඔහු කපටි සිනහවෙන් මාදෙස බලනු පෙනේ...
 "නෙත දුටු සුරඟන රූ සිරු කුමටද හද දිණු ජනපද කළණ නිසා.."


සොඳුරු ගේය පද සිත්තම : ..........................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : සෝමතිලක ජයමහ

Friday, November 26, 2010

"වෙන අඟනන් කුමට සුර'ඹ ගෙහි සිටින මට...."

ඇය මාගේ නෙත ගැටෙන විට සුපිරි වෙළඳ සංකීර්ණයේ එකිනෙකට සමාන්තරව ඉහලට සහ පහලට දිවෙන විදුළි පඩිපෙලෙහි ගමන් කරමින් සිටියෙමි.කතාකරණ නෙතු අග සරාගී බැල්මෙන් මා දෙස බැලූ ඇය තවමත් තුරුණුවියේ පසුවන මාගේ පූර්ණ අවධානය ඈ කෙරෙහි යොමුකරගන්නට සමත්විය.
නැගෙනහිර ආසියාතික සම්භවයක් සහිත එකියක් යැයි සිතිය හැකි ඇය උසට සරිලන මහතින් හා මනාව වැඩුණු ස්ත්‍රී ලාලිත්‍යයෙන් හෙබි පිරිපුන් අඟ පසඟවලින් සමන්විත වූවාය.ඇගේ දසුනින් මෝහනය වූ මා ඈ පසුපසින් වැටුණෙමි. අගනා, ඔපමට්ටම් කළ මාබල් ඇතිරූ පොළව මතින් සීරුවෙන් පා තබමින් "ටොක් ටොක්" යන අනුකරණයෙන් ඈ යන ගමන මාගේ දෙසවන අතර නින්නාද දෙන්නටවිය.අඟල් තුනක් පමන උස්වූ ඇගේ පාවහන් මේ ඔපදමන ලද බිමෙහි පරිස්සමින් හැසිරවීම පිළිබඳ මම පුදුම වීමි.එයිනුදු නොනැවතුනු මගේ දෙඇස් ඇගේ කෙණ්ඩා, පුළුල් උකුල සොයා ඇදෙන්නට වූයේ සහජයෙන්ම පිරිමියාට හිමි කාමක්ෂ්තවූ රාගාධික හැඟීම පාලනයකරගත නුහුණු තැනය.රක්ත වර්ණ වූ කෙටි සාය නිසාවෙන් වඩාත් තීව්‍රව කැපී පෙනුනු ඇගේ දෙපා වර්නනය කිරීම සඳහා මම අසීරු ප්‍රයත්නයක යෙදුනෙමි.සායට කැපෙන ලෙස හැඳසිටි උඩුකය වසා සිටි හැට්ටය උඩින් දමා තිබුණු කෝට් එක නිසාවෙන් ඇගේ උඩුකය පැහැදිලිව ග්‍රහණය කරගැනීමට අපහසුකමක් වීය.පසු පස හැරෙමින් මගේ අවධානය ඈ දෙසට තවත්වත් යොමුකරගනිමින් සරාගී ගමනක යෙදුණු ඈ සුපිරි රෙදිපිළි මාළිගයට ඇතුළු වූවාය.රොන් සොයා යන බඹරකු සේ මමද රෙදිපිළි අතර අතරමං වීමි.අවශ්‍යයතාවයක් නැතැත් ඈ පසුපස නෙත් මෙහෙයවමින් ඈ දර්ශනයවන ඉසව්වේ තව තවත් සැරිසැරීමි.දැන් මෙමගේ දර්ශණ පථයට ඇගේ සුන්දර වූ දසුන ඉතා හොඳින් හසුවේ.
"නාදළු මෙන් වර්‍ණගන්වා තිබූ දෙතොල් සැලේ..මොහොතක් ඒ දෙතොලේ නැවතුමට මට අවැසිය...මඳ අඳුරු සුයාමයේ ඈ මදුවිත පිරවූ මංජුසාව එක් අතකින් ගෙන මා සමඟ සෘංගාරාත්මක රංගනයක යෙදේ..තිසරුන් මෙන් වූ ඇගේ පයෝදර හැඟුම් බර වූ නිසාවෙන්දෝ මා නෙතු දැහැන්ගත කරවයි..ඇයගේ උණුසුම් ළමැදේ මඳක් සිහිල සොයමි..චුම්බනයෙන් වෙහෙසකරවූ ඇගේ දෙතොල් මත දෙතොල් තබා රැය පුරාවට පෙම් ඕවිල්ලේ නැළවෙමි...ඉදින් මේ සුවය නිඳි නැති රැයපුරාවටම සොයමි..ම්..ම්.. මෙවන් සුවයක්..!"
මගේ දැහැනට බාදාකරමින් දුරකථනය නාදවෙනු දැනේ..අවිඥ්ඥානිකවම දුරකථනය ගෙන සවනේ රුවා ගතිමි...

"නිශා...කොහෙද අනේ ඔයා ගියේ...ඉක්මනට එන්නකෝ..ඔයා දන්නවනේ මේ පැය දහය මං කොහොමද ගෙවාදාන්නෙ කියලා.."

මම සිහිනෙන් අවදිවුණෙමි...ප්‍රිය බිරිඳ මා එනතුරු මඟ බලාහිඳී.

ආදරණීය ඈ බැලීමේ හදිසි උවමනාවක් හිතට නැගේ...සියළු දේ අමතක කොට හුන් තැනින් හණික නික්මීමි.

"මේ එනවා මගෙ නෝනේ.."
================================================================
මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හඳේ ලැගුම් අයැදී..

විතක් මධු පෙරා ගෙනැල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැඟුම් පා
මුවට යා කලා ...
හැඟුම් තෙරපිලා දෝ
හසුන් මුසවෙලා
සිහින ලොවක පාවී සදුන් සිහිල යාවේ

මා සනසා මා නළවා...

රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගී
හිදිමි මඟ බලා...
හෙටත් සඳ උදාවී
රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී... සුරඹ මා සොයාවී.....

මා සනසා මා නළවා...

සොඳුරු ගේය පද සිත්තම : කේ.ඩී.කේ.ධර්මවර්ධන
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : මර්වින් පෙරේරා

Monday, November 22, 2010

"මේ පායා එන්නේ එදා මා දුටු සඳමද?.."

රටාවට ඇමදූ ගෙමිදුල කෙලවරට වන්නට වූ ලොවි ගහ යට පිටපළුවක් අටවමින් සාදන ලද බංකුව මත හිඳගතිමි.ඔහුගේ මනාලිය වී මේ බිමට පා තැබූ දිනය මා ඉදිරියේ අදද  සොඳුරු මතකයන් මවනුයේ මේ නිවසෙහි වටාපිටාවේ වූ සුන්දරවූත් නිස්කලංකවූත් පරිසර පද්ධතිය නිසාවෙන්මැයි..අද ගෙඩිවරා ඇති මේ ලොවි ගස එදා රතුපාට දිදුලන මාණික්‍යයන් සමූහයක් සේ අතුපතර පිරී තිබුණු බව මතකය..කුඩා දියැණියන් සමූහයක් ආසිරි ගී ගයන වේලෙහි කෑදරබැල්මෙන් ඒ දෙස බලනු දුටු ඔහු මගේ සවනට "ලොවි පෙරේති..බොට තමා ඔය සේරම..ටිකක් ඉවසපං"යි කෙඳිරූබවද මතක තියේ..

සාලයෙහි සයිබෝට්ටුව මත විජරාමාණව වැඩ සිටින වෑර්ලස් පෙට්ටිය අද දවස පුරාවටම කෑ මොර දෙනුයේ ඇමරිකාණුවන් හඳ මත පා තැබූ පුවත්ය.එය කිසිම ජීවයකින් තොර වියළි කතරක් බවත් කිසියම්ම වූ සෞම්‍ය ගුණයක් එහි නොවන බවත් "රේඩියෝ සිලෝන්" හි නිවේදකයා පවසණු අසා සිටියෙමි..සැබවින්ම එය ඇදහිය හැක්කක්ද???
මේ නිවසෙහි මනාලිය වී ආ දිනයේ මා සතුටු කළ එක් කාරණයක් මීට පෙරදී ඔබට පැවසූයෙමි..තවත් මා කුල්මත්කළ කාරණයක් තියේ..ඒ වූ කලී මේ මැද සාලයේ රන් නූලෙන් වැඩ දැමූ පොරෝනයක් පොරවාගෙන සාඩම්බරයෙන් වැඩ හිඳින වෑර්ලස් පෙට්ටියයි..දීග එන්නට පෙර එක් වතාවක් පමනක් දැක ඇති මෙය මගේ නෙතට මෙන්ම හිතටද සුන්දර වූ කාරණයක් වූයේමැයි.
රාත්‍රිය එළබ හෝරා කිහිපයක් ගතවීත් ඉස්තෝප්පු කාමරය දෙසින් ඇසෙන නඩු විසඳන,බයාදු කෙඳිරිලි,විධාන තවමත් නතර වී නොමැත..මා පතා ආ කුළගෙය මෙයමදැයි මගේ හදවත විමසන්නට පටන් ගත්තේ මෙහි පතිනිය වී පැමින වසරක් පමන ගතවෙත්දීය.ඉහල ගංතුලානේ ආරච්චිල වූ මගේ පියාණනුත්  සිරිමෙවන් කස්තුරි බණ්ඩාර ගම්මුලාදෑණිත් අතර වූ යහළුකමේ ප්‍රථිඵලය වූයේ මෙමට වඩා විසි වසරකින් වැඩිමාළුවූත් හැඩිදැඩි දරදඬු පුද්ගලයෙකු වූත් කරමැටියේ ගම්මුලාදෑනි තැනගේ බිරිය වී මේ සාගරයක් තරම් වූ වලව්ව්වේ ස්ථීර පදිංචිකාරියක වීමෙනි.නවයොවුන් වියට එළඹෙමින් සිටි ළමිස්සියක් වූ මා මේ විවාහයට අකැමැත්තක් නොපෙන්වූයෙමි..මන්ද සිරිමෙවන් කස්තුරි බණ්ඩාරයන්ගේ ආරෝහ පරිනාහ දේහයට ඇළුම් නොකළ තරුණියක් මේ ඉසව්වේ නොසිටි බැවිණි..ඒ දිනවල මෙවන් සඳ පායා එන රාත්‍රීන්හිදී ජනේල කවුළු පියන්පත් ඇරදමා ඔහේ බලා සිටි අන්දමද සිරිමෙවන් සමඟ ගෙවන කුළගෙය මේ අයුරින් වෙතැයි මාළිගා තැනූ බව මතක තියේ.නොයෙක් සුන්දර කවි පබැඳුම් ගොතමින් ඒවා පායා එන සඳු සමඟ මිමිණූබවත් මතකය.සැබවින්ම මා තුළ සොඳුරු හැඟුම් මතුකළේ ඒ සුන්දර වූ සඳවතයි..බෝහෝ කවිකාරයනටද එසේම විනැයි හඟිමි.ඇලපාත මුදළි ගජමන් නෝනාට කියූ කවි ඒ දිනවල මා මුවඟ නිතර මිමිණූ ඒවාය..ඒ නිසාම නොයෙක්වර කෙල්ලන්ගේ උසුළු විසුළුවලටද ලක් වී ඇත්තෙමි.ඒත් මා අත්දකින මේ ජීවිතය සුන්දර නොවූයේ කිම.එක අතකින් ගමක් පාලනය කළයුතු ගම්මුලාදෑණි කෙනෙකුන්ගෙන් සුන්දර වූත් සුකුමාලවූත් ,ප්‍රේමණීයවූත් වදන් බලාපොරොත්තුවිය හැකිද..ඉඩම් ආරවුල්,පවුල් පලහිලව් වලින් ඔළුගෙඩිය පුරවා නිදියහනට එන සැමියා කෙසේ නම් ප්‍රේමණීය හැඟුමන් ඇතිකරගන්නද??..නමුදු මාද සම් මස් ඇට නහර වලින් සැදුනු මනුස්ස දුවක්මි..විවාහවී වසර තුනක් ගතවීත් දරුවකු නොසිටීම ගැනනම් පසු තැවීමක් ඔහු තුල තිබෙනු දැනේ..ඒත්..
මා සිතා සිටි සුන්දර ලෝකය මා දෙපා ඉදිරියේ මෙසේ වැළලී යන්නේ කවිකාර වූ මගේ සිතදද තලා පෙලාය.බෝහෝ නිදිනැති රාත්‍රීන්හිදී මේ පායා එන චන්ද්‍රයාට මගේ දුක කවි කොට පාක්කොට හැරියෙමි..නමුත් සෞම්‍යය සුන්දර මහාර්ඝ වස්තුවක් ලෙස මගේ හිතේ විජරාමානවූ මේ සඳම වියළි වූත් ප්‍රාණයෙන් තොර කතරක්යැයි මගේ විඥ්ඥාණය පිළිගැනීමට නොකැමති සේය...නමුදු "විද්‍යාව"මා හදවතේ අඳුරු ගිරිෂිකර මවයි..
ඉදින් මේ සිද්ධි දාමය  මගේ ජීවිතය හා බද්ධ නොවේද??

"ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසල ගැවසේ..." 

================================================================

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ.......

එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ විකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ........

මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ.........

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : නන්දා මාලනී

සිත්තම රිවිර පුවත්පත අනුග්‍රහයෙනි.

Wednesday, November 10, 2010

ඇය මටද ආදරෙයි කියා තිබේ....!

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ.....

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ.....

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය

මටද ආදරෙයි කියා තිබේ....


සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ.......


ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
මටද ආදරෙයි කියා තිබේ.....

-----------------------------------------------------------------------------------------------------
"සැබවින්ම මා කුහක ප්‍රේමවන්තයෙක් දැ"යි තීරණය කිරීමට පෙර මෙම පාපොච්චාරණය අවසානයවනතෙක් කියවන ලෙස අයැද සිටිමි..


නිදිනැති රැය පුරාවට බොඳවූ දෙනෙතින් අකුරු එකිනෙක අමුණා ආයාසයෙන් ලියන ලද ලිපිය මා සුරතෙහි පරක් වෙනුයේ කුමන පැයේ සිටදැයි නිනව් නොවේ.හතරට නවන ලද සුදුපාට තනිරූල් කොළයේ දාර ඇඟිලිතුඩු මඟින් පිරිමඳින නිමේෂයේම මගේ සිත අතීතයේ නටඹුන් අතර සැරිසරණු දැනේ...ඊයේදිනයේදී රඟහලේ, කාලයක් ඇයට මෙමට හුරුපුරුදු වූ අඳුරු කෙළවර වූ අසුනට වාරුදී වේදිකාව මත දිග හැරෙන නූර්තියට වසඟ වී සිටියෙමි..රඟමඬල නිශ්චල වී රඟහල  ආලෝකමත් වූ මොහොතේ කාලයක් මා ආයාසයෙන් යටපත් කළ තුවාලයක් නැවත පෑරෙනු ඇතැයි නොසිතුවෙමි...සැබැවින්ම ඇයගේ මගේ සොඳුරු අතීතයක් වලදමා තිබූ මේ රඟහලේදීම "ඇය ඇගේ අළුත් පෙම්වතා" සමඟ වෙලී සිටිණු දුටුයෙමි.
"සචී"
"හ්ම්"
"මනමේ කුමාරි ඇයි කුමාරයාට කඩුව නොදුන්නෙ??"
"කුමාරයා සුකුමාලයි,වැද්දා හැඩිදැඩියි...ගැහැණු හිත් කැමතියි රළු පහසට..සංසර්ගයේදී පිරිමියාට වඩා ගැහැණියට තෘප්තිමත් වෙන්න වැඩි කාළයක් ගන්නා බව ජීව විද්‍යාත්මක සත්‍යතාවයක්.."
"නැහැ වැරදියි අනේ..!"
"...."
"ගැහැණියට නිතරම රැකවරණය ඕනෑ...ඉතින් වනාන්තරය තුලදි වැඩියෙන්ම රැකවරණය තිව්නෙ වැදි රජතුමා ගාව...කුමරියගෙ ඒ තීරණය වැරදි නැහැ.."
"අපූරු අර්ථ කථනය...දවසක ඔයත් ඔය තියරියම දාල මාව අතෑරලා යයිද කවුද දන්නෙ.."
"ඇයි අනේ..මම කිව්වෙ මනමේ කුමාරිය වැරදි නැහැ කියල විතරයි..."
මගේ උරහිසට වාරු වෙමින් එදා ඈ කී වදන් පෙළ සිහි වී අමුතු තිගැස්මක් හද තුළ ඇතිවී ගියේය.ඈ ඉදිරියේ මා පරාද වූයෙම්ද???
ඔහුට තුරුළුව ඈ ඊයේදිනයේදීද සිටියේ ඒ අයුරින්මයයැයි මට සිහියට නඟාගත හැක.ඔවුනට ලංව හොර රහසේ සවන්දීමේ උවමනාවක් මගේ හදවතේ ඇති වී නැති වී ගියේ හුදෙක් මනුෂ්‍යය සන්තානයට හිමි ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ල නිසාමය.මෙමට අවැසි වූයේ ඇය මුමුණන්නේ එදා ඈ මාහා දෙඩූ වන්දමැයි දැන ගැනීමටය.
එදා වැල්ලවත්ට මුහුදු වෙරළේදී අපගේ අවසන් හමුවීමේදී ඇ කිවූ අන්දමට අපගේ නොගැලපීම් එකිනෙක ගෙන විග්‍රහ කොට බැලීමට සිත්වූයේ මන්දැයි මම නොදනිමි.ඒ මා ඇයට තාමත් ප්‍රේමකරන නිසාවෙන්ද නැතහොත් ඇය තුරුළු වී හුන් තරුණයා කෙරෙහි වූ ඊර්ෂ්‍යාවෙන්දැයි නොදනිමි.
අප බැඳීමෙහි නොගැළපීම් සොයන්නට වූයේ අපගේ අවසන් හමුවීමට මාස කීපයක සිට බැව් මාහට දැනීගිය කාරනයක් වූයේමැයි.
"නිම්නි.. ඇයි ඔයා මගේ ප්‍රශ්ණෙන් මඟහරින්නෙ..??"
"ඔයාට තේරෙන්නෙ නැහෑ සචී..මට තියෙන ප්‍රශ්න..අම්මල මාව දේවකට තීන්දු කරල...එහෙන් අයිය මාව සැක කරණවා..මම හැරුනත් වැරදියි..ලබන මාසෙ දේවක ලංකාවට එනවළු..ඉක්මනින් වෙඩින් එක ගන්න ඕනෑලු.."
"ඉතින් ඔය ප්‍රශ්ණ කලින් ඉඳල තිබුන ඒවානෙ නිම්..දැන් ඔයාට ඒවා මහ ලොකු ප්‍රශ්ණ විදිහට පේන්නෙ මාව මඟහරින්න ඕනෙ නිසාද???"
"ඔයාට ඕන කෙහෙල්මලක් හිතාගන්න..සචී..මම් මෙච්චරයි දන්නෙ..මට ..මේක දැන්..."
"ඉතිං කියන්න නිම්නි...මම අහගෙන ඉන්නෙ...ඇයි නැවැත්වුවේ..ඔයාට මාව දැන් මදියි කියල තේරෙනවනම් ඔයාට යන්න පුළුවන්..."
"ඔව් ..සචී අපි වෙන්වෙමු..!"
අවසන ඇය අවසන් තීරණයට එළඹ තිබුණාය...
වසර හතරක ඇසුරකට පසු ඇයට මා නොගැලපෙන සහකරුවෙකුය යැයි දැනී තිබුණි.ජීවනගමනේ අවසානය තෙක් කුමණ ගැටළු පැමිණියද එක්ව මුහුණ දෙමුයි පැවසූ ඇයම මා අතරමංකොට පලා ගියාය.ඇයගේ අභිනික්මනට හේතු සොයමින් මම් පසුගිය කාළපරිච්චේදය පුරාවට අප කළ කී දෑ පිළිබඳ එකින් එක ගෙන විමසා බැලිමි...නමුදු සාධාරණ හේතුවක් සොයාගත නුහුණු තැන නොකැමැත්තෙන් වුවද ඈ "චපල එකියකියි" සමාජය ඉදිරියේ කීමි.ඊයේ දුටු දසුන නිසාවෙන් නිදන්ගතව පැවති මතකයන් අළුත් වීම කරණකොටගෙන හද තුළ ඇතිවුණු නොහිම් ශෝකය පලවාහරිනු වස් මේ මා අත වූ ලිපිය ලීවෙමි..එය කාහටද,කුමක් සඳහාදැයි නුඹට කිවයුතු නොවන බව දණිමි..ඉදින් මා "කුහක ප්‍රේමවන්තයෙකු"යි නුඹ තීරණය කළද ඈ ගැන මෙසේ හෙළිදරව් කිරීමෙන් කුරිරු සතුටක් ලබමි..එය සැනසීමකියි ඔද්දල් වූ සිත හඬගා තෙපළු බැවිණි..

ඉදින් මා ප්‍රේමය ඉදිරියේ "කුහකයෙකු" වීමි.

මෙය නැවත පළකිරීමකි.

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : ගුණදාස කපුගේ

Thursday, November 4, 2010

කුළුඳුල් දොඩමළුව.....

ගතවූ වසර දෙක පිළිබඳව පශ්චාත් පරීක්ෂණයක යෙදීමට මම තීරණය කෙළෙමි.

අද අප පාසැලෙන් සමුගන්නා දිනයයි.ගෙට්ටුව පේන මානයේ කන්ද කපා සාදවන ලද කුඩා බිම්කැබැල්ලක අටවන ලද මේ පුංචි පෙට්ටි කඩය පහුගිය කාලය පුරාවට ඉතා අඩු මිලට අපගේ බඩගින්න නිවීමට උපකාරී වූ බව සිහිවී ස්තූති පූර්වකව ඒ දෙස බැලීමි.තරමක් මහත මිටි තැනැත්තියක වූ කඩයේ හිමිකාරිය සැරපරුෂ බවක් මතුපිටින් පෙන්වූවද උණුවන හදවතක් ඇත්තියෙක බැව් අත්දැකීමෙන් දනිමි.
"පොඩියක් ලීලෙ පෙන්නන්න ගියාහම මෙව්වො ගෝනි නැතිව කරේ නගින්න එනවනෙ මල්ලියෙ..මං මෙහෙම හිටියෙ නැත්නම් මේ කඩ කෙරුවාව මෙච්චරකල් කරන්න වෙන්නෙනැහැ"
දිනක් ඇය මේ ගැන මා සමඟ පැවසුවා මතක තියේ..
රුපියලට කැබැල්ලක් ගත හැකි වූ පුංචි කෝම්පිට්ටුවක හැඩයට වූ හකුරු කැබළි බහාලන ලද මඳක් විශාල වූ වීදුරු බෝතලයත් ලොසිංජර දමන ලද බෝතලයත් ටොෆි වර්ග පුරවන ලද බෝතල කිහිපයත් හැරුණු විට මේසය මත වූ වීදුරු කබඩය මත හැලප කිහිපයක් හා ඥාණකතා කිහිපයත් හැරෙන්නට වැඩියමක් දක්නට නොතිබුණි.දවස පටන්ගන්නා පැයේ නා නා කෑම වලින් පිරවෙන පසෙකින් වූ මදක් විශාල වූ වීදුරු කබඩයේ තට්ටු කිහිපයක්ම හිස්ව පැවතුනද යටම තට්ටුවේ හතරට කපනලද පාන් කාල කිහිපයක් පමණක් ඉතිරි වී තිබෙනු දැක සිනහ පහල වූයේ මේ පාන් කාල සහ ඉහත විස්තරකරන ලද හකුරු පෙත්ත ගත වූ දෙවසර තුළ දහවල් ආහාරය වූ බැවිණි.පාසැල නිම වූ වහාම හනි හනික දිව එන අප පාන් කාලෙන් ,හකුරු පෙත්තෙන් හා ඉඟුරු දමා සාදනලද කහට වීදුරුව්වෙන් සප්පායං වී දුවනුයේ අමතර පංතියටය.සැබවින් එය පුදුමාකාර රේස් දිවීමක් විය.ඇත්ත වශයෙන්ම ඒ රේස් දිවිල්ලට මගේ නම් කිසිම කැමැත්තක් නොවූ බව නම් කිවමනාය.නමුදු එයින් ගැලවීමක්නම් නොවූයේමැයි.මන්ද මාද මේ සමාජ සන්දර්භයේම උපකුලකයක් වූ නිසාවෙනි.දිශාවක් නොහැඳින වුවද පිහිනිය යුතු විය.
සාලිත,මිහිරි,තුෂාරි,කුමුදුනී අතර ඈ තවම නැත.ඈහට ලෙහෙසියෙන් පාසැල් බිමෙන් ගැලවී පැමිණිය නොහැකි බැව් මා දනිමි.ඈ මැදි විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවයි.නොඉවසිලිවන්ත හදිස්සිකාරයෙකු වූ මාගේ මේ ඉවසීම පිටුපස පෙරළිකාරිය ඇයයි.සුසුමක් හෙළු මම නැවතත් රවුම් මේසය වටාවූ පුටුවක් ඇද මිටියාවත පේන මානයට මුහුණ ලා හිඳ ගතිමි.
පාසැලේ ක්‍රීඩා පිටියට පිවිසෙන මාර්ගය දෙපස වූ සරුවට වැවුණු සයිප්‍රස් දෙපෙලත් තරමක් සුවිශාල වූ ක්‍රීඩා පිටියේ රිසි සේ කෙළිදෙලෙන් පසුවන සහෝදර සිසු සමූහයාත් පිටිය කෙළවරට මායිංවන බදුල්ල බලා දිවෙන දුම් රිය මාර්ගයත් මාගේ දර්ශන පථයට හසුවූයෙන් සිතෙහි වූ පාළු හැඟීම ඉවතලා නැවුම් වාතයෙන් පෙනහළු පුරවාගතිමි.
ගමේ පාසැලෙන් සාමාන්‍යපෙළ සමත්ව මැදිමහ විදුහලට පැමිණි මුල් දිනවල නාගරික සමාජයට අනුගත වන්නට මා තුල වූ නොකමැත්ත නිසාවෙන් අළුත් පසැල්බිම හැමවිටම ආගන්තුකවූයේයැ.නවක වදය මගහරිනුවස් සියළුදෙනාටම පෙර පසැලෙන් දිව එන අප පසැල් බසයට ගොඩ නොවී අසල හංදිය දක්වාම හණි හණික ඇවිද ඒමට පුරුදු වුණෙමු.ඒ සමහර අවස්ථාවලදී වැඩිහිටි ශිෂ්‍යයන්ට අප අසු වූ වාරද නැතිවා නොවේ.කෙසේවතුදු නවක වද කාලසීමාව මතකයෙන් ගිලිහෙනුයේ ඒතුළ අමුතු රසයක්,අත්දැකීමක් මා නොදුටු බැවිනැයි හඟිමි.

"ඉදිරි දෙවසර සඳහා පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස සපුමලී ලාලිත්‍යා රත්නායක තෝරාගෙන ඇත"

විද්‍යාලාධිපතිණිය ගේ ගැඹුරු කටහඬින් උදෑසන රැස්වීම අවධි වෙත්දී ඇය වේදිකාවට පිවිසුණාය.මඳක් කැරළි ගැසුණු දිගු කේෂ කලාපයකටද වටකුරු එහෙත් දීප්තිමත් නෙතු සඟලකටද උසට සරිලන මහත ඇති පැහැපත් ශරීරයකටද හිමිකම් කී ඇය සැබවින්ම රූපත් වූවාය.මම ඇය හැඳින්නෙමි.අපගේ පන්ති පැවති ගොඩනැගිල්ලට සමාන්තරව පිහිටි විද්‍යා අංශ ගොඩනැගිල්ලේ වරක් නොව කිහිපවරක්ම ඇයව දැක ඇත්තෙමි.ඇය දකින කවරෙක වුවද වරක් හෝ හැරී නොබැළුවානම් පුදුමය.හැබැවින්ම ඇගේ දසුන නව යොවුන් වියේහි සාඩම්බර හිමිකරුවන් වූ අපට රසඳුනක්ම වූයේයැ.
පසුව ගතවූ කාළයේදී ඈ පිළිබ්ඳව ගවුරවයකින් බැලීමට මා සිත පෙළඹුනේ මන්දැයි නොදනිමි...කෙසේවතුදු දිනෙන් දිනම නව පාසැල් ජීවිතය මෙන්ම නව සමාජය මා හට ගෝචර නොවූයෙන් පන්තියේදී මා හුදෙකලා චරිතයක් වූයේ මටත් නොදැනීමය.නමුදු පන්ති මගහැරීම මා අතින් නිතර නිතර සිදුවන්නට වූයේද ඔය අවධියේමය.විෂයයන් හතරටම සරිළන ලෙස  හාල්ෆ්ෂීට් කොළය දෙකට නමා සකසාගත් පොත් පිංච බඩතුරෙහි සඟවාගෙන මහා මාර්ගයට මායිං වූ තාප්ප්යේ තිබූ කුරුබිළියෙන් රිංගා තනිව හෝ තවත් සගයෙකු සමඟ සිනමාහලකට රිංගන වාරද දුලබ නෙවීය.මෙසේ එක් වැහිබර දිනයක්දී කුරුබිලියෙන් පාරට පිවිස දාවනයවූ බසයේ එල්ලුනෙමි.ඉතිරිව තිබූ  ආසනයේ හිඳගන්න ඇසිල්ලේම බඩතුරෙහි සඟවා තිබූ පොතද ගෙන ඔහේ පෙරලා බැලිමි.වටාපිටාව ගැන කිසිම තැකීමක් නොකරම හිස්වූ හදවතින් ඉදිරි කවුළුවෙන් මා පසුකරයන ගස් වැල් ගොඩනැගිලි දෙස ඔහේ බලා සිටියෙමි.මා හිඳසිටි ආසනයට සමාන්තරව වූ ආසනයේ දෑසක් මා දෙස උනන්දුවෙන් බලාසිටිනු දැනුනද එය සොයාබැලීමට තරම් මගේ සිත සූදානම් වූයේ නැත.නමුදු ඊලඟ නැවතුමෙන් බසයට ගොඩ වූ වයෝවෘධ කාන්තාවකට ඉඩදෙනුවස් නැගී සිට යාබද අසුනේ අත්වාරුව අල්ලාගෙන සිටගතිමි.හිඳසිටි ඇය මා අත වූ පොතක් යැයි නාම මාත්‍රික කොළ කිහිපය ඉල්ලා ගත්තාය. ඇය වූ කලී සපුමලී ලාලිත්‍ය රත්නායකය නම් වීය.
ඇයගේ මන්දස්මිතිය රැඳුණු සුන්දර වත දුටු මොහොතේ සියුම් හැඟීමක් හදතුල ඉපිද ඇතිවී නැතිවී යනු අත්දුටුවෙමි.
"තෑන්ක්ස් සපූ" අවසන නගර්යේ නැවතුමේදී මම ඇයගෙන් සමුගතිමි.නමුදු එම හමු වීම අප අතර සොඳුරු බැඳීමකට අඩිතාලම දැමෙනු ඇතැයි මා නොසිතුවෙමි.
අනතුරුව එළඹුණු කාළයේදී ඈ මගේ ජීවිතයට හෙමි හෙමින් ඇතුළුවෙනු ඔහේ බලා සිටියෙමි. මගේ අපිළිවෙල ජීවිතයට යම් පිළිවෙලක් සේන්දුවෙනු මා අවට සිටියවුනටද දැනුණු බව දනිමි.නමුදු අප අතරවූ සම්බන්ධතාවය පාසැල්බිමෙන් සඟවා ගැනීමට ඇය මහත් වෙහෙසක් ගත් බව නම් සැබවි.මගේ පාර්ශවයෙන් එය එසේ නොවීය.මන්ද මා හා උසස්පෙල පන්තියේ සගයන් අතර කිට්ටු සබඳ තාවයක් නොතිබූ බැවිනි.එනිසා අප අතර සම්බන්ධතාවය සඟවාගැනීමට මා හට අමුතු වෙහෙසක් ගැනීමට උවමනා නොවීය.කෙසේවතුදු ඇයත් මාත් අතර අහම්බයෙන් ගොඩනැඟුනු ප්‍රේම වෘතාන්තය ගතවූ මාස නවයක කාල සීමාවතුළ හොර රහසේ ගලායමින් තිබින.ඇයගේ නිරන්තර සෙවුම් බැලුම් හමුවේ අතහැර දමා තිබූ විභාග කඩඉමට බලාපොරොත්තුවූවාට වඩා සාර්ථකව මුහුණදියහැකිවිය.  

"සෑම සාර්ථක පිරිමියෙක් පසුපස යහපත් ගැහැනියෙකුද සිටී"යන කියමන ගැන දැන් නම් මට සැක නොසිතේ.

වැහිබර අහසට මම හැමදාමත් කැමතිය.අපගේ සම්බඳතාවයේ ආරම්භයට අඩිතාලම දැමුණේද අද වැනිම වූ දවසකයැයි සිහිවීමෙන් අමුතු සතුටක් හද තුල පෙරළි කරනු දැනුනෙන් කල්පනාවෙන් මිදුනෙමි.
බාලිකාවන් පිරිවරා ඇය ඉදිරියට එනු බලා සිටියෙමි.වෙනදා නොවුණු සැහැල්ලු බවක්ද ඇයගේ කතා විලාෂය තුල දුටිමි.දැන් ඉතිං සියළු යදම්වලින් අපගේ ආදරය නිදහස් කොට ගත යුතුය.ඇය ඉදිරියට ගොස් ඇයගේ සියුමැලි අතින් අල්ලාගෙන ඇයගේ ප්‍රේමවන්තයා මමයැයි හඬගා කීමේ වුවමනාවක් මා තුල නලියන්නට වෙයි.මොහොතකින් මං උමතු ප්‍රේම වන්තයෙකු වෙමි..සඟවා සිහිනයෙන් පමණක්ම මාගේ හිත තුළ පවුරුලා ඈ වෙනුවෙන්ම ඉපැදුණු මියුරු කල්පනාවෝ සවනට කර මිමිනීමේ බොලඳ ආසාවක් මොහොතකින් ඇති වී ගියේයැ.අනෙක් දිනවලදී ඈට යන්නට හැර පසුපසින් වැටෙන මා සැහැල්ලුවෙන් ඈවෙත පිය නඟමි.
මිතුරියන්ගෙන් මිදී ඇසිල්ලේ දිව ආ ඇය මා සුරතෙහි වෙළුනාය.බාලිකාවෝ වික්ෂිප්තව ඒදෙස බලනු මම ආඩම්බරයෙන් බලා සිටියෙමි..
"සපූ..!"
"හ්ම්.."
 "දැන් ඉතිං මට ආදරය ඕනි.."
"මටත්.."

"හිමගිර මට වැලි අහුරකි..මහ සමුදුර දිය රැල්ලකි..කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනහේ නම්..."
 හෙමි හෙමින් ඇයගේ සවනට කර මිමිනුවෙමි..


මියුරු කල්පනා... නෙතක දැල්වුනා....
අමයුරු රස හසකැන් මැද... සිතක් හිනැහුනා....
වරෙක නැලවුනා.... වරෙක ලතැවුනා...
නුපුරුදු ගිනි දහසක් මැද... සිතක් මැලවුනා....

මියුරු කල්පනා...

හිමගිර මට වැලි අහුරකි...මහ සමුදුර දිය රැල්ලකි..
කටු අකුලෙන් මල් පුබුදමි...ඔබ සැනසේ නම්..

මියුරු කල්පනා... නෙතක දැල්වුනා...
අමයුරු රස හසකැන් මැද... සිතක් හිනැහුනා...
මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුනමි...දිනිසුරු ගෙන් සීතල දෙමි...
කඩු තුඩු මත සැතපෙන්නෙමි ...ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා...


සොඳුරු ගේය පද සිත්තම : ප්‍රේමකීර්ති ද අල්විස්
 දිව්‍යමය සත්සර මුසුව : වික්ටර් රත්නායක
චිත්‍රපටය : දිනුම් කණුව
මියුරු ගැයුම : වික්ටර් රත්නායක