Showing posts with label නන්දා මාලනී. Show all posts
Showing posts with label නන්දා මාලනී. Show all posts

Saturday, January 22, 2011

"මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.. හැඩරුව බලන්නෙපා.."

සිත්තම ගත්තේ..beaconartworkscorporation.imagekind.com නි.

 බාල්දි විට්ටමේ කොක්ක ගැටෙන හඬින් ඈ දියට ගොසින් පැමිණිවග හඳුනාගතිමි..බැන අඬ ගැසීමට කාරණා හොයමින් සිටින මට ඇගේ සුළු අතපසුවත් පෙනෙනුයේ නුහුරටය..ඒත් මා එසේ ඈ ඉදිරියේ හැසිරෙනුයේ අනාදරයකින් නම් නොවන වග කවදා හෝ වටහා ගන්නවා ඇත..මල්වර වූයේ දැනට පෝය දෙකතුනකදීට පෙර වුවද ස්ත්‍රී ලාලිත්‍යය කියාපාන පිරිපුන් ලැම සිහින් ඉඟසුඟ මා දියණිය රූපත් එකියක් වන ලකුණු කියාපායි...ඒත් දෙයිහාන්දුනේ මම මේ කෙල්ල කෙසේ සරසන්නද..?

"ඈ බතියෙ උඹට කීවංගියක් දොඩල තියෙනවද ඉර හැරුනට පස්සෙන් පහු දියේ එබෙන්න යන්න එපාය කියල..උඹට කියන කට.."

"ඇයි මයෙ අම්මෙ ආඩපාලි කියන්න තියාගත්තෙ..මං උඹන් අහල නෙවද ගියේ..හිච්චිනගා මා එක්ක තනියට හිටිය නෙව.."
හැබාවටම මං එසේ කීවිත්තිය අමතක වූ සැටි..කෙල්ලගේ දිගුවරලස තට්ටම දක්වාම කඩා හැලේ..කෙහෙවල්ල නිදහසේ හෙළමින් තෙත මාත්තුකරන හැටියෙන්ම පැත්තෙන් මාදෙස හැරී දෙඩූ විලාසය මාව පුච්චා දැම්මා මගෙ දුවේ...
මහ මනුස්සය ගල්වලේ වැඩකරල හොයන තුට්ටු දෙකින් මාසෙ වියදමවත් පිරිමහගන්නට බැරිව තිබියදී කෙසේ නම් ඇගේ කර සරසන්න මාල පොඩිත්තක් ඇන්න දෙන්නදැයි නොතේරේ...
"කෙල්ල මල්වරවුණු නැකත බොහොම නරකයි..පරිස්සම් කරගන්න වෙයි.."
නැකැත් රාළ එදා දෙඩූ වදන සිහි වී අළුතෙන්ම තිගැස්මක් ඇති වී උවමනාවෙන්ම කෙල්ලගේ මූණ දෙසත් ඉහේ හිට දෙපා තෙක් බැළුම් හෙලීමි..

"මොකෝ මයෙ අම්ම..මයෙ මූනෙ පෙරහැරක්වත් යනවයි.."

උබේ රූපෙ සරසන්නට වත් පොහොසත්කම් නැති හින්ඳාම බිත්තියේ එල්ලා තිබූ කැඩපත බිම දැම්මේ මමමයි දුවේ..මට කෑ ගසා හඬන්නට සිතේ..

"අනේ..මේ කණ්නාඩිය බිම වැටිල..මොකදවුනේ අම්ම..??"

"අද දහවලේ ගැරඬියෙක් ගෙට ආව..ඒ වෙලාවෙ බිම වැටෙන්නැති මයෙහිතේ.."

උඹේ ලස්සන උඹ දකින්න මට ඕනෑවුනේ නෑ දුවේ..අනුන් උඹ දුටුවාවේ..කණේ කඩුක්කන්..ගෙලේ මාල අනෙක්  එකියො පලඳාන හිටිනව බලාල උඹ හූල්ලනව මට බලා හිටින්න බැරිවුණා දුවේ...මට සමාවෙයං..කැඩපත බින්ඳෙනම් මමයි..ඒත් ඒ සිද්ධිය මා තවත් පෙලාවියයි මා සිතුවේ නැත.වෙනදාට කහට කෝප්ප්පය දෙනකම් ලිප් බොක්කෙහි මිටි කොලොම්බුවේ ඈඳිගෙන හිටින ඇය හණික ළිඳට එබෙන්නේ ඇයිදැයි දැන් මට වැටහේ..වතුර සෙලවෙන්නට කළියෙන් ළිඳට එබෙන ඈ තනිවම හිනාවෙනවා දින කිහිපයක්ම දුටිමි..මගෙ දුවේ දිනෙන් දිනම උඹ මාව අසරණ කරනවා දැනේ..

"දැං මේ කෙල්ල ළමිස්සියක් වෙච්චි..මට තේරෙන්නැහැ ඒ උවමනා එපාකම් කොහොම පිරිමහන්නද කියල.."

දෙ අත්ලේ වූ කරගැට පොල්තෙල් ගල්වා පිරිමඳින වේලෙහි අප්පුහාමිගේ මුවින් පිටවූ වදන් ද මා හිත බරකෙලෙන්.. ඇතුළු ගෙය දෙස එබී බැළිමි....කණාමැදිරි ලාම්පු එළියෙන් වරිච්චි බිත්තිය මත වැටී ඇති සෙවනැල්ල දකිමින් හිස පීරන නුඹ මගේ හිත තලා මිරිකා දැම්මා මගෙ දුවේ....

oooooo0oooooo0oooooo0oooooo0ooooooo


පිපුණු මලේ රුව එමල දනීදෝ.. පිපුණු මලේ රුව එමල දනීදෝ..
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.. හැඩරුව බලන්නෙපා..
නැති බැරිකම මුතු මාල හතක් වී.. කඩුල්ල පැණ එයි උඹ අත කරලන දා..

කටුමැටි බිත්තිය හැඩකර අඳිනා..රෑ හෙවනැල්ලෙන් හිස් පීරන්නේ..
නොතලන් සිත මා ආදර දියණියනේ..ආදර දියණියනේ..
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි..වීදුරු කැඩපත බිම දැම්මේ..

ළිඳේ අඩිය හිරු නොබළන පින්නේ..එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ..
නොතලන් සිත මා ආදර දියණියනේ...ආදර දියණියනේ...
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි..වීදුරු කැඩපත බිම දැම්මේ..


සොඳුරු සළරූ සිත්තම kasshapa සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි


සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :නන්දා මාලනී

Monday, November 22, 2010

"මේ පායා එන්නේ එදා මා දුටු සඳමද?.."

රටාවට ඇමදූ ගෙමිදුල කෙලවරට වන්නට වූ ලොවි ගහ යට පිටපළුවක් අටවමින් සාදන ලද බංකුව මත හිඳගතිමි.ඔහුගේ මනාලිය වී මේ බිමට පා තැබූ දිනය මා ඉදිරියේ අදද  සොඳුරු මතකයන් මවනුයේ මේ නිවසෙහි වටාපිටාවේ වූ සුන්දරවූත් නිස්කලංකවූත් පරිසර පද්ධතිය නිසාවෙන්මැයි..අද ගෙඩිවරා ඇති මේ ලොවි ගස එදා රතුපාට දිදුලන මාණික්‍යයන් සමූහයක් සේ අතුපතර පිරී තිබුණු බව මතකය..කුඩා දියැණියන් සමූහයක් ආසිරි ගී ගයන වේලෙහි කෑදරබැල්මෙන් ඒ දෙස බලනු දුටු ඔහු මගේ සවනට "ලොවි පෙරේති..බොට තමා ඔය සේරම..ටිකක් ඉවසපං"යි කෙඳිරූබවද මතක තියේ..

සාලයෙහි සයිබෝට්ටුව මත විජරාමාණව වැඩ සිටින වෑර්ලස් පෙට්ටිය අද දවස පුරාවටම කෑ මොර දෙනුයේ ඇමරිකාණුවන් හඳ මත පා තැබූ පුවත්ය.එය කිසිම ජීවයකින් තොර වියළි කතරක් බවත් කිසියම්ම වූ සෞම්‍ය ගුණයක් එහි නොවන බවත් "රේඩියෝ සිලෝන්" හි නිවේදකයා පවසණු අසා සිටියෙමි..සැබවින්ම එය ඇදහිය හැක්කක්ද???
මේ නිවසෙහි මනාලිය වී ආ දිනයේ මා සතුටු කළ එක් කාරණයක් මීට පෙරදී ඔබට පැවසූයෙමි..තවත් මා කුල්මත්කළ කාරණයක් තියේ..ඒ වූ කලී මේ මැද සාලයේ රන් නූලෙන් වැඩ දැමූ පොරෝනයක් පොරවාගෙන සාඩම්බරයෙන් වැඩ හිඳින වෑර්ලස් පෙට්ටියයි..දීග එන්නට පෙර එක් වතාවක් පමනක් දැක ඇති මෙය මගේ නෙතට මෙන්ම හිතටද සුන්දර වූ කාරණයක් වූයේමැයි.
රාත්‍රිය එළබ හෝරා කිහිපයක් ගතවීත් ඉස්තෝප්පු කාමරය දෙසින් ඇසෙන නඩු විසඳන,බයාදු කෙඳිරිලි,විධාන තවමත් නතර වී නොමැත..මා පතා ආ කුළගෙය මෙයමදැයි මගේ හදවත විමසන්නට පටන් ගත්තේ මෙහි පතිනිය වී පැමින වසරක් පමන ගතවෙත්දීය.ඉහල ගංතුලානේ ආරච්චිල වූ මගේ පියාණනුත්  සිරිමෙවන් කස්තුරි බණ්ඩාර ගම්මුලාදෑණිත් අතර වූ යහළුකමේ ප්‍රථිඵලය වූයේ මෙමට වඩා විසි වසරකින් වැඩිමාළුවූත් හැඩිදැඩි දරදඬු පුද්ගලයෙකු වූත් කරමැටියේ ගම්මුලාදෑනි තැනගේ බිරිය වී මේ සාගරයක් තරම් වූ වලව්ව්වේ ස්ථීර පදිංචිකාරියක වීමෙනි.නවයොවුන් වියට එළඹෙමින් සිටි ළමිස්සියක් වූ මා මේ විවාහයට අකැමැත්තක් නොපෙන්වූයෙමි..මන්ද සිරිමෙවන් කස්තුරි බණ්ඩාරයන්ගේ ආරෝහ පරිනාහ දේහයට ඇළුම් නොකළ තරුණියක් මේ ඉසව්වේ නොසිටි බැවිණි..ඒ දිනවල මෙවන් සඳ පායා එන රාත්‍රීන්හිදී ජනේල කවුළු පියන්පත් ඇරදමා ඔහේ බලා සිටි අන්දමද සිරිමෙවන් සමඟ ගෙවන කුළගෙය මේ අයුරින් වෙතැයි මාළිගා තැනූ බව මතක තියේ.නොයෙක් සුන්දර කවි පබැඳුම් ගොතමින් ඒවා පායා එන සඳු සමඟ මිමිණූබවත් මතකය.සැබවින්ම මා තුළ සොඳුරු හැඟුම් මතුකළේ ඒ සුන්දර වූ සඳවතයි..බෝහෝ කවිකාරයනටද එසේම විනැයි හඟිමි.ඇලපාත මුදළි ගජමන් නෝනාට කියූ කවි ඒ දිනවල මා මුවඟ නිතර මිමිණූ ඒවාය..ඒ නිසාම නොයෙක්වර කෙල්ලන්ගේ උසුළු විසුළුවලටද ලක් වී ඇත්තෙමි.ඒත් මා අත්දකින මේ ජීවිතය සුන්දර නොවූයේ කිම.එක අතකින් ගමක් පාලනය කළයුතු ගම්මුලාදෑණි කෙනෙකුන්ගෙන් සුන්දර වූත් සුකුමාලවූත් ,ප්‍රේමණීයවූත් වදන් බලාපොරොත්තුවිය හැකිද..ඉඩම් ආරවුල්,පවුල් පලහිලව් වලින් ඔළුගෙඩිය පුරවා නිදියහනට එන සැමියා කෙසේ නම් ප්‍රේමණීය හැඟුමන් ඇතිකරගන්නද??..නමුදු මාද සම් මස් ඇට නහර වලින් සැදුනු මනුස්ස දුවක්මි..විවාහවී වසර තුනක් ගතවීත් දරුවකු නොසිටීම ගැනනම් පසු තැවීමක් ඔහු තුල තිබෙනු දැනේ..ඒත්..
මා සිතා සිටි සුන්දර ලෝකය මා දෙපා ඉදිරියේ මෙසේ වැළලී යන්නේ කවිකාර වූ මගේ සිතදද තලා පෙලාය.බෝහෝ නිදිනැති රාත්‍රීන්හිදී මේ පායා එන චන්ද්‍රයාට මගේ දුක කවි කොට පාක්කොට හැරියෙමි..නමුත් සෞම්‍යය සුන්දර මහාර්ඝ වස්තුවක් ලෙස මගේ හිතේ විජරාමානවූ මේ සඳම වියළි වූත් ප්‍රාණයෙන් තොර කතරක්යැයි මගේ විඥ්ඥාණය පිළිගැනීමට නොකැමති සේය...නමුදු "විද්‍යාව"මා හදවතේ අඳුරු ගිරිෂිකර මවයි..
ඉදින් මේ සිද්ධි දාමය  මගේ ජීවිතය හා බද්ධ නොවේද??

"ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසල ගැවසේ..." 

================================================================

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ.......

එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ විකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ........

මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ.........

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : නන්දා මාලනී

සිත්තම රිවිර පුවත්පත අනුග්‍රහයෙනි.