Tuesday, January 11, 2011

"ආරාධනා.....ආරාධනා......."

පින්තූරය ගත්තේ..superstock.com


තවත් නම් මේ පාළුව කාංසිය විඳදරාගන්න බැහැ දේවි...
ඔයාට මතකද මීට අවුරුදු දෙකකට පෙරාතුව අපගේ කැදැල්ල..අනේ මං හරි ආසයි ඒ මතකයන් අතර රැඳෙන්න..සෙනෙහස ආදරය කප්පරකට ..!

"රංජු"
"හ්ම්"
"මොකද අනේ බකමූනෙක්වගේ..."
"ඉතිං ඔයා බකමූණිනෙ.."
"විහිළු නෙවි අනේ...ඔයාකැමති කොල්ලෙකුටද කෙල්ලෙකුටද..??"

ආදරයෙන් ඇගේ කුස පිරිමඳිමි...

"මේක පැංචියෙක් වුනත් පැංචෙක්වුනත් ඒ වස්තුව මට දෙන්නෙ ඔයානෙ..මැණිකෙ"

ඒ දිනවල මං රජෙක්වගේ හැසිරුනා උඹට මතකද දේවි...

"රංජි මේ දවස්වල අමුතු සතුටකින් වගේ..??"

"ඔව් ඉතිං..මහේශිකාව ලඟදිම තෑග්ගක් දෙන්නනෙ යන්නෙ.."

කාර්‍යාල මිතුරන්ගේ නොයෙක් උසුළු විසුළු මැඳ මං නිරාමිස සතුටක් ලැබුවා මතක තියේ..
ඒත් ඒ සතුට කී දවසද අපේ කැදැල්ලෙ තිවුනෙ..ඒ අවාසනාවන්ත පණිවිඩය කන වැකුන සැණින් ආරෝග්‍යය ශාලාව වෙත ඉගිළුනෙමි...මෙය විය නොහැක්කකි..දරු උපත සඳහා තවත් කල් ඇත...

ක්ලබලකරී වූ කොරිඩෝව දිගේ දිවගියෙමි..දැඩි සත්කාර ඒකකයේ පිවිසුම් දොරටුවේ ඉහළ රතු බල්බය දැල්වේ..කෙලවරේ වූ බංකුව මත ඇගේ මව්..මගේ මව් ශෝකයෙන් බලා සිටී...

"කෙල්ල බාත් රූම් එකේදි ලිස්සලවැටිල පුතේ..."

වදන් පෙළ මා ගත අප්‍රාණික කළෙන් බංකුවට වාරු දුණිමි..

"මිස්ටර් රංජිත්..ළමයෙගෙ අම්ම හොඳින් ඉන්නව..කණගාටුයි..දරුවව..."

ජීවිතයේ මා කනවැකුණු අවාසනාවන්තම වචන කිහිපය ඊයම් බරු මෙන් දෙසවනින් ඇතුළුව සිරුර පුරාවට විහිදී යනුද ජීවිතයම ආගාධයකට හෙළනුද අත්විඳෙමි..
අපේක්ෂා භංගත්වයට පත් අපේ හිත් එකිනෙකා නුරුස්සන්නට ගත්තා මතකද දේවි..

"මේ උයල තියෙන ඒව මෙලෝ සතෙකුට කන්න පුළුවන්ද..??"
"බැරි නම් නොකා ඉන්න එකයිනෙ ඇත්තෙ..මට වද නොදී"
"ආ..එහෙනම් උඹට මාව වදයක් වුණා..උඹගෙ මූසළ...."

අපේ සංඩුසරුවල් වලට හේතුවක් ඕනවුනේ නැහැ..

දිනක් සේවය නිමවී ගෙදර එන මට නිවසේ වූ අමුත්ත හොඳින් දැණුනා..නිවසේ ආලෝකය එහි නොවීය..

කණ්නාඩිමේසය මත වූ හතරට නැවූ තනිරූල් කොළය සෑම දේම මා හට පසක් කළා අදවගේ මතකයි..

"ආදරණීය රංජු..,

මේ විදිහට තවත් අපිට එකට ඉන්න බැහැ නේද..??මංවගේම ඔයත් ඒක තේරුම් අරං ඇතිකියල හිතනවා..තවදුරටත් හිත් රවට්ටගෙන මේ ගෙදර ඉන්න බැහැ..මේ සේරමවුණේ මගෙ කාළකණ්නි කමට..ඔයාවගේ සැමියෙක් ලබන්න මට පින තිවුණට ඔයාව සතුටින් තියන්න මට බැරි වුණා..මං යනව..හිත හදා ගන්න බලන්න..

ආදර බිරිඳ,
දේවිකා.."

ඔව් ඇත්තටම ඒ වෙනකොට මටත් ඒ ජීවිතය ඇතිවෙලයි තිවුනෙ..ලෝකෙට පේන්න රඟ පෑවට අපි හිත් රවට්ටගෙනයි ජීවත්වුණේ..ඒ මදිවට එක එකාගෙ උපදෙස්...මගෙ කන් පිරිළයි තිවුනෙ..

ඒත් මේ ගෙදර පුරාවටම පිරිල තිබුන ඔයාගෙ හිනාව,කතාව නැතිව මං මේ බිත්ති හතර ඇතුලෙ කොහොම හිරවෙන්නද..?..උඹ දන්නවද දේවි..එදායින් පස්සෙ මං ඔය ගෙදරට අඩියක් තිබ්බෙ නැහැ..මං කල්පනාකළා..මං දන්නව..ඔයාත් මා ගැන හොයල බලල තිවුන.. ඒත් අපි වෙන්වෙලා හරියටම අවුරුද්දක්...එකම මොහොතකවත් ඔයාව හිතින් ඈත් කරගන්න බැරිවුණා....මං උත්සාහ කළා..

"අර නූපන් දරුව...ඔව්..අපි ඒක අමතකකරමු..එක්කො අපි දෙන්නගෙ නොලැබීම..නැත්නම්.ඒ පැටියගෙ නොලැබීම..අපි ඒ මත්තෙ නැහෙන්නෙ ඇයි..???ජීවිතේ නැතිකරගන්නෙ කොහොමද..මැරෙනකම් ජීවත් වෙන්න එපාය..අපි ජීවිතේ අළුතින් පටන්ගනිමුද දේවි..

ooooooooo0oooooooo0oooooooo0ooooooooo0ooooooooooo0ooooooooooooo

ජීවිතයේ තනි මංසළ අතරමං වෙලා..
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා..
අතීතයේ ගිලිහීගිය සතුට රැගෙන යළි වඩින්න..
ආරාධනා.....ආරාධනා...

නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ..
මැකී ගියාදෝ..කාලයේ වෙරළේ..
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා..
සෙනෙහේ සත් පියුමන් යළිදු පිපේවා..

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ..
ඔබේ උණුසුමේ..යළිදු උපන්නෙම්..
බීඳුණු ජීවිතේ රජදහනින් සමුගෙන යනදා..
ඔබේ දුක් පහනින් යළි එළිය ලැබේවා..


video
සුන්දර සළරූ සිත්තම උපුටා ගත්තේ YOUTUBE අනුග්‍රහයෙනි

 
සොඳුරු ගේය පද සිත්තම : කුළරත්න ආරියවංශ
දිව්‍යමය සත්සර මුසුව :රෝහණ වීරසිංහ
මියුරු ගැයුම :ඩබ්.ඩී. අමරදේව

7 comments:

  1. දැන් හදන පාංකඩ චිත්‍රපට ටෙලිනාට්‍ය සිංදු ‍ගොන් දෙපැය වලට වඩා කොච්චර කොච්චර ලස්සන‍ද කියලා කියාගන්න වචන නෑ!

    මම හිතන්නේ මේ සිංදුව අහනකොට දැහැන්ගත වෙනවා වගේ හැඟීමක් එන්නේ! උපරිම ලස්සනයි. ඇත්තටම දිව්‍යමයයි තමයි...

    මේ සිංදු වීඩියෝව සංස්කරනය කලා Youtube එකට දැම්මේ නම් මම. වීඩියෝව බාගත කලෙත් Youtube එකෙන් නිසා හඬ නැතුව ගියා. ඒනිසා නව හඬමුසුවත් එක්ක දැම්මා:D.

    මුල් හඬ සමග නැතිවුනාට සමාවෙන්න.

    ReplyDelete
  2. ජීවිතය අනිත්‍යයි. හිත් හදා ගෙන ප්‍රෂ්ණවලට මුහුණ දිය යුතුයි.

    ReplyDelete
  3. @සංකල්පනා- රුවන්
    සහෝදරයා..උඹට බොහොමත්ම පිං.මේවගේ රසවත් වටිනා ගීත යූ ටියුබයට එක්කළාට...මට සමාවෙන්න මෙය බා ගත්තේ කොහෙන්දැයි සඳහනක් නොකලාට..ඒක මගෙන් වුනු අත්වැරදීමක්..සාමාන්‍යයෙන් මගේ අඩවියේ පිංතූරයක් ඇලවූවත් ගත්තේ කොහෙන්දැයි සඳහන් කිරීම කළයුතුමයැයි මා විසින් මා හටම නීත් පනවාගෙන තියෙනවා...හදිසිය නිසාම එය මඟහැරී තිබෙනවා...
    කෙසේවුණත් බොහොම සතුටුයි පැමිණ සටහනක් තබා ගියාට..

    ReplyDelete
  4. @Hishan,
    ඔව්..ඔව්..
    "අප්පමාදෝ අමතපදං"

    ReplyDelete
  5. ඒකට කමක් නෑ සහෝ මටත් සතුටුයි මේක ඔයාගේ blog එකේ දැක්කාම.

    ReplyDelete
  6. විවාහ ජීවිතේ සතුට රැඳී තියෙන්නේ සැමියා සහ බිරිඳ ජීවිතයේ හැම මොහොතක්ම සතුටින් ගතකල යුතුයි කියලා සිතනා තුරුයි කියන එකයි මගේ හැඟීම, මගේ දැනීම.

    නොලැබුනු දේවල් වෙනුවෙන් හඬා වැටීමත්, පහසුවෙන් ලබා ගත හැකි දේවල් ලබා නොගෙන මඟහැරීමත් මඟහැරගෙන ලද දෙයින් තුටු වෙන්න පුලුවන්නම් . . .

    හැම මොහොතක්ම අලුත් කියලා හිතලා සතුට උපරිමයෙන් රඳවගන්න පුලුවන්නම් සතුටට ගිලිහී ය නොදී රඳවා ගන්න පුලුවන්.

    එතකොට "අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න" කියා ආරාධනය කරන්න අවශ්‍ය වෙන්නේත් නෑ . .

    ReplyDelete