Wednesday, December 15, 2010

"ඈතින් දිදුලන හඳට වඩා මට......ලඟ ඉන්නා ඝණඳුරයි අගේ.."

සොඳුරු ජායාරූපය ගත්තේ..panoramio.com..

මලින් ගැවසී ගත් අශෝක වනයම නිසලය.මේ නිසල බව හද තුල නොයෙක් චිත්ත රූප මවයි..ඒ බොහොමයක ඔහු විජරාමාණ වේ..ඔහු වනාහි ලංකේධීශ්වර දුටුගැමුණු නරෝත්තමයාණන්ගේ එකම පුත්‍ර රත්නයයි.මේ අශෝක වනයේදී ඔහු මුලින්ම මුලිච්චි වූ දින සිට අද දක්වා සිද්ධි මාලාව ගැහෙන හදවතින් යුතුව ස්මරණය කරමි..
"දුවණිය..මාලා..මල් නෙලන්න අශෝක වනයට ගියාට කමෙක් නැහැ..සුනංගු නොවී එන්න ඕනෑ..සාලිය යුව රජතුමා මේ ඉසව්වෙ සංචාරයේ වඩිනවා කියලා ආරංචියි.."

"ඉතිං ..මා කැමතියි නොවැ උන්වහන්සෙ දැක ගන්න.."

"හැබෑටම උඹට මොලේ කළඳක් නැති හැටි..රැහේ චාලිත්තර පියණන්දෑ හොඳින් උගන්නැව්ව නෙවද..රොඩී කුලේ වෙච්චි අපි ඒ උත්තමයන්ගෙ හුළං ගැටෙන මානයකටවත් නොයායුතුයි කියලා නෙවද කියා ඇත්තේ..??.."

"එහෙමයි මෑණියනි.."

දෙමාපියන් ඉදිරියේ එසේ දිව් රා පොරොන්ඳු වුවද මගේ මනමාල හිත බලකලේම ඒ පින්වත් කුමරුවාගේ රූපශ්‍රීය දෑහින් දැක බලා ගන්නා ලෙසයි..රට තොට පැතිර තිබූ කුමරුවාගේ ගුණ ගායනා මාගේ සිතේ මේ දොළ ඇතිකරන්නට ඇත..ඉංතේරුවෙන්ම මේ වැයික්කියේ වගේම මේ රාජධානියේම ගැටිස්සියන්ගේ හීන කුමරා ඔහුම පමණි..ඉදින් මා නෙත් පුරා ඒ නව යොවුන් යව්වනයාගේ රූපශ්‍රීය විඳීමේ වැරැද්ද කිම..අනෙක මා තරම් රූපශ්‍රීය ඇති ගැටිස්සියක් මේ රාජධානියේම් නැතිබව දවසක් පියා මාමණ්ඩිය එක්ක කතා දමනවා මං බාලාන..
"අක්කණ්ඩි..! වහං වෙන්න..ඔන්න අසු කුර ගැටෙන ශබ්ධයක් එනෝ.."

මල් නෙලමින් සිටි මිත්තා එසේ කියමින් අසල වන රොදට පැන ගත්තාය..නමුදු මෙමට දෙපා සෙලවීමටවත් වාරු නුදුනුයේ කුමණ බලවේගයකටදැයි නොදනිමි..අසු කුර ලඟ ලඟම ඇසේ ..භයින් භිරාන්ත වූ මා මල් පැස ලයට තුරුළු කොටගතිමි..අසුපිටින් බට කුමරුවා මා ඉදිරියට පැමිණෙනු මට සිහිනයෙන් මෙන් පෙනේ..ආහා..මේ අශෝක වනයට ශක්‍ර දෙව් වැඩියාසේ ඔහු රාජ තේජසින් බැබලෙන අපූරුව..ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් හෙබි කුමාරයාගේ රුව හිත්පුරා විඳ ගතිමි..
සීවරං දෙයියනේ ඒ උත්තමයා වමත මිටි කොට සස්වාමික අස්වාමික බව විමසයි..මගේ හිත මට අකීකරුව අත්ල විදහාලමින් මා අස්වාමික බව පවසයි..

"මේ අශෝක වනයේ මල් නෙලන රූබරිය තී කවුද??"

"ම..මම.. මාලා ස්වාමීනි..! ගැත්තාට අනුකම්පාකරණ සේක්වා..රොඩී රැහේ නෑයක ඇත්තෝගෙ දොණියන්දෑ මම"

මා තෙපළු එබස් අසා රාජපුරුෂයෝ උරණව දුණු හී අමෝරා ඉදිරිය පැන්නද කුමරුවා එය වලක්වා ලූ අයුරු සිහි කරමි..
එදා ඒ සිද්ධිය රැහැට ආරංචි වී තිබූ හෙයින් රැහැම ගිණි ගෙන තිබුණි..මා පැල්කොටේට ගාටන සුණංගුවේ මිදුල පුරා ගමේම උදවිය භයින් භිරාන්තව බලා සිටිණු බලා මමද සැළුනෙමි..

"ආ..දැං ඉතිං රැහැම කම්මුතුයි...මං හූණා කියන්නැහේ කිව්වා නෙවද දෝණියැන්දෑට ඔය ඉසව්ව තහනම් කරාප කියලා..දැං ඉතිං ජීවිතේට තියෙන ආසාව අතෑරගනිල්ලා...!" මිත්තණිය විලාප දෙයි..

භයින් තැති ගත් මා හීංසීරුවේම පැලට රිංගා ගතිමි..රැහැයේ එවුන්ගේ රොස් පරොස් හමුවේ භයින් කුටියෙන් එළියට නොබටූයෙමි..පොහොයක් ගතවුවද හැල හොල්මනක් නොවූයෙන් පරණ පුරුදු ලෙසම සිටීමට වෙහෙසුනද ගම්මු මා කෙරෙහි උරනව සිටින බැව් හැඟුණි...වෙනදාට රැහේ නායකයාගේ දෝණියන්දෑ ලෙස ගරු බුහුමන් කලද අතැර යන ගැරඬි හැවක් ලෙස මා බැහැර කළෝය.  මේ චිත්ත පීඩාවෙන් මිඳීමට මං ලෙස අශෝකවනයේ තනිවම සැරි සැරීමි.කුමරා මා බැලීමට මග රැක සිටින බව හාංකවිසියක්වත් නොදැන අශෝක වනයට ආමි. එදා කුමරා මුලිච්චිවුණු අසෝක ගස මලින් බරව සෙමෙර සලමින් තිබුණි..මම ඒ දෙස බොහෝවෙලාවක් බලා සිටියෙමි...හදිසියේම වන රොදින් මතු වූ කුමරා මගේ දෑතින් අල්ලන තුරුම මේ ඉසව්වේ කවුරුන් හෝ ගැවසෙන බව මට නොදැණුනේ මන්ද??..ඇතිවූ කම්පනය නිසාවෙන් සිහි මූර්ජාවී වැටෙනුද ශක්ථිමත් ඒ දෑත මගේ බඳ වටා දැවටෙනුද මතක තියේ.
මුවට දැණුනු සිහිල් දිය පහස නිසාවෙන් නැවත පියවි සිහිය ලද මා දුටු දසුනින් සිහි විකල් නොවුණා තරම්..සාලිය කුමරාගේ ඇකයේ මා හිඳී..සීවරං දෙයියනේ..මේ රාජ තේජස කෙලසීමට තරම් මා කළ පව කිම..
හණික කුමරුවාගේ ග්‍රහණයෙන් මිදුණු මම ඒ දෙපා අල්ලා.යදින්නට වීමි..ඔව්..මාගේ රැහේ එවුන් වෙනුවෙන් මා දිවිදිය යුතුය... අවසරයි දෙයියෝ.!!

oooooo0ooooo0oooooo0oooooo0oooooo0oooooo

අශෝක මාලා මමයි ස්වාමිනී..
අශෝක මල් වනයේ..
රනේ රුවට රූ සපුව දිලෙන මුත්..
මා චණ්ඩාලියකී..
මා...චණ්ඩාලියකී...

නොලැබෙන පෙමකට හඬා පලක් නෑ.
එපා රජුණි මට රාජ සුවේ..
තල් අතු මැදුරයි..මේ වන අරණයි..
අපට අගේ අපෙ..හීන කුලේ..

අශෝක මාලා මමයි ස්වාමිණී...

රජකුල පෙළපත එයින් කමක් නෑ..
එන්න එපා..අතු පැලට මඟේ..
ඈතින් දිදුලන හඳට වඩා මට..
ලඟ ඉන්නා ඝණඳුරයි අගේ..

අශෝක මාලා මමයි ස්වාමිනී...


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :චන්ද්‍රලේඛා පෙරේරා

10 comments:

  1. අර්ත ගැන්වීම කදිමයි.

    ReplyDelete
  2. පසුබිම් කතාව සල රූ සිතුවමක් සේ මනසේ ඇඳී ගියේ ඔබේ වදන් වල අපූර්වත්වය නිසාමය. ඔබට ජය!

    ReplyDelete
  3. චන්ද්‍රලේඛාගේ අපූරු හඬත් එක්ක මුහුවුනු මේ ගීතයට මමත් හරිම කැමැතියි.

    ReplyDelete
  4. @Ano,
    ස්තූතියි ගොඩවැදුනට...

    ReplyDelete
  5. @දුකා,
    ඔව් ඇත්ත තමා..ඒ කටහඬ බොහොම විරලයි,මාදූර්‍යයි.ස්තූතියි ගොඩවැදුනට.

    ReplyDelete
  6. මේ ගීතය මගේ පරණ එකතුවක එකක්. ගීතයේ තාලය හා ගැයුම හරිම මියුරුයි. ඔබේ ගී සිතුවම ඒ මියුරු ගීතයට සුන්දර පසුබිමක් සකසා දුන්නා, එය ලස්සන සිතුවමක් කියනවාට වඩා රූප පෙලහරක් වගේ. ගොඩාක් රසවින්ඳා.

    ගල්මල් අඩවියේ ඔබේ සටහන ලුහුබැඳ ආවේ.

    ReplyDelete
  7. @ගල්මල්-Coral,
    ඔබ වාගේ සුන්දර මනුස්සයෙකුගේ සටහන කප්පරක් අගනේය..ආදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට..

    ReplyDelete
  8. ඈතින් දිදුලන හඳට වඩා මට..
    ලඟ ඉන්නා ඝණඳුරයි අගේ....

    ගැඹුරු තේරුමක් තියන මම ආසම සින්දුවක්...

    ලස්සනයි.

    ReplyDelete
  9. @හිරු පබා,
    ඔවුනෙ අර්ථ රසයත් එකතුවුනාම අද්වතීය නිර්මාණ බිහිවෙනව..ස්තූත්යි සටහනට

    ReplyDelete