Thursday, December 23, 2010

"ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද....."

තෙන්නකෝන් මුදියන්සේලාගේ සහන් ඉරුගල්බණ්ඩාර වන මම.....

ආසිරි ස්තෝත්‍ර ගායනා මැද ඇගේත් මගේත් සුළැඟිලි එකට බැඳෙනු දැනේ.එනමුදු හදවතට නැවුම් හැඟීම් නොපැමිණෙනුයේ මන්දැයි මා සිතමි..හැඟීම් දැනීම් මීට මාස කීපයකට උඩදී මරා දැමූ බව මතක් වුනද සිතිවිලි ඒ හරහා දිවනොගියේ පැන් කෙණ්ඩියේ සිහින් සිදුරෙන් වෑහෙන සිහිල් පැනින් සුලැඟිලි අග තෙත් වූ නිසාවෙනි...
මංගල පෝරුව අවට රැස්ව හුන් නෑදෑ හිතවතුන්ගේ සන්තෘෂ්ඨිය පිරුණු  මුහුණත් තහඩු මතින් ගෙනෙන සුහද ශීලී සිනහවන්ට බියෙන් නැවත ම නෙතු ශාලාව කෙලවරින් වූ සරහන ලද කවිච්චිය මත රැඳවීමි..

"මට මංගල පෙරහැරවල් ඕනෙ නැහැ ..ඉක්මනටම මාව ඔයාගාවට ගන්න සහන්.."

දිනෙක ඈගේ මුවින් පිටවූ වදන් සිහියට ආවේ මොන කරුමයකටදැයි නොදනිමි.තවදුරටත් ඒ ඔස්සේ සිතිවිලි මෙහෙය වීමට බිය වූ මම යන්තමින් මුහුණ හරවා ඈ දෙස බලමි.මද සිනහවකුදු නොමැති ඇගේ හැඟුම් විරහිත මුහුණද සිත තව තවත් අඳුරු අගාදයකට ඇද දැමුවෙන් මේ හැඟුම් මරා දැමුණු යුවතිපතින්ගේ මංගල්‍යයට අනාරාධිතවම ගලාඑන ඈ පිළිබඳ මතකයන් යටපත් කරන්නට වෙහෙසුනෙමි..

"සහන්.මොකද බන් ..ටිකක් හිනවෙයන්කො...උඹලව මරන්න යනව නෙවිනෙ.."

මිතුරා හෙමිහිට සවන ලංව දෙඩූ වචන නිසාවෙන් හඬන සිත යටපත් කොට සිනහවක් ආරූඩ කරගැනීමට මා ගත් වෙහෙස සාර්ථක වූවාදැයි නොදනිමි...එය සිනහවකට වඩා මුහුණ ඇද වී යාමක් ලෙස දැණුනි..

"පුතේ ඔය කාරණය උඹ හිතෙන් අයිං කරගනින්..මං උඹව වැදුවෙ..හැදුවෙ මේකටද දෙයියනේ.."

"මං උඹට අකීකරු වෙනව නෙවෙයි අම්මෙ..අනුත්තරා මට ගැලපෙනව.."

"උඹට ගැලපුනාට අපට ගැලපෙන්නෙනැහැ..පුතේ මේ අවසන් වතාවට මේ කියන්නෙ..උඹ ඔය සක්කරවට්ටම ගැන තියෙන අදහස අයිං කරගත්තෙ නැත්නම්..උඹ හිතුවක්කාරකමක් කෙරුවොත්..අම්මපා මම අත්තන ඇට කනව.."

විලාප තබමින් මව් කියූ වදන් නිසාවෙන් මා බියවූ තරම මෙසේ මේ පොරුමස්ථකයේදී නන්නාදුනන්නියකගේ ස්වාමියා වීමට ඉඩහසර සැලසුවා අනුත්තරා..පියා නැති වූ දා සිට මා හැදූවැඩූ මවට අකීකරු වෙන්න මගේ හිත ඉඩ නුදුන් නිසා මා  එසේ මරා දැමීමකට ලක් කලේ උඹේ හීන පමනක්ම නොව මා මැවූ සුන්දර අනාගතයයි අනුත්තරා..

අද මා සමඟ මේ නාටකයේ මනාලියට ඇඳ සිටින සාගරීද මා මෙන්ම වියවුල් වූ චිත්ත ස්වාභාවයෙන් පසුවන බව දනිමි..නන්නාදුනන මානවකයෙක් සමඟ අතිනත් ගන්නට සිදුවීම තරම් දඬුවමක් මානවිකාවකට නොමැති බව දනිමි..

"ඔයා කාටහරි ආදරය කරල තියෙනවද??"

ඈ හා දොඩන්නට තනිපංගලමේම අවස්ථාවක් ලැබුණු දින සාගරී මගෙන් විමසුවාය..හදවත සසළ වුවද මම ඇයට ඇත්ත පැවසීමි.

"ඔව් සහන් අපි මහ පව්කාරයෝ..මටත් දාල එන්න බැරි ආදරයක් තියෙනව..ඒත්..."

"අපි අපි ගැන දැනගන්නෙ නැතිව කොහොම ජීවිත කාලයක් ඉන්නද සාගරී..??"

"කොහොමවුනත් අපිට මේ රඟ මඬලෙන් පැනල යන්න බැහැ.."

ඔව් අපි මෙතැන් පටන් ජීවිතය විඳවමු සාගරී..ජීවිතයෙන් පලායාම මෝඩ කමක්..!
රූකඩයක් සේ එහාමෙහාවන මුදු පැලැඳූ අතගෙන මීලඟ දර්ශණය සඳහා පෝරුවෙන් නික්මුණෙමි.

"සිරුරින් එක තැන ..හදවත් දෙතැනක..
දෙදෙනෙකු වෙමු අපි..එකම වහල යට.."

සිත්තම ගත්තේ..artistrising.com

උඩපේරුවේ මොහොට්ටාලලාගේ සාගරිකා සන්වේදනී කුමාරිහාමි වන මම....

ආසිරි ගී මැද පෝරු මස්ථකාරූඩව දීග යෑම වූ කලී ඕනෑම යුවතියකගේ සිහිනයක් බව ඔබට කිවයුතු නොවේ..නමුදු තමන් ආදරය කරන ප්‍රේමවන්තයා හැර පියා වෙනත් අයෙකුගේ අත ගැනීමට සිදුවෙනවා තරම් අසරණ කමක් තවත් නොමැති බව මට දැන් දැනේ..

"ඔයා මාත් එක්ක එන්න සාගරී...වෙනදේකට අපි එකට මූන දෙමු.."

"මට බැහැ.මට බැහැ ඔයාව දැන දැන අනතුරේ දාන්න..අපේ අයියල මට විශ්වාස නැහැ.."

අපගේ අවසන් හමුව සඳහා මා සූදානම් වූයේ දහ අතේ කල්පනා කොට හොඳින් හිතා මතාය..මේ තීරණය මා ගත්තේ  මම ඔබට සැබවින්ම ආදරය කළ නිසයි සේන...

මගේ දකුණුපසින් රූකඩයක් සේ රැඳී සිටින ඔහු දෙස බැලීමි..ඔහු සිනාසෙන්නට උත්සාහ කරයි..එහෙත් ඔහු මුව ඇද කලා පමණි..මටද සිනාසීමට අමතකව ගිය සැටියෙකි..මනාලියකගේ හැසිරීමෙන් පෙනෙන ලජ්ජාශීලී බවවත් මා තුලින් දිස්වූයේදැයි නොදනිමි.හැඟීම් වලට අගුල් දැමුවේ මීට මාස කීපයකට ඉහතදීය.අනුන් විසින් මෙහෙයවන රූකඩයක් සේ ඒ ඒ විධානයන් අනුව අචේතනිකවම ක්‍රියා කෙලෙමි..

කෙසේවතුදු අපි අපි හඳුනා නොගත්තද මේ මොහොතේ සිට මේ අතිනත් ගත් මානවකයා සමඟ ජීවිතාන්තය දක්වා දුක සැප බෙදාගැනීමට සපත කළෙමි.යහපත් බිරිඳක් ලෙස ඔහු ඉදිරියේ ආත්ම වංචාවෙන් රංගනයක යෙදීමට සිදුවේද??
එසේ කිරීමට මා සමත් වුවහොත් ජීවිත රඟ මඬලේ දක්ෂතම නිලියට හිමි සම්මානය මෙමට හිමිවනු ඇත..නමුදු ජීවිතයට නොහඳුනන මඟ පෙන්වන්නෙකුගේ පසුපස වැටිමට සිදුව ඇත..එක් සහනයකට ඇත්තේ ඔහු මා තේරුම් ගත් බවක් පෙන්නුම් කිරීමය..මා මෙන්ම ඔහුද එකම මානසිකත්වයෙන් පෙලීම එක අතකට හොඳය..දෙදෙනාටම පාර වැරදී තිබේ..ඉදින් කවදා අප අපව හඳුනාගනිත්ද...නමුදු සමාජය ඉදිරියේ අපද යුවති පතීන් වීමු..

"ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..
අපට මියෙන තුරු හැඳිනිය හැකි වෙද.."

ooooooooo0ooooooooo0ooooooooo0ooooooooo0ooooooooo

බිරිඳ මගේ ඔබ..
නෑ මා ඔබගේ බිරිඳ නොවේ..
දෑඟිලිහුයකින් ..බැඳි පමණින් මා..
ඔබගේ බිරිඳ නොවේ..ඔබගේ බිරිඳ නොවේ..

ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත..
මා පෙම් කළ අය මටද ලැබී නැත..
මව් පිය නෑ සිය ආසිරි ගී මැද..
දෑඟිලි පමණක් එකට බැඳී ඇත..දෑඟිලි පමණක් එකට බැඳී ඇත..

සිරුරින් එකතැන..හදවත් දෙතැනක..
දෙදෙනෙකු වෙමු අපි එකම වහළ යට.
ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :නන්දා මාලනී/ගුණදාස කපුගේ


 

5 comments:

  1. සියළු දේ අත්හැරීම,

    කෙතරම් අපහසු දැයි මෙම අර්තකථනය කියවීමෙන් මා හට පසක් විය.
    සිද්ධාර්තයන් ඒය කලේ කොතරම් ෙෙදර්‍යකින් දැයි මම නොදනිමි.
    නමුත් මා ඒක දෙයක් දනිමි.
    දෙදෙනක් ආදරය කර විවාහ වූවා යයි කියමු.
    ඔවුන් කරන්නේද ,අත්හැරීම, කල්දමා ගැනීමක් පමණි.
    කෙදිනක හෝ මියයන දිනයේ හොදින් හෝ නරකින් අත්හැරීම කරනට සිදුවේ.
    විවාහය යනු බැදීමකි.
    අප සසරට බැද තබනා බැදීමකි.

    ReplyDelete
  2. ලස්සනයි, අගෙයි, හැඟුම්බරයි,

    ReplyDelete
  3. @Hishan Melanga,
    සාදු..සාදු..සාදු...! හැබෑව මල්ලියේ පෙනෙන එකම විසඳුම "අතහැරීම"මයි මල්ලියේ...එකම පිහිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයමයි..අන් සරණක් නැත...

    ReplyDelete
  4. @Ravi,
    ස්තූතියි..ඔබගේ පැමිණීම සතුටක්...

    ReplyDelete