Wednesday, December 8, 2010

"මගේ කලා වැව සදා රකිණුමැන....අවුකන පිළිම සමින්දේ...."

 
වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ..
ඇයි හදවත රිදවන්නේ..
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ ..
පියරජු සෙවනේ උන්නේ..

බලන්න දෙටු පුත..මේ දිය තලයම
කෙත්වතු සාර කරන්නේ..
මට ඇති වස්තුව..මට ඇති සම්පත..
මේ නිල් දිය කඳ වන්නේ..

හිටුවා පස් ගස්වා මා මැරුමට .
කවුරුද පුතු සිත බිඳේ..
මා මළ පසු පුත මිහිදන් කල මැන
කලා වැවේ වැව් බැම්මේ..

මගේ කලා වැව සදා රකිණුමැන
අවුකන පිළිම සමින්දේ..

================================================================
    අවසන් වරටද මා පණමෙන් ආදරය කරණ ඒ මහා දිය කඳ දෙස බලමි..මා සිතෙහි පසු තැවීමක් නම් නොවේ.මේ මවුබිමට ආදරය කරණ රාෂ්ඨ පාලකයෙකු ලෙස මගෙන් මේ බිමට සහ මාගේ ආදරණීය රටවැසි දූ දරුවනට යුතුකම් ඉටුකළාහ'යි මා සිත තුළ ආඩම්බරයක් පවතී.මින් මොහොතකට පෙර මේ වැව් පිටියේදී සිදුවූ සිද්ධිදාමය නැවත ස්මරණය කොට ම'පුතු කෙරෙහි කහටක් හිතේ ඇත්නම් එයද සෝදාහැරීමට සිතමි.
"හ්ම් දැන් ඉතින් නොවළහා කියනු ඒ මහා ධනස්කන්ධය කොහිද කියා..."
මාගේ දෙටු පුත් කාශ්‍යප අඩි හප්පා විමසයි.මිගාර මහ සෙනවි වෛරයෙන් දිළිහුණු දෙනෙතින් යුතුව තෘප්තිමත් බැල්මෙන් මා දෙස බලා හිඳී.ඔහු නියමයෙන් දෑත් බැඳි යදම් ගැලවුනද මාස ගනනාවක් තිස්සේ දෑත සිරකොට තිබූ මේ යදම් නිසාවෙන් තුවාල වී කුණු වී තිබූ වලළුකරට සුවයක් දැණුනද ඒ ගැන නොසිතාම මාගේ සියළු සම්පත වූ දිය තලයට දෙපා එසවීමි.
මහ වැව් තලය දියරැළි නංවමින් මුදු සිහිල් සුළඟක් ඇතිකළේ මා නිසාම යැයි හඟිමි.ඇසට පෙනෙන නොපෙනෙන මානයේ දිස්වන මා ජල තලය මොහොතක් අතීතයට මා කැඳවයි..
එසමය පර සතුරු චෝල ආක්‍රමණික ශිව මාගේ නැදෑ රජදරුවන් එකිනෙකා කැති ගාමින් මෙ පුරය වනසමින් මහා ව්‍යසනයක් ගෙනගිය කාලයයි.මා සිවුරු පොරවා මහා සංඝ ශාසනයේ රැකවරණ නොලබන්න මගේ මාතෘභූමිය නිදහස් කරගැනීම සිහිනයක් පමණක්මවනු ඇත..කෙසේවතුදු "මිගාර"යන් මා සමඟ එක්වීම සහ සේනා සංවිධාන කොට නොබෝකළකින්ම මුළු ලංකා ධරණී තලයත් උතුම්වූ බුද්ධ ශාසනයත් ආරක්ෂාකොටගතිමි.අනතුරුව එළඹි සංවර්ධනයුගයේදීද මිගාර දැක්වූ රාජපාක්ෂික භාවය නිසාම මාගේ ප්‍රිය දියණිය සරණපාවා දුනිමි.මහා වැව් දාගැබ් මහා ඇල මාර්ඝ මවු බිමට දායාද කොට ඇත්තෙමි.මිගාරගේ වීර පුත්‍ර රත්නය නමින් මේ වැව නම් කළ බවද සැබැවි...නමුදු මිගාරගේ කෲර වදහිංසා විඳින  ම'දියණියගේ ශෝකාලාපය නොදකින්න මා තවමත් මේ කිරීටයේ රැඳෙනවා නොඅනුමානය.පියතුමෙකු ලෙස ඒ වද හිංසා නොදකිණු රිසියෙන් මිගාරයන්ට දඬුවම් නියම කෙලෙමි..නමුත් මාගෙන් බේරී පලාගිය ඔහු දෙටු පුත් කාශ්‍යපයන් රවටාගෙන මාගෙන් පළිගනීවියැයි මා නොසිතූවෙමි.නමුදු සියල්ල සිදු වී හමාරය.
වැව ඉහත්තාවේ අව්කන බුදුපිළිම වහන්සේ මහා කරුණාවෙන් මේ දියත දෙස බලා හිඳී..නමුදු "කර්මය"පලදීම උන්වහන්සේගේ මහා කරුණාවටවත් වැලැක්විය නොහැකි බව දනිමි.මා සතුව මහා ධනයක් සඟවා ඇති බව මිගාරයන් පුතුව නොමඟ යවා ඇතිබව හැඟේ..ඉදින් මම් කුමක් කරන්නෙම්ද..මළහිරු ඈත දියඹේ සැඟවයන්නට ආසන්නය.ඉදින් මේ අසිරිය විඳ ගැනීමටවත් මහට ඉස්පාසුවක් තෘෂ්නාවෙන් බර වූ පුතු ඉඩ නොදෙන හැඩය..ඔහු පිටුපස සිට ගර්ජනා කරයි..වැව් දියෙන් දිය දෝතක් ගෙන පානය කෙළෙමි..සියළු දුක්ඛ දෝමනස්සයන් මඟහැරී යනුද මහා සැනසුමකින් මගේ ආත්මය ගිලගනුද අත් වින්ඳෙමි.
නැවතත් දිය දෝතක් ගෙන සිරුර නැහැවීයන් සේ විදාහල මම..

"පුතණ්ඩ..මේ..මාගේ මහා ධනයයි..මේ නිල් දිය කඳ නුඹට..මාගේ රටවැසි දුවාදරුවන්ට දායාද කරමි.." 
කාශ්‍යපයන්ගේ මුව ක්‍රෝදයෙන් දැවී යනුද..මිගාර සෙනවි වියරුවෙන් සිනාසෙනුද මා නෙතට හසු වූවද ඒ ගැන තැකීමක් නොකොට නිල්දිය කඳ වැළඳ ගතිමි..

"හෙහ්..නුඹ මාගේ පියතුමා නොවන බවයි තේරෙන්නේ..තා මා සමඟ ඔච්චම් කරන්නේද??.."

දෙවනවරද මේ දිය කඳ මාගේ සම්පත යැයි හඬගා කීමි.
"හ්ම් එසේද??එසේනම් උඹ ඒවා අර මුගලන්ට දෙන්නයි හිතාන ඉන්නෙ..රාජපුරුෂයණි..මොහු හිටවා පස්ගස්වා මැරීමට අණ කරමි.."
"පුතණ්ඩ..එය සැපයකි..මා මළ පසු මේ වැව් බැම්මේම මිහිදන් කළ මැනව..එයයි මාගේ අවසන් ඉල්ලීම..!
                                                                                                   
සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :ඇන්ටන් රුද්‍රිගු

2 comments:

  1. සදා කාලික වස්තුවක්
    වේය දරු සෙනෙහසක්
    එනමුදු ශෝකයක්
    ඇති කළේ මේ පද වැලක්

    ReplyDelete
  2. @Hishan Melanga,
    ඔව්..මලේ..ධාතුසේන නිරිඳුන්ට එයම ඇති නිවන් දකින්නට..නමුත් කර්මය පලදුන් සැටි එසේමැයි...සතුටුයි ගොඩවැදුනට..

    ReplyDelete