Saturday, January 22, 2011

"මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.. හැඩරුව බලන්නෙපා.."

සිත්තම ගත්තේ..beaconartworkscorporation.imagekind.com නි.

 බාල්දි විට්ටමේ කොක්ක ගැටෙන හඬින් ඈ දියට ගොසින් පැමිණිවග හඳුනාගතිමි..බැන අඬ ගැසීමට කාරණා හොයමින් සිටින මට ඇගේ සුළු අතපසුවත් පෙනෙනුයේ නුහුරටය..ඒත් මා එසේ ඈ ඉදිරියේ හැසිරෙනුයේ අනාදරයකින් නම් නොවන වග කවදා හෝ වටහා ගන්නවා ඇත..මල්වර වූයේ දැනට පෝය දෙකතුනකදීට පෙර වුවද ස්ත්‍රී ලාලිත්‍යය කියාපාන පිරිපුන් ලැම සිහින් ඉඟසුඟ මා දියණිය රූපත් එකියක් වන ලකුණු කියාපායි...ඒත් දෙයිහාන්දුනේ මම මේ කෙල්ල කෙසේ සරසන්නද..?

"ඈ බතියෙ උඹට කීවංගියක් දොඩල තියෙනවද ඉර හැරුනට පස්සෙන් පහු දියේ එබෙන්න යන්න එපාය කියල..උඹට කියන කට.."

"ඇයි මයෙ අම්මෙ ආඩපාලි කියන්න තියාගත්තෙ..මං උඹන් අහල නෙවද ගියේ..හිච්චිනගා මා එක්ක තනියට හිටිය නෙව.."
හැබාවටම මං එසේ කීවිත්තිය අමතක වූ සැටි..කෙල්ලගේ දිගුවරලස තට්ටම දක්වාම කඩා හැලේ..කෙහෙවල්ල නිදහසේ හෙළමින් තෙත මාත්තුකරන හැටියෙන්ම පැත්තෙන් මාදෙස හැරී දෙඩූ විලාසය මාව පුච්චා දැම්මා මගෙ දුවේ...
මහ මනුස්සය ගල්වලේ වැඩකරල හොයන තුට්ටු දෙකින් මාසෙ වියදමවත් පිරිමහගන්නට බැරිව තිබියදී කෙසේ නම් ඇගේ කර සරසන්න මාල පොඩිත්තක් ඇන්න දෙන්නදැයි නොතේරේ...
"කෙල්ල මල්වරවුණු නැකත බොහොම නරකයි..පරිස්සම් කරගන්න වෙයි.."
නැකැත් රාළ එදා දෙඩූ වදන සිහි වී අළුතෙන්ම තිගැස්මක් ඇති වී උවමනාවෙන්ම කෙල්ලගේ මූණ දෙසත් ඉහේ හිට දෙපා තෙක් බැළුම් හෙලීමි..

"මොකෝ මයෙ අම්ම..මයෙ මූනෙ පෙරහැරක්වත් යනවයි.."

උබේ රූපෙ සරසන්නට වත් පොහොසත්කම් නැති හින්ඳාම බිත්තියේ එල්ලා තිබූ කැඩපත බිම දැම්මේ මමමයි දුවේ..මට කෑ ගසා හඬන්නට සිතේ..

"අනේ..මේ කණ්නාඩිය බිම වැටිල..මොකදවුනේ අම්ම..??"

"අද දහවලේ ගැරඬියෙක් ගෙට ආව..ඒ වෙලාවෙ බිම වැටෙන්නැති මයෙහිතේ.."

උඹේ ලස්සන උඹ දකින්න මට ඕනෑවුනේ නෑ දුවේ..අනුන් උඹ දුටුවාවේ..කණේ කඩුක්කන්..ගෙලේ මාල අනෙක්  එකියො පලඳාන හිටිනව බලාල උඹ හූල්ලනව මට බලා හිටින්න බැරිවුණා දුවේ...මට සමාවෙයං..කැඩපත බින්ඳෙනම් මමයි..ඒත් ඒ සිද්ධිය මා තවත් පෙලාවියයි මා සිතුවේ නැත.වෙනදාට කහට කෝප්ප්පය දෙනකම් ලිප් බොක්කෙහි මිටි කොලොම්බුවේ ඈඳිගෙන හිටින ඇය හණික ළිඳට එබෙන්නේ ඇයිදැයි දැන් මට වැටහේ..වතුර සෙලවෙන්නට කළියෙන් ළිඳට එබෙන ඈ තනිවම හිනාවෙනවා දින කිහිපයක්ම දුටිමි..මගෙ දුවේ දිනෙන් දිනම උඹ මාව අසරණ කරනවා දැනේ..

"දැං මේ කෙල්ල ළමිස්සියක් වෙච්චි..මට තේරෙන්නැහැ ඒ උවමනා එපාකම් කොහොම පිරිමහන්නද කියල.."

දෙ අත්ලේ වූ කරගැට පොල්තෙල් ගල්වා පිරිමඳින වේලෙහි අප්පුහාමිගේ මුවින් පිටවූ වදන් ද මා හිත බරකෙලෙන්.. ඇතුළු ගෙය දෙස එබී බැළිමි....කණාමැදිරි ලාම්පු එළියෙන් වරිච්චි බිත්තිය මත වැටී ඇති සෙවනැල්ල දකිමින් හිස පීරන නුඹ මගේ හිත තලා මිරිකා දැම්මා මගෙ දුවේ....

oooooo0oooooo0oooooo0oooooo0ooooooo


පිපුණු මලේ රුව එමල දනීදෝ.. පිපුණු මලේ රුව එමල දනීදෝ..
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා.. හැඩරුව බලන්නෙපා..
නැති බැරිකම මුතු මාල හතක් වී.. කඩුල්ල පැණ එයි උඹ අත කරලන දා..

කටුමැටි බිත්තිය හැඩකර අඳිනා..රෑ හෙවනැල්ලෙන් හිස් පීරන්නේ..
නොතලන් සිත මා ආදර දියණියනේ..ආදර දියණියනේ..
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි..වීදුරු කැඩපත බිම දැම්මේ..

ළිඳේ අඩිය හිරු නොබළන පින්නේ..එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ..
නොතලන් සිත මා ආදර දියණියනේ...ආදර දියණියනේ...
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි..වීදුරු කැඩපත බිම දැම්මේ..


සොඳුරු සළරූ සිත්තම kasshapa සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි


සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :නන්දා මාලනී

8 comments:

  1. සරල කමත් ගැහැණු ළමයෙකුට ආභරණයක් නොවේද?

    ReplyDelete
  2. මගේ ප්‍රියතම ගීතයක්, ස්තූතියි සහෝදරයා,

    ReplyDelete
  3. @Hishan,
    ඇත්තයි මලේ...මේ ගෑණුදරුවන්ට ඒක නොතේරෙන එක නොවැ අරුමේ...??

    ReplyDelete
  4. @Ravi,
    ස්තූතියි ඒ සතුට මාත් එක්ක බෙදාගත්තට..ඔබගේ පැමිණීම සතුටක්..

    ReplyDelete
  5. @සන්සරසිදු,
    මලේ.....ආදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට

    ReplyDelete
  6. අධ්‍යාත්මික සාරධර්ම වලට වඩා භෞතික දේවල් වලට වටිනාකම් ලබාදෙන තරඟකාරී සමාජේ කෙනෙක්ගේ ඇඳුම්-පැළඳුම් කන-කර එක්ක තම්ගේ නැති-බැරිකම සංසන්දනය කරලා දෙමාපියන්ගේ හිත් නොරිද්දා නැති-බැරිකම් ඉවසා ගැනීම සැඩ පහරේ උඩුගං බලා පීනනවා වගේ වැඩක්.

    කෙනෙක්ට එහෙම හිතක් ඇති කර ගන්න පුලුවන් නම් ඒ කෙනාට මහා මන්දිරෙත් පොල් අතු පැලත් දැනෙන සුවය එක සමානයි.

    අෂ්ට ලෝක ධර්මේ තියෙන යස අයස දෙකම කිසි අවුලක් නැතිව විඳ ගන්න ඇහකි.

    අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
  7. @දුකා..,
    ඔව්..ඇත්ත දුකා...අල්පේජ්ජතාවයට හුරුවීම කියන්නේ මහා සතුටක්..අවශ්‍යතා සීමිතයි කියන්නෙ පොකැට්ටුවටත් වාසියි නොවැ..සතුටයි වාසියයි ජීවිතයට එනව නම් වෙන මොනවද????
    අදහස් දැක්වීම සතුටක්..

    ReplyDelete
  8. @jeevithemal,

    ඔබව ආදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete