Sunday, January 16, 2011

"ආදරයද මේ දැනෙන්නෙ සුවඳ විහිදුවා....."

සිතුවම් ගත්තේ scrollsfromchina.com අඩවියෙනි.


පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නැවුම් හැඟුම් මා වටකර රඟන ලතාවයි...

බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා..
මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

මට මතකයි මට මතකයි පුංචිකාල මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගීගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වෙලා..
රිදී කාසි සැළෙන හඬින් හිත හිනාවුණා....

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ...
හනි හනිකට මංයනවා හිත සැහැල්ලුවේ..
කවුරුන්හෝ මට කියන්න කණට ළන් වෙලා..
ආදරයද මේ දැනෙන්නෙ සුවඳ විහිදුවා..

oooooooooooo0oooooooooooo0ooooooooooooooo0oooooooooooo

ම්...මේ තරම් සැහැල්ලුවක්..වටාපිටාවම නැවුම්..මගේ හිත් පොඩියට මොන විපරියාසයක් වෙලාද මං දන්නෑ..මට ඉගිල්ලෙන්න ඇත්නම්...!

"නගා ..පොඩ්ඩක් හිටිං බං..දාංගලේ නැතුව..උඹත් එක්ක තනිපංගලමේ දොඩන්න කාරණයක් තියෙනවා මට.."

මහ නියරෙදි සේතං අයියා මූනට මුලිච්චිවූ දින දොඩන්නට තන්නනෙ මක්කාදැයි මට ඉවෙන් දැණුනුවග උන්දැ නොදන්නව වෙන්ටැ..මං මක්කටේ තකහණියේ උන්දැ දොඩන ඒවා අහං ඉන්නෙ.ඒ පරාණෙට මා මනාප නැතුවා නෙව..

"කෙල්ලෙ දැං උඹ ළමිස්සියක් වෙච්චි..විළිසංගෙ ඇතිව හැදෙන්න ඕනෑ..ඔන එකටයි එපා එකටයි කැකිරිපලන්න තිබා ගත්තම දකින උන් මොනා නොහිතාද??'

මා කඩපිළදී සොබනි දැක්ක කතාදමනවා බලාහිට අත්තම්ම මා දැක්ක ඔවා දෙන්න තිබා ගත්ත..මොන කරච්චලයක්ද මං දන්නෙනැහ්..උන්දැට ඉතිං මා නෙරිය තියාල චීත්තෙ ඇන්දත් ඇදයක් නොවෑ...එක අතකට අර කැකුළි කාලෙ ..අම්මපා...මං දැක්ක හීන..දවසක් දේදුන්නක නැගලත් හිටිය නොවෑ..

"එතනො කෙල්ල ගැන ඇහැගහගෙනහිටහං..ඇහැට කණට පෙනෙන්න හිටින එකී...අහළ ගං හතකවත් මේ වගේ හැඩ ඇති එකියක් නැතුවා විත්තිය ගම්මු කතා වෙනව.."

ළඟදී දොහොක එපිටහ ඇත්ති අම්මත් එක්ක කතා දමනවා මං බලාන.සීවරංදෙයියනේ..ඒකට මං ඉතිං මක්ක කොරන්ඩදෑ..මං එනකොට ගමේ ගැටවුන්ගෙ කටවල් ඇරෙන විත්තියත් උන්ගේ ඇස් ගෙඩිදෙක එළියට පනින්නට තනන බවත්  මං දන්නවා...

"ඈ මලියො..ටිකක් සංවරව පයතියහන්කො..ඔය අඹරණ ඇඹරිල්ලට ගැටව් දපනෙ වැටෙන එක අහන්න දෙයක්ය.."

දීග යන්නැතිව ගෙදරටම නාකි වෙන සතී අක්කණ්ඩි කීවෙ මා ගැන ඊර්ෂ්‍යාවටමද..?? ඒකිගෙ මනස්ගාත..ඔය මගෙ පස්සෙන් වැටෙන එක ගැටයෙකුටවත් මගේ හිත දෙයි කියලයි බය.! මගේ හිත රතු අයියණ්ඩි වෙනුවෙන් හීන දකින විත්තිය මම්නෙ දන්නෙ..මේ යෝධයා ඊයෙ වැව් පිටියෙදි ආලවන්ත කම් පාන්න ආවට මගෙ හිතේ උඹ හිටියෙ බොහොම දවසක හිටැයි උඹ දන්නවා නම්..

"නගා මං උඹට මනාපයි බං.."

තවත් එතන කතා දමන්න මට ඕන වුණේනෑ..සන්සාරේ..මං උඹෙන් අහහගන්න පෙරුම් පුරපු වචනෙ උඹ දෙසාබානකොට මට ඉන්න හිටින්න බැරිව ගියා නෙව..සතුටේ බැරුව..

වෙනදාට මගේ අසංවර ගමණින් විහිරෙන මේ පිණි බිංදු ගැන ලෙංගතු හිතෙන්නෙ මක්කෙයි..ම්..ම්..මටත් කිරිල්ලියක් වගේ පියාබන්නට ඇහැක්නම්..තව සීපදයක් ගයන්නට හිතේ..කවුරුහරි කියාදෙනවද මේ  මගේ හිත් පොඩියට දැනෙන  විපරියාසෙ මොන කෙංගෙඩියක්ද කියාලා...???


සොඳුරු සළරූ සිත්තම surangika0111 සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි.

 

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :ලතා වල්පොල

4 comments:

  1. අපි දැන් ගෙවල දාන්නෙ තරුණ කාලේ නෙව.

    හොදින් ඉගෙන ගෙන, උපයන්න මාර්ගයක් එහෙමත් හොයාගෙන පෙලවහක් කර ගන්නත් එපායේ....

    මක්කැයි මං අහන්නේ.....?

    ReplyDelete
  2. @Hishan,

    හොහ්..හොහ්..!..හැබෑව හැබෑව කොල්ලො...ඔය අල්ලපනල්ලෙ කැකුලියක් දැක්ක හඳුන්පොත කී ගාන්න ගත්තොත් මටත් කියනව හොඳෙයි....???

    ReplyDelete
  3. මේ ගීතයට නීටා ෆනෑන්ඩු මහත්මිය රඟපාපු දර්ෂනය ඇස් ඉදිරිපිට මැවී පෙනුනා.

    මේ වීඩියෝ එක ලෝඩ් වුනේ නම් නෑ . .

    ඒකට කමක් නෑ ඔබේ රචනාව හරහා පැරනි නිතර දුටු රූප පෙළකුත් හිතේ නිතර රැව් දුන් ගීතයකුත් මනසින් වින්දා

    ReplyDelete
  4. @දුකා..'
    මම ඔය වීඩියෝව ගත්තෙ යූ ටියුබ් අඩවියෙන් ගිහිල්ල බලන්න..අපූරු නිර්මාණයක්...ඒ දවස්වල ගී හතේ ඕක විකාශණයවනකොට් මගෙ හිත බැඳගත්තා..මං හිතන්නෙ දැනට අවුරුදු දහයකට විතර එහාදි....

    ReplyDelete