Saturday, January 8, 2011

"මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ.."

මා මේ කියන්නට යන කතාන්දරය අසා ඔබ මා පිළිබඳව මවාගනුලබන චිත්‍රය මේ යැයි මා හද තුල අදහසක් පවතී..මහ "විළි සංගෙ නැති එකියකි"යි ඔබ සිතනු ඇත..කෙසේවතුදු මෙය කියා දැමීමට තීරණය කෙළෙමි.
යෞවනත්වය වූ කලී සුන්දරවූත් ආනන්දනීය වූත් කාළපරිච්චේදයකි...මා එය ගෙවාදමමින් සිටින්නියක්මි.බොහෝ යුවතියන් සේම මා හද තුළද හැබෑකරගැනීමට ඇති හීනයන් බෝහෝය..ඒ හෑම හීනයකම "ඔබ" විජරාමාණ වේ..එක අතකින් මාගේ මේ මනෝ ස්වාභාවය පුදුම සහගත නොවනුද ඇත..
හය හතර තේරෙන්නට ගත්දා සිට මා ඔබ දිහා බලාන හිටියා අහස්...කාංඩෙ අනෙක්වුන්ට නැති දාංගලයක් නුඹට තිබුණු වගද..ඒ ඇට්ටරකම් මා හිත කුල්මත් කළවගද මා වතාවක් කීවා මතක ඇතැයි සිතමි..යාන්තම් මෝදුවීගෙන ආ දැළි රැවුල නුඹේ මුව හැඩකරනවා ඒ සංදියේදී හොරෙන් බලා හිටියා අහස්..ඒ තරමටම නුඹගේ ඉරියව්,දසුන් මා ප්‍රිය කලා.. ඒත් ඒ ආදරය ප්‍රකාශ කිරීමට මා ප්‍රමාද වූ වග දැනෙනවිට මගේ හිත උඹත් සමඟ බොහෝ දුර ගොස් තිබුණු වගද නැවත හැරෙන්නට නොහැකිවන ලෙස ඔබ මතම පැටළුණු වගද මා වරක්ලියායැවූ බව නුඹට මතක ඇතැයි සිතමි.

"උඹ මගේ සහෝදරියක් විදිහට ඇරෙන්න පෙම්වතිය විදිහට දකින්න හිත් දෙන්නෙ නැහැ මහී...කොහොම උනත් උඹට මගේ හිතේ ලොකු ඉඩක් තියෙන වගනම් දන්නවා...ඒක ආදරය නෙවි.."

මා නුඹගෙන් ආදරය විමසූ දින නුඹගේ හිතද "ආදරය" සහ "ලෙංගතුකම" අතර පැටළුණු වග නුඹේ මුවින් විද්‍යාමානවූ වග මට මතක තියේ..නමුදු ඒ වනවිටද නුඹගේ හදවතේ අන් අයෙක් ලැගුම් අරන් වගද මම දැන උන්නෙමි..අසම්මත ආදරයක් පටන් ගැනීමට මා පෙළඹුණාද නැතහොත් ආත්මාර්ථය විසින් නුඹ මා සතුවිය යුතුමයැයි පුංචි සංධියේ හිටන්ම වූ  අයිතිවාසිකම ඉස්සර වූවාදැයි නොදනිමි..

"මං ආයෙත් නම් කියන්නෙ නෑ මහී..ඔය විදිහට මාව අසරණ කරන්න නම් එපා..පවනිත් එක්ක පටන්ගන්න යන ජීවිතේ මැද්දට නම් පනින්න් එපා...අපි තුන්දෙනාගෙම ජීවිත අවුල් වේවි.."

දිනක් ඔබ ආයාචනාත්මක එහෙත් තර්ජනයක ස්වරූපයෙන් දමා ගැසූ වචන මා රිදෙව්වද එහි වූ එක් වචන මාත්‍රයක් මා සැනසූ වග නුඹ දන්නේ නම්..."මාව මේ විදිහට අසරණ කරන්න එපා"යින් කියවුණේ නුඹේ සිතේද මා ගැන ආදරයක් පවතින වගද??..
දන්නවද අහස්...මේ වැහිබර වළාකුලක් තරමටම සිරවුණු කඳුළු කැටිති මේ දෙඇස් දරා සිටින වග.????.පුළුන් වලා රොදක් වගේම සැහැල්ලු නැතත් ඒ තරමටම නුඹ කෙරෙහි මැවුණු සිතිවිළි මා සන්තක බව..???
ඔව්..මට නුඹ වෙනුවෙන් කල්ප කාලාන්තරයක් බලා සිටිය හැක..මේ ජීවන ගංගාව ඔහේ පෙරසේම ගලා ගියාවෙ..පොවන මානයේ වන මල් කිණිත්තට පහසුවෙන් ලඟාවිය නොහැකි බව දැන් මට වැටහේ

"මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ.."


සිත්තම ගත්තේ..paintingmax.blogspot.com..

කල්බලමින් ළතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ..
මල් සුපිපුණු අතු අග කවුරුද කටු තැබුවේ..

ඉතිර ගලනු බැරිනම් ලොව සුවඳින් නහවා..
අතරමඟ රැඳෙන්නට මඳ පවන නොවේවා..
සතර අතර යන මගෙ හිත වෙනස් නොවේවා..
මටම ගැටළුවකි පිළිතුරු මතු හමු වේවා..

වළාකුලක දිය පරදන කඳුළු ඇත ඇසේ..
වළාවක සිතුම් මඟෙ තනිකමට ළඟ වෙතේ..
බලා ඉඳුම හැර ඔබ හා ඇඳෙම්දෝ කෙසේ..
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ..


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :ශ්‍රීමතී තිලකරත්න

4 comments:

  1. ආදරය කරන පරිස් දෙකොටසකි.

    ඉන් පළමු වැන්නෝ වාසනවන්තයෝය, ඔවුන් ආදරය ප්‍රකාෂ කිරීමට සමත්කම් ඇති අයයි.
    දෙවැනි කොටස වන්නේ හිතින් ආදරය කරන බහුතර පිරිසයි.

    ReplyDelete
  2. @Hishan,
    හ්ම්..මගේ පුංචි දාර්ශණිකයා...

    ReplyDelete
  3. සොඳුරු ගේය පද සිත්තම : ප්‍රේමකීර්ති ද අල්විස්
    දිව්‍යමය සත්සර මුසුව : වික්ටර් රත්නායක

    ReplyDelete
  4. මේ ගීතය මුලින්ම ඇහුවෙ "රණවිරු රියල් ස්ටාර්" වැඩසටහනේ දෙවන අදියරේ සමාප්ති වැඩ සටහන තිබුණු ඊයෙ දවසෙ(2012.07.06). ගීතය කොච්චර ලස්සනද කිව්වොත් අද වෙනකොට ම ගීතය හොයන්න පටන්ගත්තා.
    බොහොම ස්තුතියි ඉතින් හැමදාම වගේ!

    ReplyDelete