Tuesday, January 4, 2011

"පුංචි පුතේ නුඹ ආපසු ..අම්මි හුඟක් වෙනස් වෙලා..!"

රූං පෙත්ත කැරකෙනවා..කෝම්පිට්ටු ඉදිවෙනවා..
අම්මි නුඹට සුරංගනා කතා කියනවා..

පුංචි පුතේ නුඹ ආපසු ..අම්මි හුඟක් වෙනස් වෙලා
එදාවගේ නෑ..මාත් එක්ක බොළඳ වදන්..
දැන් කියන්නෙ නෑ...

සුදු කොට රැළි ගවුම ඇඳන් ..පාසැල්ගිය කාලෙවගේ..
හිනාවෙන්නෙ නෑ..නුරා රැඳුණු කෝල බැළුම්
දැන් හෙළන්නෙ නෑ..

සිත්තම ගත්තේ...myspace.com...

oooooooo0oooooo0ooooooo0ooooooo0oooooooo

සුපුරුදු දුම්රිය ස්ථානයෙන් බැසගත් මම සිසාරා බලන්නට වීමි...එකිනෙකා පරයමින් යුහුසුළුව නිවෙස් කරා දුවන ජනී ජනයාටනම් නිනව් නැති සේය..ඔවුන් තම තමාගේ නිවෙස් ගැන කල්පනා කරණවා වියයුතුය..මා පසු කොට මුදු සිනාහ සලමින් පෙම්බස් මුමුණමින් අත්වැල් පටලා ගමන් කරන යුවල කෙරෙහි ඊර්ෂ්‍යාවක් හද තුල ඇති වී නැති වී ගියේයැ.හිස් වූ හදවතින්ම වේදිකාවේ කොනටම වන්නට වූ බංකුව මත හිඳ ගතිමි.
සැබවින්ම මටද එවැනි සුන්දර කාළපරිච්චේදයක් වූ බව සිහි වී මුවඟ සිනහවක් නැඟෙන්නට විය..

"ඈ බං ..අද මොකද කෝච්චිය මෙච්චර පරක්කු..??.."

"මොකෝ බං කවදද මේ උලව්ව වෙලාවට ආවේ...හා..මට තේරුණ..උඹේ ඔය ජනපද කල්‍යාණිට කව් රුවත් බැල්ම දාන එකක් නැහැ...ඔය පෙට්ටියෙ එන එව්වො හැමෝම දන්නව ඒකි උඹේ පරම පිවිතුරු ප්‍රේම වස්තුව කියල.."

මා තනිවම සිනහසෙන බව දැණුනෙන් විළියෙන් සිසාරා බැලිමි..පේන මානයක කිසුවකු නොමැත..මීට මොහොතකට පෙර කඩිගුලක් ඇවිස්සුවාක් මෙන් දිස් වූ දුම් රිය වේදිකාව කිසිදු හැළ හොල්මනක් නැතිව පාළු ස්වාභාවයක් උසුලයි..මගේ සිතේවූ හඳුණා ගත නොහැකි චිත්ත ස්වාභාවය තව තවත් වර්ධනය වනු දැණුනෙන් තවත් රැඳී නොසිට මහා මාර්ගයට පිළි පන්නෙමි..

මා ඉදිරියේ මාර්ග දෙකක් පෙනේ..දකුණට ගියහොත් නිවසට යාගතහැක...වමට...ඔව්..වමට ගියහොත් මාවතේ අඳුරු මුල්ලක ඇති තැබෑරුමට යාගත හැක..වමතෙහි වූ කාල යන්ත්‍රය දෙස බැලීමි..ගෙදර යාමට කල්වැඩියැයි සිතේ..

"රවී..ඇස් දෙකවහගන්නකෝ අනේ...හැබැයි හොරන් බලන්න බැහැ.."
දෑත් පිටුපසට කොට යමක් සඟවා ගත් ඈ..පෙරැත්ත කරයි..හෙමිහිට මගේ වම් අත ගත් ඇය..යමක් වළලුකරවටා පලඳවයි..

"සුභ උපන්දිනයක්...රවී.."

දෑස හැර බලමි..රන් පාට කාළ යන්ත්‍රයක් සුරතෙහි වේ..
සුසුමක් හෙළමි..මේ ජීවී අජීවී සියළු තන්හිම ඈ..මා හා අතරවූ සිහිවටනයක් ඇත..සිතීම නතර කෙළෙමි..දෙවරක් නොසිතාම දෙපා වම් පසට ඇදෙන්නට විය..
තැබාරුම කාර්‍යය බහුල වී ඇත..කොහොමටත් මේ වෙලාවට මෙහි වන කළබලය දනිමි...අඳුරු මුල්ලෙහි වූ අසුන මා එනතුරු බලාහිඳී..

"ලෙමන් ජින් කාලයි.."

ඇණවුම භාරකල මම අසුනට බරවුනෙමි..මුළු ශාලාවම දුමින් පිරිලාය..අතොරක් නැති කටහඬවල්,අශීලාචාර සිනහවලින් දෙසවන් පිරීයන්නට විය..අයෙක් මතින් නන් දොඩවයි..ඇවිදගන්නටවත් වාරු නැතිවෙන්නට බී ගත් සමහරෙක් මා සිටි මේසයේ හැපී නොහැපී බේරුනේ අනූනවයෙනි.මේ සියළු දේ කරච්චලයක් සේ හැඟෙන්නට වූයේයැ..මත්පැන් වීදුරුව පෙණ නගයි..
වසර පහක ආදර කතාවකින් අනතුරුව ඇයත් මාත් කූඩුවුනෙමු...ඒනයි අදහස් කළේ අප බලාපොරොත්තු මල්පල ගැන්වූ බවමය..ඉදින්..අප සතුටු වූ තරම්...වසර දෙකක් ඇවෑමෙන් ඈ මට සිඟිති පුතෙක් දායාද කලාය...එසේනම් මේ විස්සෝපයට හේතුකාරණා කිම්ද???..ගැහැණියක් විසින් තම ස්වාමි පුරුෂයාට කලයුතු සංග්‍රහ සැළකිලි නොඅඩුව ඈ අතින් සිදු වන්නේද??..නමුත් කුමක් හෝ අඩුපාඩුවක් ඇතිවග මගේ හිත හඬගා කියයි..

"මොකද අනේ මෙච්චර පරක්කු...??තව පරක්කුවුනා නම් ස්ටේෂන් එකට යන්නයි හිතං උන්නේ.."

ළදැරිවියක් සේ වැඩනිමවා නිවසට එන මා ඉදිරියට දිව එන ඈමා අතින් බෑගය ගෙන උරහිසේ එල්ලෙයි..

"උස්සගෙන ආවෙ කිලෝ දෙකයි..දැන් ඉතිං කිලෝ පණහක් හැටක්ම උස්සන් යන්න එපාය...'

මා කියන්නේ කවටකමටවුවද ඒ ක්‍රියාවෙන් අප්‍රමාණ වූ සතුටක් වින්ඳෙමි.. අනතුරුව තොරතෝංචියක් නොමැතිවම කිරිල්ලියක් මෙන් කිචි බිචි ගාන ඇය නින්දට යන තෙක්ම මා සතුටින් තබන්නට වෙහෙසුනාය...

"ම්..ම්..ඔයා කැමති කොළු පැටියෙකුට නේද??..මෙන්න මේ වගෙ නහයක් තියෙන..ම්..මේවගේ කතාකරණ ඇස් දෙකක් තියෙන....??'

"නැහැ..මට එපා...මට ඕනෙ..මේං මේවගේ කිචිබිචිගාන හා පැටික්කියෙක්වයි.."

මා සමඟ බොරුවට රංඩුවකට මුලපුරන ඇයගේ කඳුළු දකින්නට නොරිසි වූ තැන...

"හා..හරි..එහෙනම් ඉස්සෙල්ලාම කොල්ලෙක්...දෙවෙනි කෙල්ලෙක් හොඳයි..."
ආදරයෙන් වැළන්දගන්නා ඇය..දිණුවා යැයි සංතුෂිඨියෙන් මොණරියක් සේ ගෙහි එහා මෙහා දුවනු බලා මා සැනසුණු තරම...

"පොඩ්ඩක් ඉන්න අනේ...චුට්ටා තාම නිදිනැහැ.."
"ඉන්න රවි කොල්ලට මං කවල එන්නම්.."
"කෝලං එපා අනේ මේං මේක ගන්නකෝ..මගෙ අතත් රිදෙනවා..."

ඇගේ මුවින් පිටවූ සොඳුරු කතාවන් දැන් මට නෑසේ...ඇයට මා දෙවෙනි වී ඇත...

එසේ නම් මා මේ ඊර්ෂ්‍යා කරණුයේ මගේ ලෙයින්ම උපන් සිඟිත්තාටද???

විදුළියක් කෙටුවාක් මෙන් හද තුළ ඇඳීගිය එම සිතිවිල්ලෙන් මා කලබල වූ තරම...!උගුරක්වත් තොල නොගා මත් වීදුරුව එසේම තබා වහ වහ නිවස කරා පිය නඟමි..

ඈ සිඟිත්තාද තුරුළු කොට මා එනමඟ බලාහිඳී..මීටවසර පහකට පෙර මා දුටු ඒ සොඳුරු සිනහව එසේමය..නමුදු රුව වැහැරෙමින් තිබේ..මගේ ලෙයින් උපන් මේ කිරිකැටියා සමඟ දවස පුරාම ඔට්ටුවන ඇය..මා කෙරෙහි සැලකුම් නොකලේද??..නැත ..ඈ කාර්‍යය බහුළ වී ඇත..මාද ඇය තේරුම් ගතයුතුව ඇත..

කාර්‍යාල බෑගය අතට ගන්නා ඇය මාහාර්ඝ වස්තුව වන ළදරුවා මා අතට දෙයි..ඒ සිඟිති දෑසට එබී බලමි..මුව සිනාහවෙන් පිරිලාය..ඉදින් මට වෙන සැප කුමට...!


සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :දයාරත්න රණතුංග...

8 comments:

  1. මේ අදහස් එන්නෙ කොහොමද?

    ReplyDelete
  2. @Hishan,

    මම මේ පොලොවෙ පයගහල ඉන්න මනුස්සයෙක් බං මල්ලියෙ..මං මේ මනුස්ස වර්ගයාට ආදරෙයි..උන්ව මට තේරෙනව...

    ReplyDelete
  3. මමත් එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරනව පුළුවං තරම්. ඒත් ඒ උනාට මේ සමාජ රැල්ල අපිව අදින්න බලන්නෙ අනිත් පැත්තටම නොවැ සමහරක් වෙලාවට.

    ReplyDelete
  4. (පහුගිය හැම "post" එකක්ම බැලුවත් comment නොදාම යන්න ගියා....comment දැම්මෙ නැති උනාට ඒ හැම එකක්ම උපරිමයෙන්ම තිබුන බව කිව යුතුයි..)

    මේ පෝස්ට් එක ගැන ඉතාම කෙටියෙන් කිව්වොත්..."පෙම්වතෙකු ලෙසින් කතාව පටන් අරන් පියෙකු ලෙසින් අවසාන කරපු ආකාරය අපූරුයි.."

    දිගටම ලියන්න. comment නෑ කියල නොලිය ඉන්නව එහෙම නෙමයි ඕන්.... comment දැම්මෙ නැති උනාට මේව බලල රස ව්දින අය, ඔබේ හැකියාව අගය කරන අය ඕන තරම් ඉන්න බව මට විස්වාසයි...

    ReplyDelete
  5. @Hishan,
    ඔව්...මට උඹව දැනෙනව මල්ලියේ...

    ReplyDelete
  6. @Ano,
    ස්තූතියි සහෝදරයා...මමත් මේ සටහන් ලියාතබන්නේ අනාගතයේදී හෝ මටම කියවා රසවිඳීමටත්..මේ දිව්‍යමය වූ පදමාලා මා හදවත තුළ මැවූ චිත්තරූප ඔබසමඟ බෙදා ගැනීමටත්ය...

    ReplyDelete
  7. අම්මපා මටත් කසාද බැදලා කවද හරි ඔය ටික වෙයිද?
    මම ගෑනු ලමයගෙන් ඇහුවා ලමයෙක් හම්බ උනාම වෙනස් වෙනවද කියලා
    එයා මොනවා උනත් වැඩියෙන්ම ආදරෙ මටය කියන්නේ???????????????????????????

    ReplyDelete