Monday, November 22, 2010

"මේ පායා එන්නේ එදා මා දුටු සඳමද?.."

රටාවට ඇමදූ ගෙමිදුල කෙලවරට වන්නට වූ ලොවි ගහ යට පිටපළුවක් අටවමින් සාදන ලද බංකුව මත හිඳගතිමි.ඔහුගේ මනාලිය වී මේ බිමට පා තැබූ දිනය මා ඉදිරියේ අදද  සොඳුරු මතකයන් මවනුයේ මේ නිවසෙහි වටාපිටාවේ වූ සුන්දරවූත් නිස්කලංකවූත් පරිසර පද්ධතිය නිසාවෙන්මැයි..අද ගෙඩිවරා ඇති මේ ලොවි ගස එදා රතුපාට දිදුලන මාණික්‍යයන් සමූහයක් සේ අතුපතර පිරී තිබුණු බව මතකය..කුඩා දියැණියන් සමූහයක් ආසිරි ගී ගයන වේලෙහි කෑදරබැල්මෙන් ඒ දෙස බලනු දුටු ඔහු මගේ සවනට "ලොවි පෙරේති..බොට තමා ඔය සේරම..ටිකක් ඉවසපං"යි කෙඳිරූබවද මතක තියේ..

සාලයෙහි සයිබෝට්ටුව මත විජරාමාණව වැඩ සිටින වෑර්ලස් පෙට්ටිය අද දවස පුරාවටම කෑ මොර දෙනුයේ ඇමරිකාණුවන් හඳ මත පා තැබූ පුවත්ය.එය කිසිම ජීවයකින් තොර වියළි කතරක් බවත් කිසියම්ම වූ සෞම්‍ය ගුණයක් එහි නොවන බවත් "රේඩියෝ සිලෝන්" හි නිවේදකයා පවසණු අසා සිටියෙමි..සැබවින්ම එය ඇදහිය හැක්කක්ද???
මේ නිවසෙහි මනාලිය වී ආ දිනයේ මා සතුටු කළ එක් කාරණයක් මීට පෙරදී ඔබට පැවසූයෙමි..තවත් මා කුල්මත්කළ කාරණයක් තියේ..ඒ වූ කලී මේ මැද සාලයේ රන් නූලෙන් වැඩ දැමූ පොරෝනයක් පොරවාගෙන සාඩම්බරයෙන් වැඩ හිඳින වෑර්ලස් පෙට්ටියයි..දීග එන්නට පෙර එක් වතාවක් පමනක් දැක ඇති මෙය මගේ නෙතට මෙන්ම හිතටද සුන්දර වූ කාරණයක් වූයේමැයි.
රාත්‍රිය එළබ හෝරා කිහිපයක් ගතවීත් ඉස්තෝප්පු කාමරය දෙසින් ඇසෙන නඩු විසඳන,බයාදු කෙඳිරිලි,විධාන තවමත් නතර වී නොමැත..මා පතා ආ කුළගෙය මෙයමදැයි මගේ හදවත විමසන්නට පටන් ගත්තේ මෙහි පතිනිය වී පැමින වසරක් පමන ගතවෙත්දීය.ඉහල ගංතුලානේ ආරච්චිල වූ මගේ පියාණනුත්  සිරිමෙවන් කස්තුරි බණ්ඩාර ගම්මුලාදෑණිත් අතර වූ යහළුකමේ ප්‍රථිඵලය වූයේ මෙමට වඩා විසි වසරකින් වැඩිමාළුවූත් හැඩිදැඩි දරදඬු පුද්ගලයෙකු වූත් කරමැටියේ ගම්මුලාදෑනි තැනගේ බිරිය වී මේ සාගරයක් තරම් වූ වලව්ව්වේ ස්ථීර පදිංචිකාරියක වීමෙනි.නවයොවුන් වියට එළඹෙමින් සිටි ළමිස්සියක් වූ මා මේ විවාහයට අකැමැත්තක් නොපෙන්වූයෙමි..මන්ද සිරිමෙවන් කස්තුරි බණ්ඩාරයන්ගේ ආරෝහ පරිනාහ දේහයට ඇළුම් නොකළ තරුණියක් මේ ඉසව්වේ නොසිටි බැවිණි..ඒ දිනවල මෙවන් සඳ පායා එන රාත්‍රීන්හිදී ජනේල කවුළු පියන්පත් ඇරදමා ඔහේ බලා සිටි අන්දමද සිරිමෙවන් සමඟ ගෙවන කුළගෙය මේ අයුරින් වෙතැයි මාළිගා තැනූ බව මතක තියේ.නොයෙක් සුන්දර කවි පබැඳුම් ගොතමින් ඒවා පායා එන සඳු සමඟ මිමිණූබවත් මතකය.සැබවින්ම මා තුළ සොඳුරු හැඟුම් මතුකළේ ඒ සුන්දර වූ සඳවතයි..බෝහෝ කවිකාරයනටද එසේම විනැයි හඟිමි.ඇලපාත මුදළි ගජමන් නෝනාට කියූ කවි ඒ දිනවල මා මුවඟ නිතර මිමිණූ ඒවාය..ඒ නිසාම නොයෙක්වර කෙල්ලන්ගේ උසුළු විසුළුවලටද ලක් වී ඇත්තෙමි.ඒත් මා අත්දකින මේ ජීවිතය සුන්දර නොවූයේ කිම.එක අතකින් ගමක් පාලනය කළයුතු ගම්මුලාදෑණි කෙනෙකුන්ගෙන් සුන්දර වූත් සුකුමාලවූත් ,ප්‍රේමණීයවූත් වදන් බලාපොරොත්තුවිය හැකිද..ඉඩම් ආරවුල්,පවුල් පලහිලව් වලින් ඔළුගෙඩිය පුරවා නිදියහනට එන සැමියා කෙසේ නම් ප්‍රේමණීය හැඟුමන් ඇතිකරගන්නද??..නමුදු මාද සම් මස් ඇට නහර වලින් සැදුනු මනුස්ස දුවක්මි..විවාහවී වසර තුනක් ගතවීත් දරුවකු නොසිටීම ගැනනම් පසු තැවීමක් ඔහු තුල තිබෙනු දැනේ..ඒත්..
මා සිතා සිටි සුන්දර ලෝකය මා දෙපා ඉදිරියේ මෙසේ වැළලී යන්නේ කවිකාර වූ මගේ සිතදද තලා පෙලාය.බෝහෝ නිදිනැති රාත්‍රීන්හිදී මේ පායා එන චන්ද්‍රයාට මගේ දුක කවි කොට පාක්කොට හැරියෙමි..නමුත් සෞම්‍යය සුන්දර මහාර්ඝ වස්තුවක් ලෙස මගේ හිතේ විජරාමානවූ මේ සඳම වියළි වූත් ප්‍රාණයෙන් තොර කතරක්යැයි මගේ විඥ්ඥාණය පිළිගැනීමට නොකැමති සේය...නමුදු "විද්‍යාව"මා හදවතේ අඳුරු ගිරිෂිකර මවයි..
ඉදින් මේ සිද්ධි දාමය  මගේ ජීවිතය හා බද්ධ නොවේද??

"ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසල ගැවසේ..." 

================================================================

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ.......

එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ විකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ........

මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ.........

සොඳුරු ගේය පද සිත්තම : ....................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : නන්දා මාලනී

සිත්තම රිවිර පුවත්පත අනුග්‍රහයෙනි.

5 comments:

  1. eka harima wishishtai.mage asama sinduk meka.

    ReplyDelete
  2. මේ වගේ ඉතාම අරුත් බර ගීතවල නියම රසය දැනෙන්නෙ ඒ ගීතවල අර්ථය ගැන අවබෝධයෙන් අහන විටයි. මේ විදියට අර්ථය පැහැදිලි කරල දෙන එක ලොකු සේවයක් විදියටයි මම දකින්නෙ…

    ගීතවල තේරුම මේ වගේ කතාවකින් මතුකරල පෙන්නන එකෙන් තව තවත් රසය වැඩි කරනව වගේම ඒ සදහා ඔබට තිබෙන හැකියාව උපරිම බව කිව යුතුමයි...

    ඊලග ගී සිතුවම එනකම් මග බලන් ඉන්නව.....

    ReplyDelete
  3. @Ano,

    බොහොමත්ම ස්තූතියි ගොඩවැදුනට..රසවින්ඳානම් එයයි මගේ සතුට..

    ReplyDelete
  4. @Ano2

    බොහොමත්ම ස්තූතියි ඇගයීමට.ඔබගේ දිරිගැන්වීම ඉතාමත්ම වටිනවා..ඇත්තටම ගීතයක් අර්ථය සමඟ රසවිඳිනවා ය කියන්නේ භාවනාවක් වගෙයි..

    ReplyDelete
  5. ලස්සන වැඩක් ... ;)

    ReplyDelete