Thursday, November 4, 2010

කුළුඳුල් දොඩමළුව.....

ගතවූ වසර දෙක පිළිබඳව පශ්චාත් පරීක්ෂණයක යෙදීමට මම තීරණය කෙළෙමි.

අද අප පාසැලෙන් සමුගන්නා දිනයයි.ගෙට්ටුව පේන මානයේ කන්ද කපා සාදවන ලද කුඩා බිම්කැබැල්ලක අටවන ලද මේ පුංචි පෙට්ටි කඩය පහුගිය කාලය පුරාවට ඉතා අඩු මිලට අපගේ බඩගින්න නිවීමට උපකාරී වූ බව සිහිවී ස්තූති පූර්වකව ඒ දෙස බැලීමි.තරමක් මහත මිටි තැනැත්තියක වූ කඩයේ හිමිකාරිය සැරපරුෂ බවක් මතුපිටින් පෙන්වූවද උණුවන හදවතක් ඇත්තියෙක බැව් අත්දැකීමෙන් දනිමි.
"පොඩියක් ලීලෙ පෙන්නන්න ගියාහම මෙව්වො ගෝනි නැතිව කරේ නගින්න එනවනෙ මල්ලියෙ..මං මෙහෙම හිටියෙ නැත්නම් මේ කඩ කෙරුවාව මෙච්චරකල් කරන්න වෙන්නෙනැහැ"
දිනක් ඇය මේ ගැන මා සමඟ පැවසුවා මතක තියේ..
රුපියලට කැබැල්ලක් ගත හැකි වූ පුංචි කෝම්පිට්ටුවක හැඩයට වූ හකුරු කැබළි බහාලන ලද මඳක් විශාල වූ වීදුරු බෝතලයත් ලොසිංජර දමන ලද බෝතලයත් ටොෆි වර්ග පුරවන ලද බෝතල කිහිපයත් හැරුණු විට මේසය මත වූ වීදුරු කබඩය මත හැලප කිහිපයක් හා ඥාණකතා කිහිපයත් හැරෙන්නට වැඩියමක් දක්නට නොතිබුණි.දවස පටන්ගන්නා පැයේ නා නා කෑම වලින් පිරවෙන පසෙකින් වූ මදක් විශාල වූ වීදුරු කබඩයේ තට්ටු කිහිපයක්ම හිස්ව පැවතුනද යටම තට්ටුවේ හතරට කපනලද පාන් කාල කිහිපයක් පමණක් ඉතිරි වී තිබෙනු දැක සිනහ පහල වූයේ මේ පාන් කාල සහ ඉහත විස්තරකරන ලද හකුරු පෙත්ත ගත වූ දෙවසර තුළ දහවල් ආහාරය වූ බැවිණි.පාසැල නිම වූ වහාම හනි හනික දිව එන අප පාන් කාලෙන් ,හකුරු පෙත්තෙන් හා ඉඟුරු දමා සාදනලද කහට වීදුරුව්වෙන් සප්පායං වී දුවනුයේ අමතර පංතියටය.සැබවින් එය පුදුමාකාර රේස් දිවීමක් විය.ඇත්ත වශයෙන්ම ඒ රේස් දිවිල්ලට මගේ නම් කිසිම කැමැත්තක් නොවූ බව නම් කිවමනාය.නමුදු එයින් ගැලවීමක්නම් නොවූයේමැයි.මන්ද මාද මේ සමාජ සන්දර්භයේම උපකුලකයක් වූ නිසාවෙනි.දිශාවක් නොහැඳින වුවද පිහිනිය යුතු විය.
සාලිත,මිහිරි,තුෂාරි,කුමුදුනී අතර ඈ තවම නැත.ඈහට ලෙහෙසියෙන් පාසැල් බිමෙන් ගැලවී පැමිණිය නොහැකි බැව් මා දනිමි.ඈ මැදි විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවයි.නොඉවසිලිවන්ත හදිස්සිකාරයෙකු වූ මාගේ මේ ඉවසීම පිටුපස පෙරළිකාරිය ඇයයි.සුසුමක් හෙළු මම නැවතත් රවුම් මේසය වටාවූ පුටුවක් ඇද මිටියාවත පේන මානයට මුහුණ ලා හිඳ ගතිමි.
පාසැලේ ක්‍රීඩා පිටියට පිවිසෙන මාර්ගය දෙපස වූ සරුවට වැවුණු සයිප්‍රස් දෙපෙලත් තරමක් සුවිශාල වූ ක්‍රීඩා පිටියේ රිසි සේ කෙළිදෙලෙන් පසුවන සහෝදර සිසු සමූහයාත් පිටිය කෙළවරට මායිංවන බදුල්ල බලා දිවෙන දුම් රිය මාර්ගයත් මාගේ දර්ශන පථයට හසුවූයෙන් සිතෙහි වූ පාළු හැඟීම ඉවතලා නැවුම් වාතයෙන් පෙනහළු පුරවාගතිමි.
ගමේ පාසැලෙන් සාමාන්‍යපෙළ සමත්ව මැදිමහ විදුහලට පැමිණි මුල් දිනවල නාගරික සමාජයට අනුගත වන්නට මා තුල වූ නොකමැත්ත නිසාවෙන් අළුත් පසැල්බිම හැමවිටම ආගන්තුකවූයේයැ.නවක වදය මගහරිනුවස් සියළුදෙනාටම පෙර පසැලෙන් දිව එන අප පසැල් බසයට ගොඩ නොවී අසල හංදිය දක්වාම හණි හණික ඇවිද ඒමට පුරුදු වුණෙමු.ඒ සමහර අවස්ථාවලදී වැඩිහිටි ශිෂ්‍යයන්ට අප අසු වූ වාරද නැතිවා නොවේ.කෙසේවතුදු නවක වද කාලසීමාව මතකයෙන් ගිලිහෙනුයේ ඒතුළ අමුතු රසයක්,අත්දැකීමක් මා නොදුටු බැවිනැයි හඟිමි.

"ඉදිරි දෙවසර සඳහා පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස සපුමලී ලාලිත්‍යා රත්නායක තෝරාගෙන ඇත"

විද්‍යාලාධිපතිණිය ගේ ගැඹුරු කටහඬින් උදෑසන රැස්වීම අවධි වෙත්දී ඇය වේදිකාවට පිවිසුණාය.මඳක් කැරළි ගැසුණු දිගු කේෂ කලාපයකටද වටකුරු එහෙත් දීප්තිමත් නෙතු සඟලකටද උසට සරිලන මහත ඇති පැහැපත් ශරීරයකටද හිමිකම් කී ඇය සැබවින්ම රූපත් වූවාය.මම ඇය හැඳින්නෙමි.අපගේ පන්ති පැවති ගොඩනැගිල්ලට සමාන්තරව පිහිටි විද්‍යා අංශ ගොඩනැගිල්ලේ වරක් නොව කිහිපවරක්ම ඇයව දැක ඇත්තෙමි.ඇය දකින කවරෙක වුවද වරක් හෝ හැරී නොබැළුවානම් පුදුමය.හැබැවින්ම ඇගේ දසුන නව යොවුන් වියේහි සාඩම්බර හිමිකරුවන් වූ අපට රසඳුනක්ම වූයේයැ.
පසුව ගතවූ කාළයේදී ඈ පිළිබ්ඳව ගවුරවයකින් බැලීමට මා සිත පෙළඹුනේ මන්දැයි නොදනිමි...කෙසේවතුදු දිනෙන් දිනම නව පාසැල් ජීවිතය මෙන්ම නව සමාජය මා හට ගෝචර නොවූයෙන් පන්තියේදී මා හුදෙකලා චරිතයක් වූයේ මටත් නොදැනීමය.නමුදු පන්ති මගහැරීම මා අතින් නිතර නිතර සිදුවන්නට වූයේද ඔය අවධියේමය.විෂයයන් හතරටම සරිළන ලෙස  හාල්ෆ්ෂීට් කොළය දෙකට නමා සකසාගත් පොත් පිංච බඩතුරෙහි සඟවාගෙන මහා මාර්ගයට මායිං වූ තාප්ප්යේ තිබූ කුරුබිළියෙන් රිංගා තනිව හෝ තවත් සගයෙකු සමඟ සිනමාහලකට රිංගන වාරද දුලබ නෙවීය.මෙසේ එක් වැහිබර දිනයක්දී කුරුබිලියෙන් පාරට පිවිස දාවනයවූ බසයේ එල්ලුනෙමි.ඉතිරිව තිබූ  ආසනයේ හිඳගන්න ඇසිල්ලේම බඩතුරෙහි සඟවා තිබූ පොතද ගෙන ඔහේ පෙරලා බැලිමි.වටාපිටාව ගැන කිසිම තැකීමක් නොකරම හිස්වූ හදවතින් ඉදිරි කවුළුවෙන් මා පසුකරයන ගස් වැල් ගොඩනැගිලි දෙස ඔහේ බලා සිටියෙමි.මා හිඳසිටි ආසනයට සමාන්තරව වූ ආසනයේ දෑසක් මා දෙස උනන්දුවෙන් බලාසිටිනු දැනුනද එය සොයාබැලීමට තරම් මගේ සිත සූදානම් වූයේ නැත.නමුදු ඊලඟ නැවතුමෙන් බසයට ගොඩ වූ වයෝවෘධ කාන්තාවකට ඉඩදෙනුවස් නැගී සිට යාබද අසුනේ අත්වාරුව අල්ලාගෙන සිටගතිමි.හිඳසිටි ඇය මා අත වූ පොතක් යැයි නාම මාත්‍රික කොළ කිහිපය ඉල්ලා ගත්තාය. ඇය වූ කලී සපුමලී ලාලිත්‍ය රත්නායකය නම් වීය.
ඇයගේ මන්දස්මිතිය රැඳුණු සුන්දර වත දුටු මොහොතේ සියුම් හැඟීමක් හදතුල ඉපිද ඇතිවී නැතිවී යනු අත්දුටුවෙමි.
"තෑන්ක්ස් සපූ" අවසන නගර්යේ නැවතුමේදී මම ඇයගෙන් සමුගතිමි.නමුදු එම හමු වීම අප අතර සොඳුරු බැඳීමකට අඩිතාලම දැමෙනු ඇතැයි මා නොසිතුවෙමි.
අනතුරුව එළඹුණු කාළයේදී ඈ මගේ ජීවිතයට හෙමි හෙමින් ඇතුළුවෙනු ඔහේ බලා සිටියෙමි. මගේ අපිළිවෙල ජීවිතයට යම් පිළිවෙලක් සේන්දුවෙනු මා අවට සිටියවුනටද දැනුණු බව දනිමි.නමුදු අප අතරවූ සම්බන්ධතාවය පාසැල්බිමෙන් සඟවා ගැනීමට ඇය මහත් වෙහෙසක් ගත් බව නම් සැබවි.මගේ පාර්ශවයෙන් එය එසේ නොවීය.මන්ද මා හා උසස්පෙල පන්තියේ සගයන් අතර කිට්ටු සබඳ තාවයක් නොතිබූ බැවිනි.එනිසා අප අතර සම්බන්ධතාවය සඟවාගැනීමට මා හට අමුතු වෙහෙසක් ගැනීමට උවමනා නොවීය.කෙසේවතුදු ඇයත් මාත් අතර අහම්බයෙන් ගොඩනැඟුනු ප්‍රේම වෘතාන්තය ගතවූ මාස නවයක කාල සීමාවතුළ හොර රහසේ ගලායමින් තිබින.ඇයගේ නිරන්තර සෙවුම් බැලුම් හමුවේ අතහැර දමා තිබූ විභාග කඩඉමට බලාපොරොත්තුවූවාට වඩා සාර්ථකව මුහුණදියහැකිවිය.  

"සෑම සාර්ථක පිරිමියෙක් පසුපස යහපත් ගැහැනියෙකුද සිටී"යන කියමන ගැන දැන් නම් මට සැක නොසිතේ.

වැහිබර අහසට මම හැමදාමත් කැමතිය.අපගේ සම්බඳතාවයේ ආරම්භයට අඩිතාලම දැමුණේද අද වැනිම වූ දවසකයැයි සිහිවීමෙන් අමුතු සතුටක් හද තුල පෙරළි කරනු දැනුනෙන් කල්පනාවෙන් මිදුනෙමි.
බාලිකාවන් පිරිවරා ඇය ඉදිරියට එනු බලා සිටියෙමි.වෙනදා නොවුණු සැහැල්ලු බවක්ද ඇයගේ කතා විලාෂය තුල දුටිමි.දැන් ඉතිං සියළු යදම්වලින් අපගේ ආදරය නිදහස් කොට ගත යුතුය.ඇය ඉදිරියට ගොස් ඇයගේ සියුමැලි අතින් අල්ලාගෙන ඇයගේ ප්‍රේමවන්තයා මමයැයි හඬගා කීමේ වුවමනාවක් මා තුල නලියන්නට වෙයි.මොහොතකින් මං උමතු ප්‍රේම වන්තයෙකු වෙමි..සඟවා සිහිනයෙන් පමණක්ම මාගේ හිත තුළ පවුරුලා ඈ වෙනුවෙන්ම ඉපැදුණු මියුරු කල්පනාවෝ සවනට කර මිමිනීමේ බොලඳ ආසාවක් මොහොතකින් ඇති වී ගියේයැ.අනෙක් දිනවලදී ඈට යන්නට හැර පසුපසින් වැටෙන මා සැහැල්ලුවෙන් ඈවෙත පිය නඟමි.
මිතුරියන්ගෙන් මිදී ඇසිල්ලේ දිව ආ ඇය මා සුරතෙහි වෙළුනාය.බාලිකාවෝ වික්ෂිප්තව ඒදෙස බලනු මම ආඩම්බරයෙන් බලා සිටියෙමි..
"සපූ..!"
"හ්ම්.."
 "දැන් ඉතිං මට ආදරය ඕනි.."
"මටත්.."

"හිමගිර මට වැලි අහුරකි..මහ සමුදුර දිය රැල්ලකි..කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනහේ නම්..."
 හෙමි හෙමින් ඇයගේ සවනට කර මිමිනුවෙමි..


මියුරු කල්පනා... නෙතක දැල්වුනා....
අමයුරු රස හසකැන් මැද... සිතක් හිනැහුනා....
වරෙක නැලවුනා.... වරෙක ලතැවුනා...
නුපුරුදු ගිනි දහසක් මැද... සිතක් මැලවුනා....

මියුරු කල්පනා...

හිමගිර මට වැලි අහුරකි...මහ සමුදුර දිය රැල්ලකි..
කටු අකුලෙන් මල් පුබුදමි...ඔබ සැනසේ නම්..

මියුරු කල්පනා... නෙතක දැල්වුනා...
අමයුරු රස හසකැන් මැද... සිතක් හිනැහුනා...
මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුනමි...දිනිසුරු ගෙන් සීතල දෙමි...
කඩු තුඩු මත සැතපෙන්නෙමි ...ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා...


සොඳුරු ගේය පද සිත්තම : ප්‍රේමකීර්ති ද අල්විස්
 දිව්‍යමය සත්සර මුසුව : වික්ටර් රත්නායක
චිත්‍රපටය : දිනුම් කණුව
මියුරු ගැයුම : වික්ටර් රත්නායක

3 comments:

  1. mama ada thamai me paththe awe.liyala thina tika mama kiuwa.hithata piwithuru rasas wadayak genawa.me wage sindu minissunge hith walin ath wela yanawa dan.oya digatama me wage liyanna.

    Nasha

    ReplyDelete
  2. @Nasha,
    ආදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට...ඔබතමා මේ පිටුවේ කමෙන්ටුවක් දැම්ම මුල්ම රසවතා (හෝ රසවතිය ).ඇගයීමට බොහෝමත්ම ස්තූතියි..නැවත පැමිණේයයැයි බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete